හරිම කෙනාට සම්මාන ලැබෙනවා නම් තවත් හොඳයි- නයනා කුමාරි




බොහෝ කලකට පසුව සිය රංගන හැකියාව අවදි කරමින් මේ දිනවල විකාශය වන ‘දිවිතුරා’ ටෙලි නාට්‍යයේ විශාල්ගේ මවගේ චරිතයට රංගනයෙන් දායක වන නයනා කුමාරි රංගන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වනවා. පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් සිය රංගන කුසලතාව මැනැවින් ඉදිරිපත් කළ නයනා කුමාරි මෙවර  අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල මගේ සැලෝන් දෙකේ වැඩ කටයුතු තමයි බොහෝදුරට කරන්නේ. ඒ වගේම මම ඩිප්ලෝමා ක්ලාස්, රූපලාවණ්‍ය වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යබහුලව කාලය ගෙවනවා. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙනවා.


ඔබ රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ ගැන කතා කළොත්?


මේ නාට්‍ය ටිකක් පරණ නාට්‍යයක්. ඒ වගේම බොහෝදෙනා අතර ඉතාමත් ජනප්‍රිය, සම්මාන උළෙලට පවා නිර්දේශ වූ නාට්‍යයක්. දිවිතුරා නාට්‍යයේ රූගත කිරීම් කොළඹ අවට සිදුකෙරෙන නිසා මගේ අනෙක් වැඩකටයුතුත් එක්ක රංගන කටයුතු කරන්න ඇත්තටම මට ලොකු පහසුවක්. වැඩත් එක්ක මම ටිකක් කාර්යබහුල වුණත් මම මේ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් මගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ සැලෝන්වල වැඩ කටයුතුත් එක්ක. ඉතින් මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ මගේ නිවාඩු කාලයේදී තමයි. මේ දින ගැටලුත් එක්ක මට බොහෝ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. යම්කිසි අවබෝධයක් ඇතිව වැඩ කරන්න පුළුවන් නිර්මාණ තමයි මම භාරගන්නේ. ඒ අතරිනුත් දිවිතුරා කියන්නේ කාලයක් තිස්සේ වැඩ කරන ටෙලි නාට්‍යයක්.


අලුත් සිනමා නිර්මාණ ගැන කතා කළොත්?


මම රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ හතරක් පමණ තවමත් එන්න තිබෙනවා. රොජර් සෙනෙවිරත්න සහ මම කළ නිර්මාණයක් තිබෙනවා. ටෙනිසන් කුරේ අයියා මිය යන්නට කලින් අපි ලස්සන කොමඩි ෆිල්ම් එකක් කළා. ඒකේ ප්‍රධාන චරිත රඟදැක්වූයේත් අප දෙදෙනා. ඉතින් මේ වගේ තවමත් විකාශය නොවුණු නිර්මාණ කිහිපයක්ම තිබෙනවා.


ඇයි ඔබ රංගන කටයුතුවලින් ඉඳහිට දැකගන්නට ලැබෙන්නේ?


ඇත්තටම දැන් මගේ වෘත්තීය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය. එය බොහොම කාර්යබහුල රැකියාවක්. මගේ සැලෝන් දෙකක් තිබෙනවා. ඒවායේ මනාලියන් හැඩගැන්වීම් සියල්ලම මගේ අතින් කෙරෙන්නේ. ඉතින් මම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ මගේ ව්‍යාපාර වැඩකටයුතුත් එක්ක.


ඔබ බොහෝ කලකට පසුවයි දිවිතුරා ටෙලි නාට්‍යයෙන් රංගනයට දායක වන්නේ. ඒකට විශේෂ හේතු තිබෙනවාද?


මම බොහෝ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි  දිවිතුරා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න තෝරාගන්නේ. මම දිවිතුරා ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමට පෙර ඔවුන්ගේ නිර්මාණයක් වන “මහවිරු පණ්ඩු” කියන ටෙලි නාට්‍යයේ වැඩ කළා. ඉතින් මේ අය කලාකරුවන් ගැන ගොඩක් හිතනවා. කලාකරුවන්ට හොඳින් සලකනවා. අපට හරිම පහසුයි වැඩ කරන්න. බොහෝ නිර්මාණවල නවක කලාකරුවන්ට වගේම ප්‍රවීණ කලාකරුවන්ටත් ලැබෙන්නේ අඩු මුදලක්. අපේ කාලය කැප කරද්දී ඒ වගේ අඩු මුදලකට වැඩ කරන්න අපහසුයි. අපි ඉල්ලන මුදල ලබා දෙන්න පුළුවන් නිර්මාණවලට තමයි සම්බන්ධ වන්නේ. අධ්‍යක්ෂවරයකුට හොඳ මුදලක් ගෙවන්න නොහැකි වුණත් චැනල් එකකට කලාකරුවන් වෙනුවෙන් හොඳ මුදලක් ගෙවන්න පුළුවන්.


වර්තමාන කලා ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සෑහීමකට පත් වෙන්න බැහැ. අලුතෙන් බිහිවන බොහෝ නිර්මාණවල හොඳ හරයක්,  සුන්දරත්වයක් තිබෙනවා කියන්න අපහසුයි. හොඳ නිර්මාණ ඉඳහිට එකක් දෙකක් බිහි වෙනවා. නමුත් බිහිවෙන සෑම නිර්මාණයක්ම හොඳ නිර්මාණ නෙවෙයි. ඉතින් අපි රඟපාපු කාලේ ගොඩක් හොඳ නිර්මාණ බොහොමයක් තිබුණා. ඒ වගේම නළු නිළියන්ට හොඳ පැවැත්මක් තිබුණා. තවමත් අපි කරපු කියපුවා ප්‍රේක්ෂකයන්ට මතකයි.


ඔබ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස අලුත් පරම්පරාව සමඟ වැඩ කරන එක මොන වගේ අත්දැකීමක්ද?


නවක නළු නිළියන් ගොඩක් වෙලාවට ඉන්නේ ඔවුන්ගේ ලෝකවල. ගොඩක් වෙලාවට ඔවුන් ප්‍රවීණ නළු නිළියන්වවත් හ¾දුනන්නේ නැහැ. මේ අය වැඩ කරද්දීත් තනියෙන්  වැඩ කරන්න හදනවා. රඟපෑම කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් නවක රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් ඉන්නේ ඔවුන්ගේ ලෝකවල. වැඩ කරන අයත් එක්ක එකට එකතු වෙලා, ප්‍රවීණයන් එක්ක එකට එකතු වෙලා වැඩ කරද්දී ඔවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. අපි තවමත් අපේ ප්‍රවීණයන්ට ගරු කරනවා. ඒ වගේම අපේ ප්‍රවීණයන් රඟපානවිට අපි තවමත් බලන් ඉන්නවා. මොකද ඒ දේවල්වලින් අපි තවමත් ඉගෙන ගන්නවා. කලාව කියන්නේ අපි ඉගෙන ගනිමින් කරන්න ඕන දෙයක්.  රංගනයට එන තරුණ පරම්පරාව හිතන්නේ ඔවුන් හරි, ඔවුන් නිවැරදියි කියලා. ඔවුන් කලාව හොඳින් හදාරනවා නම් ඔවුන්ට මීට වඩා හොඳ පැවැත්මක් කලාව තුළ තිබෙනවා. අලුත් පිරිසක් රංගනයට එන්න ඕනෑ. කලාව කියන්නේ අලුත් පිරිසට හොඳ තෝතැන්නක්. නමුත් ඔවුන් කලාව හැදෑරිය යුතුයි.


ඔබත් සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනියක්.  ඉතින් රංගන ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට සම්මාන ලැබීම ගැන මොකද හිතන්නේ?


සම්මානයක් කියන්නේ නළු නිළියන්ට ඉතාම වටින දෙයක්. මේ සම්මාන සෑම එකක්ම මමත් ලබාගෙන තිබෙනවා. සුමති සම්මාන උළෙල කියන්නේ හොඳ විශ්වාසයක් තබන්න පුළුවන් සම්මාන උළෙලක්. හැමදාමත් මගේ ආදරය සම්මාන උළෙලට ලැබෙනවා. එහිදීත් හරිම කෙනාට සම්මානය ලැබෙනවා නම් තවත් හොඳයි කියලා මම හිතනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


ඇත්තටම මට ලොකු බලාපොරොත්තු නැහැ. පළමුවැනිම දේ මගේ පුතා. මට අවශ්‍ය වුණේ ඔහුට හොඳට උගන්නලා රටට වැඩදායී පුද්ගලයෙක් කරන්න. එයාට අවශ්‍ය පසුබිම මමයි මහත්තයයි හදලා දෙනවා. මගේ ව්‍යාපාර කටයුතු, ඇකඩමියේ කටයුතු වගේම රංගන කටයුතු පිළිබඳව පුංචි පුංචි බලාපොරොත්තු නැතිවාම නොවෙයි. එක බලාපොරොත්තුවක් ඉටු වෙනකොට තවත් බලාපොරොත්තු ගොන්නක් ඇති වෙනවා. ඉතින් කරන වැඩේ හරියට කරන එක තමයි මගේ බලාපොරොත්තුව.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post