වෙන ආදරයක් ගැන හිතන්න දැන් වෙලාවක් නෑ - යොහානි ද සිල්වා




මැණිකේ මගේ හිතේ ගීතය තුළින් ලොවක් වසඟයට ගත් යොහානි ද සිල්වා පසුගිය දා නැවතත් සමාජයේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වූවාය. ඒ මේ දිනවල විවේචනයට ලක්වෙමින් ප්‍රතිචාර ලබන ඇගේ ‘කෙල්ල’ ගීතය නිසාය. එහි අඩංගු එක් වචනයක් බොහෝ දෙනාගේ අවධානයට ලක්වීමෙන් මුළු නිර්මාණයම විවේචනයට ලක්්වූ බව ඇගේ අදහසයි. වැඩි කාලයක් ඉන්දියාවෙහි ගත කරන යොහානි පසුගිය දිනක ලංකාවට පැමිණි මොහොතේ අප හා කතාබහට එක්වූවාය.



සමාජයේ ලොකු ආන්දෝලනයක් ඇති කළ ඔබේ ‘කෙල්ල’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?‍



ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි වැඩිපුර ලැබෙන්නේ. 10%ක් විතර බෑඩ් කමෙන්ට්ස් ලැබුණත් 95%ක්ම හොඳ පැත්ත නිසා ප්‍රතිචාර හොඳයි කියල කියන්න පුළුවන්.


කෙල්ල නිර්මාණය වුණු හැටිත් කියමු?


කෙල්ල පද රචනය කළේ දිලන්ජන් සෙනෙවිරත්න. මියුසික් කළේ පසන් ලියනගේ. ගායනය වගේම මියුසික් කොමේපෝස් කළේ මම.


යොහානි පිරිමින්ගේ ලිංගිකත්වය මේ ගීතයෙන් කතාබහට ලක්කරනව කියන කතාව ඇත්තද?


පළමුවෙන්ම කියන්න තියෙන්නෙ, මට නිදහස තියෙනවා මගේ නිර්මාණයක් මම කැමති විදිහට කරන්න. මේ ගීතයෙන් කියල තියෙන්නෙ බොඩි ෂේමින් ගැන. කවුරුත් කතා නොකරන ඒත් අද සමාජයේ සිදුවන දෙයක් ගැන සමාජයට පණිවුඩයක් දෙන්නයි මං උත්සාහ කළේ. මට විතරක් නෙවෙයි සමස්ත කාන්තාවටම තියෙන ප්‍රශ්නයක් ගැනයි මේ කතා කරන්නෙ. එක වචනයක් දිහා බලලා තීන්දු තීරණ දෙන්නෙ නැතුව ඒක නිර්මාණයක් විදිහට බලන්න කියලත් ඉල්ලනවා. සමාජ මාධ්‍යවල කෙල්ලෙකුගෙ පින්තූරයකට කොල්ලො දාන කමෙන්ට් දැක්ක නම් මගේ මේ වචනය මොකක්ද කියලත් හිතේවි.


වැඩිපුරම චෝදනා කරන්නෙ පිරිමි පාර්ශ්වය නේද?


එහෙමත් නැහැ. ලිංග භේදයක් තිබුණෙ නැහැ. දෙපැත්තෙම අය ප්‍රශ්න කරල තිබුණා. ඇයි මෙහෙම එකක් කළේ කියලා.


කාන්තාවන්ගේ ප්‍රතිචාර කොහොමද?


සමස්තයක් විදිහට ගත්තහම හොඳ විදිහට තමයි වැඩිපුර තිබුණේ. කවුරුත්ම කතා නොකරන මාතෘකාවක් ගැන මෙහෙම කතා කිරීම ගැන අගය කළ අයත් හිටියා.


සාමාන්‍යයෙන් රැප් එකක වචන ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටෙනව අඩුයිනේ. සමාජ මාධ්‍යවල යන ක්ලිප්ස්වල ‘කෙල්ල‘ ලිරික්ස් පේන නිසා තමයි මේක බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණේ නේද?


කෙල්ල ගීතයේ මියුසික් වීඩියෝ එක තාම රිලීස් වෙලා නැහැ. ඒක රිලීස් වෙන්නෙ මාර්තුවල. අපි සජීවීව ගයපු ඒවයේ ක්ලිප්ස් තමයි ඔය සමාජ මාධ්‍යවල යන්නේ. සාමාන්‍යයෙන් ලිරික්ස් මං කොහොමත් දානවා. දැනට සින්දු 14ම කරල තියෙන්නෙ ඕඩියෝ විතරයි. ඉදිරියේදී එකින් එක වීඩියෝ ටික රිලීස් කරනවා. මේ ඇල්බම් එක ඉන්දියාවෙත් යන නිසා ලිරික්ස් හින්දියෙන් සහ ඉංග්‍රීසියෙන් දාන්න බලාපොරොත්තු වෙනවා.


ලෝකෙම අවධානයට ලක්වුණු යොහානිට ‘කෙල්ල‘ කියන්නෙ අවදානමක් නෙවෙයිද?‍


ඒකෙ අවදානම මේ වගේ ගීතයක් කියන එක නෙවෙයි. මම ඒක කියන විදිහ සහ කාන්තාවක් විදිහට මම මේ වගේ රැප් එකක් කිවුව එක තමයි කාටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඕකම පිරිමි කෙනෙක් කිවුව නම් කිසිම ප්‍රශ්නයක් නෑ. යොහානි කියන්නෙ හැමදාම අවදානමක් ගත්ත කෙනෙක්. ඉදිරියටත් එහෙම තමයි මම.


මැණිකේ නිසා ගොඩනැඟුණු ඔබේ ප්‍රතිරූපයට කෙල්ල නිසා හානියක් වුණා කියල හිතෙන්නෙ නැද්ද?


කොහෙත්ම නැහැ. 10%ක් විතරයි බෑඩ් පැත්ත. 90%ක්ම හොඳ පැත්තනෙ. අපේ රටේ නැතත් අනෙක් රටවල මේක කතා කරන මාතෘකාවක්.


මේ ගීතය යොහානි පිරිමින්ට ගහපු අතුල් පහරක් කියල කියපු අයත් හිටියා. ඒකෙ ඇත්තක් තියේද?


මට එහෙම කිවුව අයම තමයි මට දැන් එක එක ඒව කියන්නෙ. ගීතය හරියට අහලා ඒකෙ පණිවුඩය තේරුම් ගත්ත නම් ආයෙ මට බණින්න කිසිම අවශ්‍යතාවක් නෑ.


යොහානිගෙ අලුත් නිර්මාණ ගැනත් කතා කරමු?


දැනට කෙල්ල ඇල්බම් එකේ ගීත 14 ඕඩියෝ විතරයි රිලීස් වුණේ. මේ දවස්වල වීඩියෝ ටික කරමින් යනවා. සමහර ඒව නම් ෂූට් කරලත් ඉවරයි. තවත් කිහිපයක් කරන්න තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයකුත් තියෙනවා. මොරොක්කෝවල සහ US වල වගේම තවත් රටවල් කිහිපයක ආර්ටිස්ට්ල එක්ක කරපු නිර්මාණ ඒ අතර තියෙනවා.


ඊටත් අමතරව ඉන්දියාවෙ ටී සීරීස් එකේ වැඩ කරගෙන යනවා. හින්දි චිත්‍රපටවලට ගීත කිහිපයක් කරල තියෙනවා. දමිළ චිත්‍රපටයකටත් ගීතයක් කළා. තෙළිඟු චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා. ඉන්දියාවෙ ආර්ටිස්ට්ල එක්කත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මගේම සින්දු කිහිපයක් කරන්නත් සූදානමක් තියෙනවා. ඒවායේ ප්‍රොඩක්ෂන් පැත්ත ඉවරයි. හින්දියෙන් ලිරික්ස් කරන්න තියෙනවා. ඒවට තමයි මේ අවුරුද්දෙ ෆෝකස් කරන්නෙ. පෙබරවාරි 14 ‘නුඹ ළඟ‘ ගීතය රිලීස් වෙනවා.


ආදරය ගැන යොහානිට තියෙන්නෙ මොන වගේ අදහසක් ද?


මම ආදරය කරන්නෙ මියුසික්වලට. ඇත්තම කිවුවොත් වෙන ආදරයක් ගැන හිතන්න දැන් වෙලාවක් නැහැ.




Previous Post Next Post