අභියෝගාත්මක චරිත රඟපාන්න කැමැතියි -සඳනි ප්‍රනාන්දු



මෙරට රූපවාහිනි නාළිකා දෙකකින් 2016 සහ 2017 වසර වලදී පැවත් වු අවුරුදු කුමරිය වැඩසටහන් වලින් ජයග්‍රහණයන් හිමිකර ගැනිමෙන් අනතුරුව ඇයට රංගනය සඳහා අවස්ථාව උදාවූවාය. පසුව රූපවාහිනී නිවේදිකාවක් ලෙසින් ද ඇය අප හමුවට පැමිණියාය. මේ දිනවල ස්වර්ණවාහිනී රූපවාහිනියේ සේවය මඟින් සතියේ දිනවල පහේම රාත්‍රී 8.30ට විකාශය වන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් ඇය අපේ ආලින්දයට ගොඩ වන්නීය‍. ඒ නෙහාරා නම් නර්තන ගුරුවරියකගේ චරිතය තුළිනි. මෙවර අප හා කතා බහට එකතු වන්නේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනී සඳනි ප්‍රනාන්දුය.


සඳනි ප්‍රනාන්දු නිළියක්ද නිවේදිකාවක් ලෙසද මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ ?


නිළියක් ලෙස තමා අයියේ මුලින්ම මේ ක්ෂේත්‍රයට මං එන්නෙ.


ඒ ආරම්භය සිදු ‍වෙන්නේ කොහොමද ?


මම මෙරට රූපවාහිනී නාලිකා දෙකකින් පැවැත් වු අවුරුදු කුමරිය කම්පිටිෂන් වලට අයදුම් කරලා ඒවාට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගැනීමෙන් අනතුරුව තමා මට රංගනයට අවස්ථාව ලැබුණේ.


ඔබ දායක වූ ප්‍රථම නිර්මාණ ගැන කිව්වොත් ?


ඔව්, 2017 වසරේදී ස්වර්ණවාහිනී රූපවාහිනි නාලිකාවෙන් විකාශය වුණු හාර කෝටිය ටෙලි නාට්‍යයේ රශ්මි කියන චරිතය තමා එහි මට රඟපාන්න ලැබුණේ ඒක තමා මගේ ප්‍රථම රංගනය.


ඔබේ පවුලේ විස්තර ටිකක් කියමු නෙද?


පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි අපි ඉන්නේ මාරවිල මං පාසල් ගියේ මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලට.


අධ්‍යපන හදාරපු කාලෙම කලාවට එනවා කියලා හිතුවාද?


මම සා.පෙළ කරපු කාලේ කලාවට ආසාවක් තිබුණා. පස්සේ කාලේක මං ජාතික රූපවාහිනියේ, ස්වාධීන රූපවාහිනි සේවයෙනුත් පැවැත් වු අවුරුදු කුමරිය කම්පිටිෂන් දෙකටම ඉදිරිපත් වුණා. ඒත් මං නිළියක් වෙන්න නම් හිතුවේ නෑ. මොකද මම උසස් පෙළ කළේ (වාණිජ අංශයෙන්).


වාණිජ අංශයේ ඉගෙනගත් ඔබ එය අත්හැරලා අද නිළියක් වෙලා. ඉගෙන ගත්ත ඒ අංශයෙන් ඉදිරියට නොගිය එක ගැන දුකක් තියෙනවද


එහෙමනම් නැ මං අද කලාවේ ඉන්න එක ගැන ලොකු සතුටක් ලබනවා මේ කලාව හරහා මට ලැබුණු දේවල් බොහොමයි. විවිධ මාවත් ඔස්සේ මට ඒ ගැන විස්තර කියන්න වචන නැ මෙන්න මේ විදිහයි කියලා.


සඳනි ප්‍රනාන්දු නිවේදිකාවකුත් වුණා නේද?


ඔව්, මට ස්වර්ණවාහිනියෙන් තමා ඒ අවස්ථාව ලැබුණේ. කාලයක් මං වැඩසටහනක් කරලා පෞද්ගලිකව මට ඒක නවත්වන්න සිදුවුණා.


ඒකෙන් ප්‍රේක්ෂකයින්ට ලොකු අසාධාරණයක් වුණා කියලා සඳනිට හිතෙන්නේ නැද්ද. නැවත නිවේදිකාවක් ලෙස කරළියට ආවොත් හොඳයි නේද?


ඔව්, නැවත අවස්ථාවක් ලැබුණොත් මට තියෙන වැඩත් එක්ක බලලා ඒකට සම්බන්ධ වෙන එක ගැනත් සලකා බලනවා.


ඔබව බිහි කළ ජාතික රූපවාහිනියෙන් හෝ ස්වාධීන රූපවාහිනියෙන් ඔබට ඒ අවස්ථාව ලැබුණේ නැද්ද?


අයි.ටී.එන් එකෙන් මට ප්‍රෝගෑම් වලට නම් ආරාධනා ලැබුණා. මං ඒවට සහභාගි වුණා. ජාතික රූපවාහිනි‍යෙන් 2022 වසරෙ දී පැවැත්වු රූපවාහිනි මිණි කිරුළ වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයෙත් මම හිටියා. ඒත් ඒකෙ ෆයිනල් එකට මට යන්න බැරි වුණා මොකද එදා මට අත්‍යවශ්‍ය වෙන වැඩක් යෙදිලා තිබුණ නිසා.


චිත්‍රපටවලට ඔබේ දායකත්වය කොහොමද?


මම එක චිත්‍රපටයකයට රංගනයෙන් දායක වුණා. නයින්ටි සෙවන් ලව් ස්ටෝරි (97 ඹ්ධමඥ ඉබධපර) කියලා මේ දවස් වල ඒ‍කෙ රියසල් යනවා. ඉදිරියේදී ඒ කියන්නේ ඉතා මෑතකදී ඒ චිත්‍රපටය තුළිනුත් මව ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙවි.


සඳනි වේදිකා නාට්‍යවලත් හිටිය ද ?


නැහැ අයියා මට ඒ සඳහා නම් අවස්ථාවක් දැනට ලැබිලා නැ. ඉස්සරහට අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න ආසාවක් තියෙනවා.


මේ දවස්වල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් ඔබ හරිම ජනප්‍රිය වෙලා නේද?


ඔව්, සල්ලි පොකුරු එකේ ඩාන්සින් ටිචර් නෙහාරා ලෙස.


එහි රඟපාන ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද


එකේ තිර පිටපත් රචක සද්ධා මංගල සූරියබණ්ඩාර හා එහි නිෂ්පාදක වරයාගේ යෝජනාවකට අනුව මට ලැබුණු ඇරැයුමට තමා මේ ටෙලි නාට්‍යයේ වැඩකරන්න භාරගත්තෙ. මෙහි අධ්‍යක්ෂ ශිවා සර් (සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා) මේ වෙලාවේ මතක් කරනවා.


මිට පෙරත් සඳනි ඒ අයගේ නිර්මාණවල රඟපෑවා නේද?


මීට කලින් ශිවා සර් (අධ්‍යක්ෂණය කළ) සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා රචනා කරපු අග්නි පියාපත් කියන ටෙලි නාට්‍යයෙත් මං රඟපෑවා. පස්සේ දිගින් දිගටම මට ආරාධනා ලැබුණු ඔවුන්ගේ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්න. එතනදි මට දැනුණා මේ පිරිස එක්ක හොඳීන් වැඩ කරන්න පුළුවන් බව. ඉතින් ඔවුනුන් එහෙම නිසා තමා මට දිගටම ඔවුන්ගේ නිර්මාණවලට කතා කරන්නේ. දැන් මේ දවස් වල යන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයත් ඔවුන්ගේ ම නිර්මාණයක් තමා.


සල්ලි පොකුරු එකේ ඔබ රඟපාන චරිතය ගැනත් කියමු


නෙහාරා කියලා ඩන්සින් ටිචර් කෙනෙක්ගේ චරිතය. එයා ගොඩක් විට ස්වාධීනව ඉන්න හදන කෙනෙක්. මැරි කරලා වුණත් හස්බන්ගෙන් යැපෙන්න කැමති නැතිව තමන්ගේ දේවල් තමන්ට ඕන විදිහට කරන අයෙක්.


නෙහාරා චරිතය සැබෑ ජීවිතයේ දි සඳනිටත් සමානකම් තියෙනවා ද?


ඒ චරිතයේ ස්වාධීන වෙන පැත්ත ගත්තාම එහෙම සමානකමක් මටත් තියෙනවා. මොකද පෞද්ගලිකව මමත් දෙමව්පියන් මතම යැපෙන්න කැමති නැති කෙනෙක්. අනිත් පැතිවලින් මට සමානකම් නැති වුණත් මං ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කරනවා කියලා මට හිතෙනවා.


සඳනි ඉස්කොලෙදි නැටුම්ද කළේ?


ඇත්තටම මම නර්තනය නම් කරලා තිබුණේ නෑ. හැබැයි මේ චරිතය වෙනුවෙන් ඒ ගැන හදාරන්න ඒ විදිහට වැඩ කරන්න මං පුරුදු පුහුණු වුණා. ඒක කරන්නත් මට ලොකු අභියෝගයක් වුණා.


ඉදිරියෙදි සඳනිව අපිට දකින්නට ලැබෙන නිර්මාණත් ති‍යෙනවද?


ඉදිරියට ටෙලිකාස්ට් වෙන්න මං රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා. ඒවා මොන චැනල් එකේ යයි ද කියලා මට කියන්න අමාරුයි. තව මූවී එකක් තියෙනවා මෑතකදී තිරගත වීමටත් නියමිතව.


රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිත මොනවා හරි තියෙනවද?


මට එහෙම කියන්න තේරෙන්නේ නෑ මෙන්න මේ විදිහයි කියලා කොහොම වුණත් මම කැමතියි අභියෝගාත්මක චරිත කරන්න. මට මෙතෙක් ලැබිලා තියෙන්නෙත් එවැනි අභියෝගාත්මක චරිතම තමා කරන්න. මට වරක් කරන්න ලැබුණු ඒ හා සමාන චරිත පවා නැවත රඟපාන්න මම කැමැති නෑ.


අපිට සඳනිගේ වයස කියන්න පුළුවන්ද?


පුළුවන් ප්‍රශ්නයක් නෑ මට වයස අවුරුදු විසිපහයි (25).


සඳනිට දැන් පෙම්වතෙක් එහෙමත් ඉන්නවද?


ඔව්, බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.


දෙන්නාගේ විවාහය සිදු වෙන්නෙ කවදා ද ?


තව මට අවුරුදු විසිපහයි (25) මේ දැන්ම නම් විවාහය සිදුවෙන්නේ නැති වෙයි. මොකද මට තවත් කරගන්න වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. මේ ෆිල්ඩ් එකේ වැඩ කටයුතු හා මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙනුත්. දැනට නම් ඒ වෘත්තිය පැත්ත ගැන තමා මගේ අවධානය.


එයා ගැන විස්තර කියන්න කැමතිද?


මියුසික් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ කෙනෙක්. සංගීතඥයෙක් ලෙස තමා ඔහු වැඩ කරන්නේ. දැනට ඒ ඇති නේද ඔහු ගැන වැඩි විස්තර පසුව කියන්නම්. හැබැයි දන්න අය දන්නවා ඔහු කවුද කියලා.


ඉස්සරහට විවාහයෙන් පසුව සඳනි කලාවෙන් ඈත් වෙයිද?


අපි දෙන්නම කලාවට සම්බන්ධ වෙලානේ ඉන්නේ ඉතින් කොහොමත් දෙන්නාටම මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අනුව තමා අපි වැඩ කරගෙන යන්නේ.


අවසාන වශයෙන් සඳනිට යමක් කියන්න තියෙනවද?


මාව මේ දක්වා නිර්මාණවලට දායක කර ගත්තු සියලු නිර්මාණකරුවන්, නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. එත් එක්කම ඒ නිර්මාණ නිසා මාට ආදරය කරන මාව ආදරයෙන් වැලඳගත් ප්‍රේක්ෂකයින් සියලු දෙනාටමත් ස්තුතියි කියනවා.




Previous Post Next Post