ආදරේ ගැන අත්දැකීම් තියෙනවා ඒ නිසාම ආදරේට මං බයයි-දුශේනි මියුරංගි




සද්ධා – සිවා සුසංයෝගයෙන් නිම වුණු ජනප්‍රියම ටෙලි නිර්මාණයක් වූ පාර දිගේ ටෙලි නිර්මාණයේ බන්ටි ලෙසින් ඉහළම ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඇය මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන සල්ලි පොකුරු ටෙලි නිර්මාණයේ පිංකි සහ හරිනි ලෙසින් ද්විත්ව රංගනයක යෙදෙන්නීය. ආකර්ෂණීය රූ සපුවක් හිමි දුශේනි මියුරංගි නුදුරේදීම තිරගත වීමට නියමිත ඇයගේ කුලුඳුල් සිනමා අත්දැකීම පුළුල් තිරය මත විඳගන්නා තෙක් නොඉවසිල්ලෙන් පසු වන්නීය.



ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතයි. ඒ ගැන මොකද හිතෙන්නෙ?



සිංහබාහු කියන්නෙ මගේ කුලුඳුල් සිනමා අත්දැකීම. ඒක ඉක්මනින්ම තිරගත වේවි කියන බලාපොරොත්තුව තියෙනවා. පසුගියදා මාධ්‍යට ප්‍රදර්ශනය කළ අවස්ථාවෙ පළවුණු අදහස්වලින් හොඳටම තේරුණා ඒක වෙනස්ම අත්දැකීමක් විදිහට ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනීවි කියලා.


සිංහසීවලී විදිහට ඔබ එහි ප්‍රධාන චරිතය රඟනවා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නෙ?


රේණුකා බාලසූරිය මහත්මිය තමයි මුලින්ම මට මේ චරිතයට ආරාධනා කළේ. ඇය පාර දිගේ රසිකාවියක් විදිහට මාව හොඳින් හඳුනගෙන තිබුණා. ඒ වගේම යශෝධා විමලධර්ම අක්කවත් මෙහිදී මතක් කළ යුතුයි. ඇය මං ගැන රේණු අක්කට කියල තිබුණා. සෝමරත්න දිසානායකයන් මාව දැක්ක ගමන්ම සිංහසීවලී කරගන්න කැමති වුණා. මේ වගේ ඉතිහාසගත නිර්මාණයකට මාව සම්බන්ධ කරගැනීම ගැන මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.


අපි අහල තිබුණු ඉතිහාස කතාවට එහා ගිය අර්ථකථනයක් සිංහබාහු සිනමා නිර්මාණය හරහා දෙන්න අධ්‍යක්ෂවරයා උත්සාහ කර තිබුණා. කුලුඳුල් සිනමා අත්දැකීම මෙවන් අභියෝගයකට ලක්කිරීම ඔබට දැනුණෙ කොහොමද?



ඉතිහාස කතාවේ සඳහන් යම් යම් අප්‍රසාදජනක තැන් මඟහරවන්න ඔහු ඒ අභියෝගය අරන් තිබුණා. මෙය සියයකට අධික පිරිසක් යොදාගෙන කරපු අතිදැවැන්ත නිර්මාණයක්. දඹුල්ල, අනුරාධපුරය, තඹුත්තේගම වගේ පළාත්වල මාස දෙකකට අධික කාලයක් ලොකු කැපවීමක් කරල කරපු නිර්මාණයක්. හැමෝගෙම සහයෝගය උපරිමයෙන්ම තිබුණා. ටෙලි නාට්‍යවල දැකපු නැති ගොඩක් දේවල් මට දකින්න, ඉගෙනගන්න ලැබුණා මේ චිත්‍රපටයට සම්බන්ධ වීමෙන්. ඒ වගේම ජැක්සන් සර්ගෙ කනගාටුදායක සිදුවීමත් අමතක කළ නොහැකි අත්දැකීමක් බවට පත්වුණා.


සිනමාපටයේ දෙබස් සඳහා කාව්‍යමය බස් වහරක් යොදා ගැනීම මුල්ම අත්දැකීම විදිහට ඔබට අභියෝගයක් වුණේ නැද්ද?


කාව්‍යමය භාෂාව එළිසමයට යටත්ව තමයි ලියවිලා තිබුණේ. මේක ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා අධ්‍යක්ෂවරයා කළ අත්හදාබැලීමක්. ඒ දවස්වල මං කොතරම් කාර්යබහුල වුණත් දවසකට පිටුවක් හරි කියවන්න පුරුදු වුණා. අදටත් මට දෙබස් මතකයෙන් කියන්න පුළුවන් තරමටම අපි රිහසල් කරල තිබුණා. සජිත අයියයි මමයි කතා වුණා වර්තමානයටත් අරගෙන යන්න පුළුවන් විදිහට මේ භාෂා ශෛලිය හසුරුවමු කියලා. අලුත් පරම්පරාව මේක ආදරෙන් වැලඳගෙන රැල්ලක් හැදේවි කියන විශ්වාසයත් තියෙනවා. සජිත අයිය මේ වගේ ඓතිහාසික කතාවල අත්දැකීම් ලබල තිබුණට මගේ පළමු අත්දැකීම විදිහට මට මේක බර වැඩි වුණා.‍


දුශේනි රංගන ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?


මං මුලින්ම රංගන අත්දැකීමක් ලබන්නේ 2016 වසරේ ආදරේ ගින්දරක් ටෙලි නිර්මාණය හරහා. ඊට පස්සෙ 2017 වසරේ ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එතැනින් පස්සෙ තමයි මං හරියටම රංගනයට යොමුවුණේ. බොහොම හෙමින් ආපු ගමනක් මට තියෙන්නේ. පාර දිගේ ටෙලි නාට්‍යයේ බන්ටි තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඒක ද්විත්ව චරිතයක්. සද්ධා – සිවා සුසංයෝගයේ නිර්මාණවල අමුතුම රසයක් තියෙනවා. මට හරි පහසුයි එයාල එක්ක වැඩකරන්න. මේ දිනවල සල්ලි පොකුරු රූගත කිරීම් කෙරෙනවා. ඒකත් ද්විත්ව චරිතයක්. සිංහසීවලීට මාව තේරෙන්න තරම් මගේ දක්ෂතා හඳුනගෙන ඒව එළියට ගැනීමේ ගෞරවය හිමිවෙන්නේ සිවගුරුනාදන් සර්ට.


දුශේනිට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනව නේද?


මගේ තාත්තගෙ ඕනකමට තමයි මං මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. එයාට ඕන වුණා මාව ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් කරන්න. අදටත් මගේ හයිය වෙලා ඉන්නෙ එයා. තාත්තා වගේම අම්මයි මල්ලියි මගේ පිටිපස්සෙම ඉන්නවා.


ආදරේ ගැන දුශේනිට තියෙන්නෙ මොන වගේ අත්දැකීමක් ද?


ආදරය කියන්නෙ හරි සංකීර්ණ මාතෘකාවක්. ආදරේට කෙනෙකුගේ ජීවිතේ ඇති කරන්නත් පුළුවන් ඒ වගේම නැති කරන්නත් පුළුවන්. ඒ නිසා මං ආදරේට බයයි. ආදරේ ගැන අත්දැකීම් තියෙනවා. එයාලගෙන් ලොකු බලපෑමක් වෙලා නැති වුණත් ආදරේ කියන හැඟීමට මගේ යම්කිසි බයක් තියෙනවා. ආදරේදි තේරුම් ගැනීම සහ විශ්වාසය තමයි පළවෙනි තැන. ජීවිතේ නැති නොකර ජීවිතේ ලස්සන කරන කෙනෙක් ලැබෙනව නම් මට ඒ ඇති.


නාමලී ගමගේ




Previous Post Next Post