අම්මෝ... මිනිස්සු මට බණින තරම් - අශා එදිරිසිංහ



ආශා.. මේ දවස්වල මොකද කරන්නෙ?


මේ දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන 'සර්කස්කාරයෝ' ටෙලිනාට්‍යයටත් ධනුෂ්ක රත්නායක මහතා අධ්‍යක්ෂණය කරන 'මන්දාරම් කතාවේ' ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්.


පුංචි තිරයේ ආශා දකින්න ලැබුණට සිනමාවේ වැඩිය දකින්න ලැබුණෙ නැහැ නේද?


නැහැ. ඒක ඇත්ත. මම මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි මට චිත්‍රපටවලට බොහෝ ආරාධනා ලැබුණා. මේ වෙද්දි අලුත් පරම්පරාවක් අපේ ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. නමුත් අපි අලුත් පරම්පරාව නියෝජනය කළ කාලෙදි මට බොහෝ චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ වෙද්දි මම නිෂ්පාදන කටයුතුවලට යොමුවෙලයි හිටියෙ. අපේ නිෂ්පාදන ආයතනය නිසා අපි ගොඩක් කාර්යබහුල වුණා. ඒ නිසා ඒ වැඩ ටික කරගන්න, ඒක සාර්ථක කරගන්න වෙහෙසෙනවා හැරෙන්න නිර්මාණවලට යොමුවෙන්න බැරි වුණා. ලැබුණු ආරාධනාවලින් මට ගැලපෙන, හොඳටම කරන්න පුළුවන් කියලා හිතෙන චරිත විතරක් මම තෝරාගත්තා. ඒ වගේම මගේ තාත්තා මුලින් මම මේ ක්ෂේත්‍රයට එනවට කැමති වුණේ නැහැ. &ඔයා මේ දේවල් කරන්න එපා* කියලා සමහර දේවල්වලට පුංචි වාරණයකුත් තිබුණා. ඒ හැමදේම නිසා ඒ චිත්‍රපටවලට ලැබුණු ආරාධනා මට බාරගන්න බැරි වුණා. මගේ තරුණම කාලෙදි ලැබුණු සිනමා අවස්ථාවන් මට බාරගන්න බැරි වුණා. ගිය වසරෙදිත් එක්තරා චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ ආරාධනාව ලැබෙද්දිත් මම ඔස්ට්‍රේලියාවට මාස එකහමාරකට විතර යන්න සියලු දේ සූදානම් කරලයි තිබුණෙ. ඒ නිසා ඒකටත් සම්බන්ධ වෙන්න බැරි වුණා. චිත්‍රපටයක් කියන්නෙ ලොකු අවස්ථාවක්. ඒත් සමහර හේතු නිසා ඒ කැපකිරීම් කරන්න වෙනවා.


 ඒ ලැබුණු අවස්ථාවන් මඟහැරුණු එක ගැන අද ඔබ පසුතැවෙනවද?


මම ජීවිතේ අතීතය දිහා බලලා පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මම කරපු වැඩවලට මම පුළුවන් උපරිමයෙන් දායක වෙන්න උත්සාහ කළා. එතැනදි සමහර දේවල් මට මඟහැරෙන්න පුළුවන්. නමුත් ඒ මඟහැරෙන්නෙ මම තවත් හොඳට කරන්න උත්සාහ කරන වැඩ නිසයි. ඒ නිසා ඒ වගේ දේකට යමක් අතහැරියා කියලා මම පසුතැවෙන්නෙ නැහැ. මම වැඩිය අතීතය ගැන හිතන්නෙ නැහැ. අනාගතය ගැනත් එහෙම හිතන්නෙ නැහැ. මම මේ ජීවත්වෙන මොහොත ගැන හිතන කෙනෙක්.


 ආශා කරන නිෂ්පාදන කටයුතුවල දැන් තත්ත්වය කොහොමද?


ඒ කටයුතු ඉතාම හොඳින් කරගෙන යනවා. කොවිඩ් කාලයත් එක්ක අපේ රටෙත් ලොකු ගැටලු ඇතිවුණා. ඒ දේවලුත් එක්ක අද කාලේ නිෂ්පාදන කටයුතු කිරීමත් ලොකු අභියෝගයක්. අපේ නිෂ්පාදන ආයතනයෙන් ටෙලිනාට්‍ය පමණක් නෙවෙයි, වෙළෙඳ දැන්වීම් ඇතුළු බොහෝ කටයුතු සිදු වුණා. අදටත් සිදුවෙනවා. කොවිඩ් එන්න පෙර සිටම අපි තවත් රටවල් දෙකක් එක්ක එකතුවෙලා වැඩ කරමින් හිටියෙ. ඒ නිසා කොවිඩ්වල දරුණු බව අපිට තදින්ම දැනුණෙ නැහැ. හැබැයි නොදැනුණාමත් නෙවෙයි. අදටත් අපේ නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ ඔස්සේ අපි යම් ස්ථාවරයක සිටිනවා. අපේ නිෂ්පාදන ආයතනයෙන් අළු බඳුන, සුළඟ, වර්ණ ආදී ටෙලිනාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනය කළා. මේ දිනවල අපි තවත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරමින් ඉන්නවා. එහි මූලික කටයුතු පසුගිය කාලෙදි ආරම්භ කළා. ඉදිරියට එහි නිෂ්පාදන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.


 ඔබ වැඩියෙන්ම කැමති රංගනයට එකතු වෙන්නද? නැත්නම් ඔබේ නිෂ්පාදන කටයුතුවලට දායක වෙන්නද?


ඇත්තම කිව්වොත් වැඩියෙන්ම කැමති නිෂ්පාදන වැඩවලට තමයි. ඒ වැඩත් එක්ක රංගනයට ලැබුණු සමහර අවස්ථා මම අතහැරලත් තියෙනවා. මම ළමා නිළියක් විදිහට ක්ෂේත්‍රයට ආවට තාත්තා මම නිළියක් වෙනවට කැමති වුණේ නැහැ. ඒ නිසා මම මට පුළුවන් උපරිමයෙන්ම ඉගෙනගෙන දෙමව්පියන් කැමති විදිහට ඒ පැත්ත සාර්ථක කර ගත්තා. ඒ සාර්ථකත්වයත් එක්ක තමයි නැවතත් මම රංගන ක්ෂේත්‍රයට පැමිණියේ. තාත්තා අද ජීවතුන් අතර නැතිවුණත් එයා අකමැති දේවල් කරන්න මම කැමති නැහැ. ඒ නිසා මම අදටත් වඩාත් කැමති නිෂ්පාදන කටයුතුවලටයි.


අදටත් එදා වගේම ඔබ චරිත තෝරාගැනීමක් සිදු කරනවද?


ඔව්.. අදටත් තෝරාගැනීම් කරනවා. රංගනය පැත්තෙන් මට ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා නම් මුල් කාලෙදිම ඒ තීරණය අරගෙන ඉදිරියට යනවා. නමුත් මට එහෙම ඕනෑ වුණේ නැහැ. මම මගේ අම්මා තාත්තා අයියා ගැන හිතන කෙනෙක්. එයාලගේ සතුට ගැන හිතන කෙනෙක්. ඒ නිසා අදටත් මම තෝරාගැනීම් කරනවා. 


 මේ දිනවල ආශා රංගනයේ යෙදෙන චරිත දෙක එකිනෙකට වෙනස් නේද?


අම්මෝ ඔව්... ගොඩක් වෙනස්. 'මන්දාරම් කතාවේ' චරිතය නිසා මේ මම ගොඩක් බැණුම් අහන කාලයක්. ඒකෙ මම රඟපාන කවීගේ චරිතයට මිනිස්සු බණිනවා. හැබැයි ඉදිරියෙදි සමහර විට කවී වෙනස් වේවි. ඒක අපි ඉස්සරහට බලමු. මීට කලින් මට එහෙම චරිතයක් කරන්න ලැබුණෙ නැති නිසා ප්‍රේක්ෂකයන්ට ඒකත් පොඩි කුතුහලයක්. ඒක වෙනස්ම අත්දැකීමක් වේවි.


ඔබ රංගනයට යොමුවෙනවට ඔබගේ තාත්තා අකමැති වුණා. ඔහුගේ ජීවිතේ අවසාන කාලෙදි ඒ සම්බන්ධයෙන් තිබුණු කැමැත්ත කොහොමද?


ඒක ඇත්තටම පුදුම සහගතයි. මුලදි තාත්තා මම රඟපානවට කැමති වුණේ නැහැ. හැබැයි අපි නිෂ්පාදන ආයතනය ආරම්භ කරපු මොහොතේ සිට තාත්තා මගේ ළඟින්ම හිටියා. මට ලොකු හයියක් වුණා. හැමදේටම මට උදව් කළා. ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසි දෙයක් දන්නෙ නැති වුණත් තාත්තා ඒ ගැන අධ්‍යයනය කළා. රෑගත කරන තැන්වලට ආවා. ඒ සම්බන්ධයෙන් ඔහු ගොඩක් මහන්සි වුණා. මට උදව් කළා. හැබැයි තාත්තා ජීවත් වුණු අන්තිම මාසය වෙනකොට &ඔයාට දැන් මේ දේවල් කරගන්න පුළුවන්* කියලා මට මගේ ගැන විශ්වාසයක් ඇති කළා. තාත්තා නැතිවෙද්දි මට ඒ හයිය දීලයි තාත්තා ගියේ.


දිශානි




Previous Post Next Post