කවුරු කොහොම හිටියත් කාටවත් ඒක අදාළ නෑ-කාවින්ද්‍යා දුල්ෂානී




කෝලං කුට්ටමට සුද්දී වූ කාවින්ද්‍යා දුල්ෂානී පසුගිය කාලයේම විවාහයත් එක්ක කතාබහට ලක් වුණා. දැන් ඇය විදෙස් ගත වෙලා හිටියත් බොහෝ දෙනෙක් හිතන්නේ ඇය ලංකාවේ කියලා. ඒ නිසා ඇයව මේ විදිහට රසඳුන එක්ක කතාබහකට එක්කර ගත්තා.


කාර්යබහුල ජීවිතේකට පුරුදු වෙලා හිටිය කාවින්ද්‍යා දැන් ඔස්ට්‍රේලියාවේ නිදහසේ ජීවත් වෙනවා නේද .?


ඇත්තටම මම ලංකාවේ රූගත කිරීම් එක්ක කාර්යබහුල වෙලා ඒ ජීවිතේට හුරු වෙලා හිටපු කෙනෙක්. මම ඒ හැම දේකින්ම ඉවත් වෙලා විවාහයෙන් පස්සේ හස්බන්ඩ් එක්ක ඔස්ට්‍රේලියා ආවා. දැන් මෙහෙට ඇවිත් මාස හතරක් වගේ. තවම මම මෙහේ ජීවිතේට හුරු වෙමින් කාලය ගතකරනවා. ගොඩක් නිදහසේ ජීවත් වෙනවා. තවම නම් මෙහෙ දේශගුණය මට ප්‍රශ්නයක් වෙලා නැහැ. උදේ ඉඳලා රෑ වෙනකල් සෙට් එකක ජීවත් වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා ආව අඩුව විතරයි දැනෙන්නේ. ඒත් මේ ජීවිතේට හුරු වෙන්න ඕන කියලා මම තදින්ම හිතා ගත්තා.


ජනප්‍රියත්වයට හුරු වෙලා හිටපු කෙනෙක් හැටියට ඒ ජීවිතෙන් ඈත් වීම ගැන දුකෙන් වගේ ඉන්නෙ..?


ලංකාවේ වගේ නෙමෙයි මෙහේ පාරේ බැහැලා නිදහසේ යන්න පුළුවන්. හේතුව මෙහෙ අය මාව දන්නේ නැති නිසා. ලංකාවේ එහෙම නෙමෙයි. කොහේ ගියත් වටවෙලා කතා කරන්න පිරිසක් හිටියා. මෙහේ ග්‍රොසරි ෂොප් එකක හෝ මෝල් එකකදි ලංකාවේ කෙනෙක් දැකලා කතා කරද්දී ඒ නිසා හරි සතුටක් දැනෙනවා. මම විවාහයත් එක්ක රංගනයෙන් ඈත් වෙන්න හිතපු කෙනෙක් නිසා ආව ගමන ගැන පසුතැවෙන්නේ නැහැ , ඒත් පොඩි දුකක් තියෙනවා.


ආයේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැද්ද ..?


මේ දවස්වල මාව කෝලං කුට්ටම ටෙලි නාට්‍යයේ දකින්න ලැබෙනවා සම්පූර්ණයෙන්ම ඈත් වෙලා නැහැ. බාගෙට රූගත කිරිම් කළ නිර්මාණ දෙකක් තියෙනවා. ඒවා අවසන් කරන්න මම ළඟඳීම ලංකාවට එනවා. අපිටත් හීන තියෙනවා. ඒවා ඉටු කරන්න බැහැ දෙතැනක ඉඳලා. ඒ නිසා මගේ පාත් එක පොඩ්ඩක් බ්ලොක් කරලා හස්බන්ඩ් එක්ක මෙහේ ජීවත් වෙන්න හිතුවා. එයා මට නීති දාලා නැහැ. ඒ නිසා පුළුවන් විදිහට කලාවට සම්බන්ධ වෙනවා.


කෝලං කුට්ටම නාට්‍යයේ සුද්දිට ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?


මම මෙතෙක් රඟපෑ නාට්‍යවලින් ආසම හා මාව වෙනස් කළ චරිතයක් තමයි සුද්දී කියන්නේ. ඒ චරිතයට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙනවා. මට ලොකු හීනයක් තිබුණා ශිවගුරුනාදන් මහත්තයා අධ්‍යක්ෂණය කරන , සද්ධා මංගල මහත්තයා අතින් ලියැවුණු, ප්‍රභාත් රෝෂන් මහත්තයා කැමරාකරණය කරන නාට්‍යක රඟපාන්න. ඒ ආසාව බලාපොරොත්තුව ඉටු වුණේ සුද්දී හරහා. ලැබෙන ප්‍රතිචාර එක්ක ලොකු සතුටක් දැනෙනවා.


නිළියක් හැටියට ලස්සනට අඳින්න පලඳින්න කැමති ඇති. හිතේ හැටියට විලාසිතා කරන්න දැන් නිදහස ලැබුණා නේද ..?


ආස විදිහට ලස්සනට අඳින්න දැන් පුළුවන්. අපි කොටට ඇන්දත් මෙහේ මිනිස්සු හැරිලා බලන්නේ කතා කියන්නේ නැහැ. කවුරු කොහොම හිටියත් එයාලට අදාළ නැහැ. ඒත් ලංකාවේ එහෙම නෙමෙයි. විලාසිතා කරද්දී ප්‍රශ්න මතු වෙනවා. තරුණ පරම්පරාවට ආස විදිහට ලංකාවේ විලාසිතා කරන්න බැහැ. ඒක එහෙම වෙලා තියෙන්නේ ඇයි කියන්න දන්නෙ නැහැ. ඒත් මෙහෙ ඒකටත් හරිම නිදහස තියෙනවා. විලාසිතා කරන්න දෙතුන් පාර හිතන්න ඕන නැහැ


පවුලට ළැදි කෙනෙක් විදිහට පවුලෙන්, රටින් ඈත් වෙලා අමාරු කාලසීමාවක් වෙන්න ඇති ගෙවන්නේ..?


ඒක ඇත්ත. මම මගේ පවුලට ගොඩක් ළැදි කෙනෙක්. මට ඉන්නේ නංගිලා තුන්දෙනෙක්. නංගිගේ දුව ඒලී බබාව තමයි මට දැන් ගොඩක් මතක් වෙන්නේ. අම්මා තාත්තා එක්ක ගත කරපු කාලේ දැන් මිස් වෙලා. හස්බන්ඩ් හිටියත් පවුලේ බැඳීම වෙනම එකක්. අමාරුවෙන් හරි හස්බන්ඩ් එක්ක සතුටින් ජීවත් වෙනවා, එයත් පුළුවන් උපරිමයෙන් මාත් එක්ක ඉන්නවා. ජොබ් එකක් කරන්නේ නැති නිසා හස්බන්ඩ් එනකල් ෆිල්ම් බලනවා. පොත් කියවනවා. ගෙදර වැඩ කියලා කරන්න ලොකු දෙයක් නැහැ. හස්බන්ඩ් එද්දී කෑම බීම ලෑස්ති කරලා තියෙනවා. කම්මැළි නිසාම මම ගෙදර පොඩ්ඩක් වගා කරන්න පටන් ගත්තා. දැන් ඔස්ට්‍රේලියාවේ කාලේ ගෙවන්නෙ එහෙම තමයි.


වෙඩින් එක දවස කොහොමත් අමතක කරන්න බැහැ නේද?, ලොකු අකරතැබ්බයක් වුණු නිසා…?


අපේ වෙඩින් එක තිබ්බේ කිංස්බරි හොටෙල් එකේ, එදා ඒ හෝටලයේම අපි නතර වුණා. මගේ යාළුවා චතූ රාජපක්ෂ ආවා මට උදව් කරන්න. මගේ කොණ්ඩේ කටු ටික එහෙම ගලවන්න. මම වොෂ් රූම් එකට ගියා හස්බන්ඩ් එයාගේ මල්ලි ආව නිසා එයා රූම් එකෙන් එළියට ගියා. රූම් එකේ හිටියේ චතූ එයාගේ හස්බන්ඩ් එක්ක. මම වොෂ් රූම් එකෙන් කාමරේට එද්දී මගේ හස්බන්ඩ් ආවා. අර දෙන්නට මහන්සියට ඇ‍ෙඳ් නින්ද ගිහිං. එතකොට වෙලාව පාන්දර තුනහමාරට විතර ඇති. ඇහැරවන්න බැරි නිසා අපි බිම නිදා ගත්තා. එයාලා උදෙන්ම ගිහිං අපිට කිව්වේ නැහැ. අපි දෙන්නට හොඳට නින්ද ගිහින්. හස්බන්ඩ්ගේ මල්ලි තව යාළුවෝ ටිකක් ඇවිත් අපිට කතා කරලා සෑහෙන වෙලාවක ඉඳලා. ඒ සද්දෙට එහා පැත්තේ කාමරවල අය හොටෙල් එකට කම්ප්ලේන් කරලා හොටෙල් එකෙන් ඇවිත් මොකක්ද ප්‍රශ්නේ අහද්දි අපිට කතා කරත් සද්දයක් නැහැ. ඒ දෙන්නට මොනවා වෙලාද දන්නෙ නැහැ බයයි කියලා. හොටෙල් එකෙන් කියලා එහෙම කාමරේ දොර අරින්න බැහැ පොලිසියට කියන්න වෙනවා කියලා. අපේ අය කියලා පොලිසියෙන් ගෙන්වන්න කියලා. පොලිසියෙන් ආවට පස්සේ කාමරේ දොර ඇරලා දීලා. අපි තද නින්දේ ඉඳලා තියෙන්නේ. හස්බන්ඩ් නින්දෙන් වගේ කට්ටියට කියලා අපි හොඳින් ඔයාලා යන්න කියලා. මම හොඳට නිදි වුණාට හස්බන්ඩ්ට යාළුවෝ කතා කරනවා ඇහිලා. දොර ඇරියොත් කරදර නිසා එයා නිදි වගේ ඉඳලා.


 හර්ෂණී වීරරත්න




Previous Post Next Post