ආදරේ ගැන නම් ලොකුවට කතා කරන්න කැමැති නෑ- ප්‍රවීනා පෙරේරා



ප්‍රවීනා පෙරේරා කියන්නේ අපේ රටේ ජාතික පාපන්දු කාන්තා කණ්ඩායම නියෝජනය කළ සාමාජිකාවක්. පාපන්දු ගහන මේ සුන්දර ගැහැනු ළමයා චලෝ ටෙලි නිර්මාණය හරහා රංගනයට ද පිවිසියා. ප්‍රවීනා මේ දිනවල විකාශය වන උන්මාදිනී තුළින් නැවත ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තියෙනවා. මේ සොඳුරු කතාබහ ප්‍රවීනා පෙරේරා සමඟයි..


කොහොමද ජීවිතේ?


2024 අවුරුද්ද පටන් ගන්නවත් එක්කම ලස්සන ටෙලි නිර්මාණයකට රංගනයෙන් නැවතත් එකතු වෙන්න ලැබුණා. ඒ වගේම මේ අවුරුද්දෙ තියෙන ලංකාවේ සහ ජාත්‍යන්තර තරගවලට මම හොඳින් සූදානම් වෙන්න ඕන නිසා ඊට අදාළ පුහුණුවීම් කරගෙන යනවා. මං හිතනවා මේ අවුරුද්ද මට ගොඩක් සුබ අවුරුද්දක් වෙයි කියලා.


මේ දවස්වල මොනවද අලුත් නිර්මාණ කටයුතු?


මම මුලින්ම එන්නෙ චලෝ ටෙලි නිර්මාණය හරහා. නමුත් චලෝ නාට්‍යයෙන් පසුව මට ලස්සන නිර්මාණ වලට ආරාධනා ලැබිලත් මට ඒවට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. අවුරුදු දෙකක වගෙ කාලෙකින් පසුව චලෝ කතාවෙ අධ්‍යක්ෂක හසුන් සමීර අයියගෙම නිර්මාණයකට ආරාධනා ලැබෙනවා. මම මේ දිනවල ඒ හා සම්බන්ධ වෙලා රූගතකිරීම් කරගෙන යනවා.


චලෝ එකෙන් ලැබුණු ප්‍රේක්ෂක ආදරේ තවමත් තියෙනවා ද?


ඇත්තටම ඔව්. අදටත් බොහෝ දෙනෙක් මාව දන්නෙ චලෝ කතාවෙන්. තවමත් මට ඒ ආදරේ නොඅඩුව ලැබෙනවා.


ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම මේ දවස්වල මොකද කරන්නෙ?


මම මෑතකදි වෙනත් ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුමකට ආවා. ඉතිං ඒ ක්‍රීඩා සමාජයෙ පුහුණුවීම් ටික හරියට කරගෙන යනවා. මේ අවුරුද්දෙ ලංකාවේ සහ ජාත්‍යන්තර තරග තියෙනවා ගොඩක් දුරට. ඒ සඳහා ඊට අදාළ පුහුණුවීම් කරගෙන යනවා.


මේ අවුරුද්දේ ක්‍රිඩාවටද කලාවට ද වැඩි ඉඩක් දෙන්නෙ?


ක්‍රීඩාවද කලාවද කියන එක නම් මට කියන්න අමාරුයි. නමුත් මං හිතනවා මට මේ දෙකම සමබරව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා.


ප්‍රවීනා ෆැෂන් කරන්න කැමති කෙනෙක්නේ, ෆැෂන් දකින්නෙ කොහොමද?


Fashion කියන්නෙ හරිම ලස්සන art එකක්. තමන්ට තමන්ව හරි ලස්සනට තියාගන්නනෙ fashion කරන්නෙ. තමන් දැනගන්න ඕන ඒක හරි තැනට හරි විදියට කරන්න. කාලයක් තිබ්බා කිසිම ගැළපීමක් නැති විලාසිතාවන් කරන. හැබැයි මේ වෙද්දි ඒක වෙනස් වෙලා තියෙනවා. මේක ගැළපෙනවද නැද්ද කියන තමන් තමයි තීරණය කරන්න ඕනේ.


ටැටූ එහෙමත් කරලා තියෙනවා ද?


එක ටැටූ එකක් කරලා තියෙනවා. ඒක හරි ලස්සන තේරුමක් තියෙනවා. ඒ මම ඉන්න field එකට ගැළපෙන එකක්.


සිනමාවට ඇරයුම් ලැබුණේ නැද්ද?


තවම නම් සිනමාවට ආරාධනා ඇවිත් නැහැ. බලමු ඉස්සරහට ආරාධනාවක් ආවොත් මට කරන්න පුළුවන් චරිතයක්නම් මං උපරිම සාධාරණයක් කරනවා.


චරිත භාර ගනිද්දී තේරීමක් කරනවද?


ඔව් තේරීම් කරනවා. පොඩි කාලේ ඉඳන් ගොඩනගාගෙන ආපු ප්‍රතිරූපෙට හානියක් වෙනවට මම කැමති නැහැ. ඒ නිසා එතැනදි තේරිමක් කරනවා. නමුත් හොඳ නිර්මාණ තියෙනවනෙ. ඒ නිර්මාණවලදි එකම චරිතෙට සීමා නොවි එතැනින් එහාට යන්න ආසයි.


ප්‍රවීනා ටිකක් සුජානි මේනකා වගේ කියලත් කියනව නේද?


ඔව් ගොඩක් අය කියනවා මං සුජානි අක්කි වගෙ කියලා. අනෙ මම පොඩි කාලේ ඉඳන්ම සුජානි අක්කිට හරිම ආස කෙනෙක්.


සුජානි අක්කාව හම්බෙලා තියෙනවා ද?


අනේ මට තවම එයාව මුණගැහිලා නැහැ. එයාව මුණගැහෙන්න මම හරිම ආසාවෙන් බලන් ඉන්නවා. සුජානි අක්කිගෙ යාළුවො මට කියද්දි මම සුජානි අක්කි වගෙ කියලා, මම එයාලට කියනවා සුජානි අක්කිව මම මතක් කළා කියන්න කියලා. මම එයාට කැමැති එයා හරි ලස්සන නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් නිසා.


ආදරේ ගැන අපි කතා කළොත්, ආදරවන්තියක් ද?


ආදරේ ගැන නම් මම ලොකුවට කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. විවිධ කාලවලදි විවිධ නොගැළපීම් එක්ක බැඳීම් ඇති කරගෙන අපි අපිටම දඩුවම් දෙනවා. 2024 අවුරුද්ද එහෙම නොවී මට ගොඩක් ආදරය කරන කෙනෙක් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා.


ක්ෂේත්‍රයේ ඉන්නකොට හැදෙන කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නෙ?


ගොඩක්ම මම ජාතික තලයෙ ක්‍රීඩිකාවක් නිසා හැදෙන කටකතා සහ ගොසිප් සෑහෙන්න අඩුයි. මම හිතන්නෙ ඒකට හේතුව තමයි අද මම මෙතැන ඉන්නෙ පුංචි කාලෙ ඉඳන්ම සෑහෙන්න මහන්සි වෙලා කැපකිරීම කරලා දක්ෂතා පෙන්නලා ආපු කෙනෙක් නිසා. මොකද කිසිම කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න මම ඉඩක් තිබ්බෙ නැහැ. තමන් හරියට ඉන්න තාක්කල් කිසිම කෙනෙක්ට ඇඟිල්ලක් දික්කරන්න බැහැ. ඒක තීරණය කරන්නෙ තමන්මයි.


අනාගත බලාපොරොත්තු මොනවද?


මට කියලා ගෙයක් හදාගන්න වාහනයක් ගන්න හරිම ලස්සන හීන තිබුණා. නමුත් දැන්නම් අනාගත බලාපොරොත්තු තියාගන්න බැහැ මේ රටේ. හීන හීනම වෙලා තියෙනවා. ජීවිතේ වැටෙන්න නොදී අල්ලන් ඉන්න එක තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව


අනූෂා රණසිංහ



Previous Post Next Post