නරකම කමෙන්ට්ස් දාන අයට මම වෛර කරන්නේ නැහැ-හෙෂානි ලියදිපිට





අවුරුදු කුමරියක් වෙමින් රංගනයට පා තැබූ ඇය එක් රැයකින් ජනප්‍රිය වීමට තරම් වාසනාවන්ත වූ තැනැත්තියකි. නමුත් ජනප්‍රියත්වය හඹාගෙන යෑමේ වුවමනාවකින් නොපෙළුණු ඇය අද වන විට සිය උසස් අධ්‍යාපනය අවසන් කොට රංගන ශිල්පිනියක්, ගුරුවරියක් මෙන්ම ආදරණීය බිරියක් හා දුවෙක් යන සියලු භූමිකාවන්ට සාර්ථකව පණදෙමින් සිටින්නීය. නමින් හෙෂානි ලියදිපිට වූ ඇය මෙවර  කළ කතාබහයි මේ. 


අලුත්ම තොරතුරු කියලම කතාව ආරම්භ කරමු?


අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. ඊට අමතරව මගේ නර්තන පන්ති කරගෙන යනවා. මගේ අලුත්ම පන්තිය ගම්පහ, මිනුවන්ගොඩ ආරම්භ කළා.  ඔය වැඩ කටයුතුත් එක්ක තමයි  මේ දවස්වල කාලය ගතවෙන්නේ.


නිතරම පේන්න නොසිටියට රංගනයෙන් අෑත් වෙලා නැහැ නේද?


නැහැ. මම රංගනයෙන් අෑත් වෙලා නැහැ. පසුගිය කාලයේ  මට ලංකාවෙන් එළියට යන්න එන්න වුණා. මගේ ක්ලාස් එකේ වැඩත් එක්ක බිසී වුණා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු නිසාත් තරමක් කාර්යබහුල වෙලා සිටියා. නමුත් රංගනයෙන් අෑත් වුණේ නැහැ. ඉදිරියේ මගේ නිර්මාණයක් දැකගන්න පුළුවන් වෙයි.


ඔබ මේ වෙද්දි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නර්තනය උගන්වන ගුරුවරියක්. ඒ අත්දැකීම මොන වගේද?


වචනවලින් විස්තර කරන්න බැරි තරම් සතුටක් මට ලබා දෙන අත්දැකීමක් ඒක. ඇත්තටම මට පොඩි කාලේ ඉඳන් අවශ්‍ය කළේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් මට ගෙදරින් ඒකට ඉඩහසර ලැබුණේ නැහැ. ඊට පස්සේ තිබුණු එකම අරමුණ තමයි නර්තනය කියන්නේ. අම්මා තමයි මාව ඒ මාර්ගයට යොමු කළේ. මම විශ්වවිද්‍යාලයේ අවුරුදු හයක් පුරාවට ඒක හදාරලා ගෞරව උපාධියක් ලබා ගන්නවා. ඉන් අනතුරුව තිබුණු එකම දේ ගුරුවරියක් වීම. නමුත් මම පාසල් ගුරුවරියක් වෙන්න කැමැති වුණේ නැහැ. මොකද ජීවිතය ඒකාකාරී වෙන්න පුළුවන් නිසා. ඒ නිසාම මම වෘත්තිය මේ විධියට ආරම්භ කළා. ඉතින් අද වෙද්දි පොඩි අයට වගේම වැඩිහිටියන්ටත් නර්තනය උගන්වන ගුරුවරියක් විධියට කටයුතු කරනවා.


පොඩි දරුවොත් එක්ක වැඩ කරන්න ලැබීම මොන වගේද?


ඇත්ත කතාව පුංචි දරුවොත් එක්ක වැඩ කරන්න ගොඩක් අමාරුයි. මුල්ම කාලෙදි මට ඒක හරිම අසීරු වුණා. ඒත් කල් යද්දී මට ඔවුන් එක්ක වැඩ කරන විධිය අවබෝධ වුණා. මගේ වයස කීය වුණත්  අපි එයාලත් එක්ක ගනුදෙනු කරද්දි එයාලගේ වයසට යන්න වෙනවා. ඔවුන්ට ඒක වැටහෙන ආකාරය ඔවුන්ගේ වයසට ගැළපෙන විධියට දිය යුතුයි. මොන විධියේ දෙයක් වුණත් ඒ ආකාරයෙන් තමයි උගන්වන්න අවශ්‍ය කියන දේ අද මට තේරෙනවා. එයාලා දකිද්දී මට මගේ පොඩි කාලය මතක් වෙනවා. මම රැජිණි සෙල්වනායගම් මිස් ගාවට යද්දී මට වයස අවුරුදු 3යි. එදා මිස් මට උගන්නද්දි භාවිත කරපු ටෙක්නික්ම අද මම මගේ දරුවන්ට භාවිත කරනවා. ඉතින් පොඩි දරුවෝ එක්ක වැඩ කිරීම මට හරිම සුන්දර, වටින, අත්දැකීමක්.


ඔබ කලාවට ඇවිත් ඉතාම කෙටි කාලයක් තුළ විවාහ වෙනවා. එය  ජනප්‍රියත්වයට බලපෑවේ නැද්ද?


මම කවදාවත් ජනප්‍රියත්වය පසුපස දුවපු කෙනෙක් නෙවෙයි. ජනප්‍රියත්වය නැතිවෙයිද කියලා බයෙන් ඉන්න, ඒ දේ බලෙන් රඳවගන්න උත්සාහ දරන කෙනෙක් නෙවෙයි. මම විශ්වාස කරන්නේ අපිට හැකියාවක් තිබෙනවා නම් ඒ දේට ලැබීමත් තිබෙනවා. උසස් අධ්‍යාපනය ලබන කාලයේ මම මුලින්ම හිතුවේ ඒ ගැන. ඒ කාලයෙත් මම මගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසා ධරණි නාට්‍යයෙන් කෙටි කාලයකට ඉවත් වුණා. උපාධිය අවසන් වුණාම මමයි මගේ සැමියයි කතා වුණේ දැන් විවාහ වෙන්න කාලය හරි කියන දේ. අනිත් දේවල් කොහොම වුණත් මම හිතන්නේ අපි අපේ ආදරණීයන්ට කාලය කැප කරන්න ඕනා. ඒක මම නිළියක්ද, මම ප්‍රසිද්ධයිද කියන දේ හිතුවේ නැහැ. මම එතැනදි හිතුවේ ජීවිතේ පැත්තෙන්. එහෙම හිතලා සුදුසුම තීරණය ගත්තා.


ශරීර හැඩය නිසා ඔබේ ඇතැම් නර්තන වීඩියෝවලට බොහොම නරක ආකාරයේ ප්‍රතිචාර එල්ල වෙන අවස්ථා තිබෙනවා. ඒ දේවල් ගැන මොනාද කියන්න තිබෙන්නේ?


ඒකට වචනයක් හදලම තිබෙනවා බොඩි ශේමිං කියලා. මම ගොඩක් දුරට දන්න දෙයක් තමයි බොඩි ශේමිං කියන දේ ගත්තම ශේමිං කියන දේ ලංකාව ඇතුළේ ගොඩක්  තිබෙනවා. ඒකට මට විතරක් නෙවෙයි, ගොඩක් කෙට්ටු ගැහැනු ළමයිට පවා මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ශරීර ගැන විතරක් නෙවෙයි, ගැහැනු ළමයෙක් වාහනයක් ගත්තත් ඒකට නරක ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. ඒක එක එක්කෙනාගේ දැනුම මට්ට්ම කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් වැරැදි කියපු, ගල් පෙරළපු මිනිස්සු හිටියා. මම කොයි වෙලාවකත් මගේ ශරීරයට කියන දේවල් නිසා ඒ මිනිස්සු එක්ක වෛරය, තරහව පිරිමහන්න යන්නේ නැහැ. සමහර විට එහෙම නරක කමෙන්ට් දාන අය මගේ මූණට හමුවෙලා හිනා වෙලා ගිහිල්ලත් ඇති. අපි මැරෙන මිනිස්සු විධියට ඇයි කමෙන්ට් එකකට හිත රිද්දගන්නේ.


සමාජ මාධ්‍ය ඇතුළේ බුලි කිරීම් සම්බන්ධයෙන් තැකීමක් නොකර ඉන්න මට්ටමට ඔබේ මනස හදාගත්තේ කොහොමද?


මගේ ෆොටෝ, වීඩියෝවලට නරක කමෙන්ට් දාන පිරිසක් වගේම හොඳ කමෙන්ට් දාන පිරිසකුත් ඉන්නවා. නමුත් මම හැම වෙලේම අවධානය දෙන්නේ හොඳ කමෙන්ට් දාන පිරිසට. මාව  රිද්දන – වට්ටන දෙයක් ගැන දිගින් දිගටම හිතනවා කියන්නේ, පුංචි මාතෘකාවක් වුණත් ඇති මනුස්සයෙක්ව ඩිප්‍රෙස් කරන්න.  මම හිතන්නේ නැහැ මම ඒ තත්ත්වයට පත් වෙන්න ඕනා කියලා. මේ මට ලැබුණු ශරීරය. එතැනදි මම කල්පනා කරන්නේ මගේ සැමියා මාව පිළිගන්නවා නම් මගේ මවුපියෝ, සහෝදරයෝ මාව පිළිගන්නවා නම් මම කාටවත් බරක් නොවෙන්න ජීවත් වෙනවා


නම් ඇයි මම නොදන්න මනුස්සයෙක් දාන කමෙන්ට් එකකට දුක් වෙන්නේ කියන දේ. පුද්ගලයෙක්ට තව කෙනෙක්ව රිද්දන්න, පහත් කරන්න කමෙන්ට් කරන්න කාලයක් තිබෙනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයම තමයි තත්පරයෙන් තත්පරයේ අනවශ්‍ය දෙයකට වැය වෙන්නේ. එතැනදි දුක් වෙන්න අවශ්‍ය ඒ පුද්ගලයා මිස මම නෙවෙයි. මොකද මේ ගෙවෙන කාලය නැවත ගන්න බැහැ. නමුත් කෙනෙක් මට මගේ අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් ඒ දේවල් මම පිළිගන්නවා.


මේ රංගන ජීවිතයේදි ඔබට මුහුණ දෙන්න සිදු වුණු අභියෝග ගැනත් කතා කරමු?


ඇත්තටම මේ කාලය තුළ මට අභියෝගයක් වුණේ මාවමයි. ඒ හැරුණු විට වෙනත් අභියෝගවලට, ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණේ නැතිම තරම්.


ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?


ඉදිරියේදී මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න තිබෙනවා. ඊට අමතරව තවත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම මම වැඩිම අවධානයක් දෙන්නේ මගේ නර්තන පන්තිවලට. මොකද මම ඒකෙන් ලොකු මානසික සුවයක් ලබනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post