අවුරුදු ගාණකට පස්සෙ සැබෑ වුණු හීනය ගැන සචින් කියපු කතාව




කාලයෙන් කාලයට පුංචි තිරය තුළ ප්‍රේමණීය යුග බිහි කරන රංගන ශිල්පීන්, ශිල්පිනියන් බිහි වෙයි. ගෙවී යන මේ කාලයේ පුංචි තිරයේ පෙම්වතා යන විරුදාවලිය හිමි කර ගෙන සිටින්නේ ඔහුයි. කඩවසම් පෙනුමත්, රංගයේ සුහුරු බවත් නිසාම වයස් භේදයකින් තොරව මෙරට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ආදරය නොමඳවම දිනා ගෙන ඇති ඔහු නමින් සචින් ලියනගේ නම් වේ. වෙළෙඳ දැන්වීම්, හඬ කැවීම් හා ටෙලි නිර්මාණවලින් ඔබ්බට නුදුරු දිනකදී සිනමාව හරහාද ප්‍රේක්ෂකයා වසඟ කරගැනීමට සූදානමින් සිටින ඔහු ‘හදගැස්ම’ සමඟින් කළ කතා බහයි මේ. මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දවස්වල අලුත් ඩ්‍රාමා එකක් පටන්  ගත්තා. ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම විසල් ආදරේ චිත්‍රපටයේ ට්‍රේලර් ප්‍රිමියර්  එක තිබුණා. ඒකත් ඉතාම ළඟදී ප්‍රේක්ෂකයාට දැකගන්න ලැබෙයි. ඒ දේවල් එක්ක තවත් අලුත් චිත්‍රපටයකටත් කතා කරලා තිබෙනවා. ඊට අමතරව ජානු ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. ඒ විධියට තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.


විසල් ආදරේ ඔබේ පළමු සිනමා අත්දැකීම, ඒ ගැන කතා කරමු?


ඩ්‍රාමාවලින් පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි චිත්‍රපට කියන්නේ. මම මේ වෙද්දි ටෙලි නාට්‍ය ගොඩකින් අත්දැකීම් ලබා ගෙන තිබෙනවා. චිත්‍රපටවල අත්දැකීම ඇත්තටම හොඳයි. හරිම නැවුම් බවක් දැනෙනවා. හරිම ආසාවක් දැනෙනවා චිත්‍රපටයක වැඩ කරද්දි. රංගන ශිල්පියෝ කවුරුත් ආසයි තමන්ව බිග් ස්ක්‍රීන් එකේ දකින්න. මම ඒ අත්දැකීම විඳින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.


ඔබ ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් අතරින් එක් අයෙක්, මේ අසීමාන්තික ප්‍රේක්ෂක ආකර්ෂණය ගැන මොකද හිතෙන්නේ?


ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය කියන්නේ මට තිබෙන ලොකුම සතුට. රංගන ශිල්පියෙක් විධියට මට ලැබෙන ගෙවීම්වලට, මට හිමි වෙන නිර්මාණවලට හේතුව ප්‍රේක්ෂකයන්ගේ ආදරය. ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩු වුණොත් අපිට මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න බැහැ. ඔවුන් අපිව ආදරයෙන් වැලඳගන්නා තෙක් අපිට මේකේ රැඳී ඉන්න පුළුවන්. මම ශක්තිමත් වෙලා ඉන්නේ ඔවුන්ගෙන් හිමි වන ආදරය නිසා. මට ආදරය කරන මගේ ප්‍රේක්ෂකයන් ඕනිම කෙනෙක්ට මගේ සමාජ මාධ්‍ය සියල්ල කමෙන්ට්වලට වගේම මැසේජ්වලටත් විවෘතයි. සෘණාත්මක කමෙන්ට් එකක් වුණත් මම කවදාවත් ඩිලීට් කරන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් තමයි මගේ එකම දේ. ඔවුන් හැමදාම මාත් එක්ක ඉන්නවා නම් මට ඒ ඇති.


ජනප්‍රියත්වයෙන් ඔබ්බට සම්මාන උළෙලවල් සඳහා හොඳම නළුවා කැටගරියට නොමිනේට් වෙන්න අදහසක් නැද්ද?


මට ලොකු අයිඩියා එකක් තිබෙනවා දක්ෂම කියන කැටගරියට ගිහින් ජීවත් වෙන්න. ඒකට තාම ඉඩ ලැබුණේ නැහැ. මම කරන වැඩත් එක්ක  ඒක එකපාර කරන්න බැහැ. මම කරන වැඩත් එක්ක ටිකෙන් ටික ඒ ගමන කරා යනවා. මේ වෙද්දි ප්‍රේක්ෂකයාගේ ඔළුවේ මාව ඇඳිලා තිබෙන ප්‍රතිරූපය කඩාගෙන එක පාරම වෙන පැත්තකට  ගියොත්, ඔවුන් මාව අතහරියි කියලා මට හිතෙනවා. ඉතිං මම ටික ටික ඒ ගමන යනවා. නමුත් එක පාර ඒ තත්ත්වයට පත් වෙන්න බැහැ. කවදාහරි මේ ආර්ටිකල් එක දකිද්දි මට හිතෙයි මම කවදාහරි ලංකාවේ දක්ෂම නළුවා වෙන බව කිව්වා කියලා.


පෙම්වතාගේ  චරිතයට කොටු වීම චරිතාංග නළුවෙක් ලෙස ඉදිරියට එන්න බාධාවක් නොවෙයිද?


ලංකාවේ අලුතෙන් එන ජෙනරේෂන් එකට මුලින්ම හම්බෙන්නේ එක්කෝ ප්‍රේමවන්තයාගේ එහෙම නැත්තම් සහාය චරිතයක්. ඒ දේත් එක්ක ඔවුන් ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේමවන්තයා කියන චරිතය ලබාගන්න. මම වුණත් ආපු මුල් කාලයේ ට්‍රයි කළේ ප්‍රේමවන්තයාගේ චරිතයට.


එතැනදී මම ඒක රාමු වීමක් විධියට දකින්නේ නැහැ. මම මුලින් එද්දි වුණත් ආසාවෙන් හිටියේ ජනප්‍රිය නළුවෙක් වෙන්න නම් ප්‍රේමවන්තයාගේ චරිතය කරන්න අවශ්‍යයි කියලා. තරුණ පරම්පරාවේ ලස්සන උස මහත කොල්ලෙක් ආවොත් වැටෙන්නේ ඒ කැටගරි එකට. එතැනින් එහාට තමා විසින් වෙනස් කරගන්න දෙයක් තමයි. මම හිතන්නේ ඒක ෆීල්ඩ් එකේ වරදක් නෙවෙයි. ප්‍රේමවන්තයා කියන්නේ තරුණ පරම්පරාවත් එක්ක


ගැටෙන චරිතයක් නිසා මම වුණත් හැමදාම හරි ප්‍රේමවන්තයා වෙලා ඉන්න කැමැතියි. එතැනින් එහාට රාමුව කඩා ගන්න එක තමන්ගේ වැඩක්. මම වුණත් රූපවාහිනි නාලිකාවල ප්‍රේමවන්තයාගේ චරිතය කරන ගමන් වෙබ් සීරිස්වල විලන්ගේ චරිතය කළා. මගේ ඉදිරියට එන ටෙලි නාට්‍යයේත් මාව ප්‍රේමවන්තයාම නොවෙයි, එතැනින් අඩියක් ඉදිරියට ගියපු චරිතයකින් බලා ගන්න පුළුවන්. ඒ රාමුවෙන් එළියට යන්න ටික ටික වෙනස්කම් කරන්න ඕනා. එකපාර වෙනස්කම් කළොත් අපිට ඔරොත්තු දෙන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයාට ඔරොත්තු දෙන්නෙත් නැහැ.


ජනප්‍රියත්වය රඳා පවත්වා ගැනීමට රංගන ශිල්පියෙක්ගේ ප්‍රතිරූපය මොන තරම්  වැදගත්ද?


මම හිතන්නේ සරල බව තිබුණා නම් ඇති. චාමර වීරසිංහ කියන ගායකයාට අති විශාල රසික ආදරයක් ලැබෙන්නේ ඔහුගේ තිබෙන සරල බව නිසා. නළුවෙක්ට, ගායකයෙක්ට මේන්ටේන් එකක් අවශ්‍ය තමන්ගේ රැකියාවේදී විතරයි. එතැනින් එහාට තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුළේ ජනප්‍රිය වීමට පෙර හිටපු සැබෑ පුද්ගලයා නොවී ඊට හාත්පසින් වෙනස් කෙනෙක් මේන්ටේන් කරන්න යන්නේ නැතිව සරල විධියට හිටපු විධියටම ජීවත් වුණා නම් ඇති. නමුත් රැකියාව ඇතුළේ ඉම්පෘෘ වෙන්න අවශ්‍යයි. රැකියාවෙන් එහාට බොරු තත්ත්වයක් මේන්ටේන් නොකර හිටපු කෙනා විධියටම සරලව හිටියා නම් ඇති.


සචින් කියන රංගන ශිල්පියා ප්‍රේක්ෂකයාට වඩාත් සමීප කළ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද?


රංගනයට ආපු මුල්ම කාලයේ මට ප්‍රධාන චරිතයකට ලැබුණේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ නිර්වාන්ගේ චරිතය. නිර්වාන් හරහා තමයි මිනිස්සු මාව දැනගෙන ගොඩක් ආදරය කරන්න පටන් ගත්තේ. ජානු නාට්‍යයේ සහස් චරිතයත් මට පාර කිව්වා හොඳ තැනකට එන්න. එහි අධ්‍යක්ෂ හසුන් සමීර හොඳ සහයෝගය ලබාදෙන පුද්ගලයෙක්. හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරද්දි කියා දෙන්න ආදරේ තරම් නාට්‍යය තමයි මාව මේ තැනට අරගෙන එන්න මූලිකවම හේතුවක් වුණේ.


ඔබේ පළමු සිනමා අත්දැකීම සමඟින් ඉදිරියේදී නිතරම සිනමා නිර්මාණයන් හරහා දැක ගන්න ලැබේවිද?


විසල් ආදරය මාර්තු මාසයේ තිරගත වේවී. අවුරුදු හතක අටක සිහිනයක් තමයි මේ හැබෑ වෙන්න යන්නේ. ඒ දවසට ඇවිත් මගේ ප්‍රේක්ෂකයන් කියන දේ දැනගන්න පුදුම ආසාවකින් ඉන්නවා. බලමු ඉදිරියේදී සිනමා වැඩ කටයුතු කොහොම වෙයිද කියලා.


තිරයේ පෙම්වතා දැන් සැබෑ ලෝකයේත් පෙම්වතෙක්ද?


නෑ නෑ. මට පෙම්වතියක් නැහැ. ඒ කෙනා හොඳම කාලයේදී හරිම වෙලාවට ලැබෙයි.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post