මගේ ජීවිතේ අංක එක දුව- චතුරිකා පීරිස්




පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට කාගෙත් ආදරය දිනූ රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. මේ පුවත සමාජ මාධ්‍යය තුළ ද ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගියා. මේ වෙද්දී කවුරුත් වැඩි විස්තර නොදන්නවා වුණාට ඇය සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ද ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසයි. ඒ අතීතය ගැන වගේම වර්තමානයේ ලබන මේ අලුත් අත්දැකීම ගැන ඇය කතා කළා.


කාලෙකට පස්සේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් නැවත සමාජගත වුණා, මොකක් ද මේ වෙන්නේ?


මම රංගනයට එන්න කලින් තමයි නිවේදන වෘත්තීය කළේ. මම ප්‍රවෘත්ති කියන විෂයට සම්බන්ධ වෙන්නේ පාසල් යන කාලේ ඉඳන්. 95-97 අවුරුදුවල මම සාමාන්‍යය පෙළ කරන කාලේ තිබුණා ගුවන් විදුලි සංස්ථාවේ බොදු සිසු පුවත් කියලා. ඒ වෙද්දී මම සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ හිටියා. ඒ කාලේ බෞද්ධ ශිෂ්‍ය සංගමයට ගුවන් කාලයක් දීලා තිබ්බා බොදු පුවත්වලට. කාලයක් මම බොදු පුවත් කිව්වා. ඊට පස්සේ මම 2002 දී ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙනවා. රාත්‍රී සිංහල ප්‍රවෘත්ති අංශයට. එහිදි අයදුම්කරුවන් 5000කින් දෙන්නයි ගන්නේ. ඒක ජාතික රූපවාහිනියේ තියෙන ප්‍රසිද්ධ රහසක්. ඒ ගත්ත දෙන්නගෙන් එක් කෙනෙක් මම.


එහෙම තේරුණ ප්‍රවෘත්ති නිවේදන වෘත්තීය ඇයි කෙටි කාලයකින් අත හැරුණේ


ඒක වුණේ මම ප්‍රවෘත්ති නිවේදන කරන කාලෙම මට ආරාධනාවක් ආවා නාලන් මෙන්ඩිස් මහතාගේ “සූරිය දරුවෝ” ටෙලි නාට්‍යයට. ඒ වෙද්දී රූපවාහිනියේ තදින්ම පැවති නීතියක් තමයි ප්‍රවෘත්ති නිවේදන කරන අය වෙන කිසිම වැඩසටහනක් කරන්න බැහැ කියන එක. ඒ නිසා මම ඒ වෙද්දී හිටිය සභාපතිතුමාට කියලා ප්‍රවෘත්ති නිවේදන අංශයෙන් අයින් වුණා. මම රංගන ක්ෂේත්‍රයට යොමු වුණා. මුල් කාලයේ මට ගොඩක්ම ඇරයුම් ආවේ නිවේදන කටයුතුවලට. ඒ කාලේ රංගනය පැත්තෙන් තිබ්බ අධික කාර්යබහුලකම නිසාම මට ලැබුණු අවස්ථා මම පූර්ණිකාට දුන්නා.


ආයෙමත් ප්‍රවෘත්ති කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා?


ඔව්. අවුරුදු 22කට පස්සේ ස්වර්ණවාහිනියෙන් මට ආරාධනාවක් ලැබුණා. මම හරිම කැමතියි ප්‍රවෘත්ති කියන්න. ඒක හරිම ගෞරවාන්විත වෘත්තියක්. රංගන වෘත්තීය වුණත් අපි ගෞරවාන්විතව කරන තාක් ගෞරවාන්විතයි. අපි කරන වැඩේ මොකක් ද හරියට ඒ වැඩේට වටිනාකමක් දීලා කරන්න ඕනේ.


කොහොමද අවුරුදු 22කට පස්සේ අද්දැකීම?


මම මුලින්ම කිව්වා මම ඇවිත් බලන්නම් කියලා. මුලින්ම මට මගේ ගැන විශ්වාසයක් තියෙන්න එපැයි. මම ඇවිත් බැලුවම මට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා. ඊට පස්සේ තමයි මම කැමති වුණේ. මගෙත් එක්ක තව පිරිසක් ගත්තා. විශේෂත්වය තියෙන්නේ ඒ අයත් යම් යම් කාල වකවානුවලදී එක එක නාලිකාවල ප්‍රවෘත්ති කියපු අය. මේ හැමෝටම ප්‍රවෘත්ති ගැන මුලික අඩිතාලම වැටිලා තියෙනවා.


කොහොමද කාලෙකින් කිව්ව ප්‍රවෘත්ති විකාශයට ලැබුණු ප්‍රතිචාර?


හරිම සතුටුයි කියන්න මට සීයට 99ක්ම ලැබුණේ හොඳ ප්‍රතිචාර. එකක් දෙකක් කොහොමත් ඉන්නවනේ මොන දේ කළත් වැරදි අඩුපාඩු දකින. ඒක සාමාන්‍යය දෙයක්. මගේ තාත්තා සහ ලොකු තාත්තා තමයි මේ වෙද්දී ඉන්න ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ව පුහුණු කරලා තියෙන්නේ. ඒ කාලේට වඩා දැන් සමහර දේවල් වෙනස්. මම මගේ හදාගන්න ඕනේ තැන් දැක්කා. ඒ දේවල් එක්ක ඉදිරියට යනවා.


සද්ධා මංගල සූරියබණ්ඩාර එක්කයි මේ වතාවේ ප්‍රවෘත්ති කිව්වේ, කොහොමද ඒ සුසංයෝගය?


මෙහෙමයි මම 2002දී රූපවාහිනියේ ප්‍රොම්ට් එක පුහුණු වෙද්දී, එක්තරා මහතෙක් ඇවිත් කියනවා එයාටත් ප්‍රොම්ට් එක පුහුණු කරන්න කියලා. ඔහු ඒ වෙද්දී රූපවාහිණයේ ප්‍රවීණයෙක් වෙලා හිටියා. නමුත් ප්‍රොම්ට් එක කියන්නේ වෙනම දෙයක්නේ. මම ඒ වෙලාවේ ඒක ඉගැන්නුවා. මේ සැරේ නිවුස් කියන්න ආවම මට සද්ධා අයියා කිව්වා, එදා ඒ ප්‍රොම්ට් එක පුහුණු කළේ මමලු. එදා ආවේ මමනේ. මතක නැද්ද කියලා. මට ඒක මතක තිබ්බේ නිලාර් අයියට වගේ. මම එක්තරා තැනකදී නිලාර් අයියාට කියලත් කිව්වා. නිලාර් අයියාට නෙවෙයි. එදාත් නිලාර් අයියා රූපවාහිණයේ ඉහළ නිලයක් දැරුව කෙනෙක්.


දැන් දිගටම නිව්ස් කියනවද?


මම දන්නේ නැහැ මම කොච්චර කාලයක් මේ නිවුස් කියයිද කියන එක නම්. මේ දවස්වල ආපහු රූපගත කිරීම් පටන් ගනිද්දී කොහොම වෙයිද දන්නේ නැහැ. අපිට ආයතනයේ නිදහසක් දීලා තියෙනවා. අපේ රංගන වැඩ කටයුතු එක්ක කාලය හදාගන්න. ඒ එක්කම විශේෂයෙන් කියන්න ඕනේ අපි නිවුස් කියන්න ගියාම ස්වර්ණවාහිනී නාලිකාවේ මේ වෙද්දී නිවුස් කියපු නිවේදක නිවේදිකාවන්ගෙන් ලැබුණු සහයෝගය අතිමහත්. එය අගය කරන්නම ඕනේ. මොකද මේ වගේ වෙනස්කමක් කරද්දී මුලින්ම අකමැති වෙන්නේ ආයතනයේ පැරණි සේවකයින්, මෙතැනදී එහෙම වුණේ නැහැ. විශේෂයෙන්ම ප්‍රවෘත්ති අංශ ප්‍රධානි සංජිව අයියා එක්ක චවිකා අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ අයගේ උණුසුම් පිළිගැනීමක් අපිට තිබ්බා. මේක වෙනස් දෙයක් වෙයි කියල.


මේ අවුරුද්දේ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද?


මේ වෙද්දී චිත්‍රපටයකට ආරයුම් ලැබිලා එහි රූපගත කිරීම් ගැන කතාබහ වෙමින් යනවා. ඒ වගේම ටෙලි නාට්‍යයක වැඩ කටයුතුත් ආරම්භ වෙන්න තියෙනවා. මේ කාලයේ මම ගොඩක් වැඩ භාරගෙන කාර්යබහුල වෙන්න කැමති නැහැ. අපේ දුව ආරාධනාට තවම අවුරුදු 4යි. එයාට මාව මඟ හැරෙන්න නොදී තමයි නිර්මාණ භාර ගන්නේ. අපේ ජිවිතේ අංක එක දුව. ඒ නිසා දුවත් එක්ක වැඩි කාලයක් ගත කරන ගමන් එයාගේ සිතුම් පැතුම්වල‍ට හානියක් නොවෙන්න මම මගේ වැඩ ටික යොදා ගන්නවා. තෝරා ගත් නිර්මාණ කරමින් ප්‍රේක්ෂකයින්ටත් සාධාරණයක් කරන්න හිතන් ඉන්නවා. දැන් නම් ස්වර්ණවාහිනිය හරහා ප්‍රේක්ෂකයින්ට අපිව දකින්න ලැබෙයි.




Previous Post Next Post