සමහරුන්ට මාව දීපිකා වගේ තවත් සමහරුන්ට ශිල්පා වගේ- රශිප්‍රබා සන්දීපනී




ඇය සුරූපිනියකි. සුරූපී බව මෙන්ම දක්ෂතාවද අඩු නැතුව පිහිටා තිබීම හේතුවෙන් ලංකාවෙන් ඔබ්බට ඉන්දියාව පවා ජය ගන්නට සමත් වූ තැනැත්තියකි. මෙරට ටෙලි කර්මාන්තයේ සිට සිනමාව දක්වාද ඉන් ඔබ්බට බොලිවුඩයද දක්වාද ගමන් කළ ඇය රංගනයේ මෙන්ම නර්තනයේද උපන් සමත්කම් ඇති භාෂා කිහිපයක්ම හැසිරවීමේ හැකියාව ඇත්තියකි. මේ අන් කවරකුවත් නොව සියල්ලගේම ආදරයට පාත්‍ර වූ රශිප්‍රබා සන්දීපනීය.


අලුත් තොරතුරු ටිකක් කියලම කතාව පටන් ගමු?


මේ දවස්වල සිහින ගෙනෙන කුමාරියේ සාමාන්‍ය විධියටම විකාශය වෙනවා. ඊට අමතරව වාසව බදුගේගේ අලුත්ම චිත්‍රපටය වන විසල් ආදරේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒකේ ගීත පසුගිය දිනක රිලීස් වුණා. චිත්‍රපටයත් ඉතාමත් නුදුරේදී තිරගත වෙන්න නියමිතයි. ඒ වැඩ කටයුතුත් එක්ක තමයි මේ දිනවල සම්බන්ධ වෙලා සිටින්නේ.


ඔබ පසුගිය කාලයේ ඉන්දියානු නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා ඒ ගැන කතා කළොත්?


මම මුලින්ම ඉන්දියානු නිර්මාණයක් සමඟ සම්බන්ධ වෙන්නේ දෙදහස් විසිදෙක වර්ෂයේදී. එතැනින් ආරම්භ කළාට පසුව මේ වසරේදීත් නැවත වරක් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම ප්‍රභූ දේවා මාස්ටර් ලංකාවට ආවට පස්සේ ඔහුගේ තිරගත වීමට නියමිත මුසාසි චිත්‍රපටයේ ගීතයකට සම්බන්ධ වීමට  අවස්ථාව ලැබුණා. ලංකාවේ අවස්ථාව ලැබුණේ මටයි අසංකිටයි විතරයි.


ඉන්දියාව වැනි දැවැන්ත විනෝදාස්වාද කර්මාන්තයක් ක්‍රියාත්මක වන රටක නිර්මාණවලට දායක වීමට අවස්ථාව ලබා ගත්තේ කොහොමද?


මට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ මගේ ෆොටෝ ෂූට් එකක් දැකලා. ඒක දැකලා මට කතා කරාට පසුව තමයි දෙදහස් විසිදෙක වර්ෂයේ මම මුම්බායිවලට ගියේ. එතැනදි මට ලංකාවේ හෝ ඉන්දියාවේ කිසිම සම්බන්ධකම් හෝ ඇ¾දුරුම්කමක් තිබිලා නොවෙයි ඒ අවස්ථාව හිමි වෙන්නේ. පෞද්ගලිකව මට කතා කරලා කෙළින්ම ආපු  ආරාධනාවකට තමයි මම මුම්බායි ගියේ. එතැනින් එහාට පසුව අයිගරන්ග් මීඩියා එකෙන් කාර්තික්වත් ඒ වගේම  පූජාවත් මතක් කරනවා. දෙන්නා හරහා ප්‍රභූ මාස්ටර්, මුසාසි චිත්‍රපටයේ ඩිරෙක්ටර් ඇතුළු පිරිස ලංකාවට ඇවිත් අපේ  ලංකාවේ ශිල්පිනියන්ව ඔඩිශන් කරලා තිබුණා. ඔඩිශන් එක තිබුණත් අසනීපවීම නිසා මට ඒකට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් ඔඩිශන් එකට නොගියත් මගේ ෆොටෝ එක දැකලා කතා කළා අවසාන මොහොතේ සම්බන්ධ වෙන්න එන්න කියලා. ඇතැම්විට ඒකට හේතුව මගේ පෙනුම වෙන්නත් පුළුවන්. නමුත් පෙනුමටම අවස්ථාව ලැබුණා කියලා හිතන්න අමාරුයි. මම ඒ රටට ගිහින් තිබීම සහ ටැලන්ට් එක වගේම එයාලා ලස්සන ගත්තත් යුනික් කියන දේ සොයනවා. මම හිතන්නේ ඒ දේවල් තමයි බලපාන්න ඇත්තේ. ඒ වගේම ඒකට වාසනාවත් තිබෙන්න අවශ්‍යයි.


ගොඩක් අය ඔබට ශ්‍රී ලංකන් දීපිකා පදුකෝන් කියලා කියනවා ඒ ගැන මොනවගේ අදහසක්ද තිබෙන්නේ?


සමහර අය මම දීපිකා වගේ කියනවා. තවත් පිරිසක් කියනවා මම ශිල්පා ශෙට්ටි වගේ පේනවා කියලා. මෘනාල් තාකූර් වගේ පේනවා කියලත් පිරිසක් කියනවා. ඉතිං එක එක්කෙනාට එක එක වගේ පේනවා. ඇත්තටම ඉතිං ඒ වගේ ඉතා සුරූපී දක්ෂ නිළියක්  වගේ කියනකොටත් සතුටුයි ඉතිං. සමහර විට එහෙම කියන්නේ මූණේ හැඩය සහ ඩිම්පල් එක නිසා වෙන්නත් ඇති. නමුත් මම කැමැති මටම අන්‍යන්‍යතාවක් හදාගන්න. මම කැමති තව කෙනෙක්ට එයා රශිප්‍රබා වගේ කියනවා නම්. නමුත් ඉතිං ඒ ලැබෙන ප්‍රතිචාර ගැනත් සතුටු වෙනවා. ලස්සන දකින විධිය එකිනෙකාට වෙනස්. ඒ නිසා වෙන්න ඇති සමහර අයට මාව වෙන අය වගේ පේන්නේ.


රශිප්‍රබා ලංකාවෙන් ඉන්දියාවට ගිය ඊළඟ තරුව වෙයිද? මේ ගැන ඔබේ අදහස?


මම දන්නේ නෑ ඉදිරියේදී කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කියන්නේ මම විතරක් නෙවෙයි. අපේ රටේ ඉන්න හැම කෙනෙක්ටම මේ ලංකාවෙන් එළියට ගිහින් ජාත්‍යන්තරය තුළ තමන්ගේ දක්ෂතා පෙන්වන්න ලැබෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ  වගේම එය එසේ විය යුතුයි. අපි ලංකාවේ නිර්මාණයක් කළොත් එය ලාංකිකයන්ට පමණයි සීමා වෙන්නේ. නමුත් ලෝකයේ වෙනත් රටවල් බොහෝ ඉදිරියෙන් සිටින්නේ ඔවුන්ගේ කලා නිර්මාණ ලෝකයේ වෙනත් රටවලත් ජනප්‍රියයි. ඒ හරහා ඔවුන්ට ලොකු ඕඩියන්ස් එකක් හැදෙනවා. ඒ වගේම ඒ හරහා ඔවුන්ගේ ආදායම් මාර්ග පුළුල් වෙනවා.  එතැනදි මම කියන්නේ අපේ රට ඇතුළේ මේ ඉන්ඩස්ටි්‍ර එකේ ඉන්න රංගන ශිල්පීන්, ශිල්පිනියන්, අධ්‍යක්ෂවරුන්ගේ සිට කාර්මික ශිල්පීන් දක්වාම ඔවුන්ගේ දක්ෂතා ලෝකය ඉදිරියට අරගෙන යෑමට හැකියාව ලැබිය යුතුයි.


ඔබේ ඇත්දැකීම්වලට අනුව ඉන්දියානු හා ලාංකික සිනමා කර්මාන්ත දෙක අතර ඇති වෙනස මොන වගේද?


අපේ රටේ නිර්මාණයක් කරද්දි බජට් එකත් එක්ක අපිට යන්න පුළුවන් දුර සීමිතයි. පොඩි ජනගහනයක් ඇතුළේ තමයි නිෂ්පාදකවරු තමන්ගේ  සිනමාපටය තිරගත කරලා ආදායම උපයා ගන්නේ. නමුත් ඉන්දියාව ගත්තම බොලිවුඩ් වේවා, කොලිවුඩ් වේවා. ඔවුන් එක චිත්‍රපටයක් භාෂා කීයකින්  කරනවද? ඔවුන් වියදම් කරනවාට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ආදායම් උපයා ගන්නවා. ඒ තැනට ඒ ඉන්ඩස්ටි්‍ර එක පත් වෙලා


තිබෙන්නේ. ඉතිං අපේ රටේ චිත්‍රපටයක අපේ නිෂ්පාදකවරයෙක්ට  වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය හා ඒ වපසරිය ඇතුළේ කරන්න පුළුවන් දේ සමඟ ඉන්දියාව වගේ රටක විශාල නිෂ්පාදන වියදමක් දරමින් කරන නිර්මාණයකදී කළ හැකි දේ අතර සැලකියයුතු වෙනසක් තිබෙනවා. ඒ වගේම ඉන්දියානු සිනමා කර්මාන්තය ඇතුළේ වෘත්තිමය ගරුත්වය  ඇතුළු සියලු දේ පවත්වාගෙන යා හැකි තත්ත්වයක් නිර්මාණය වෙලා අවසන්. ඉතිං අපේ රට ඇතුළෙත් ඒ වගේ තත්වයක් නිර්මාණය විය යුතුයි කියලා මම විශ්වාස කරනවා.


ශ්‍රී ලංකාව ඔබෙන් ප්‍රයෝජන ගත්තා මදි කියලා හිතෙන්නේ නැද්ද?


ඔව් ඇත්තටම මම හැම වෙලේම හිතනවා වෙන රටකට ගිහින් වැඩක් කරනවාට වඩා මගේ රට ඇතුළේ මගෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් කොච්චර හොඳයිද කියලා. මම දැන් කලාවට ඇවිත් වසර එකොළහක් පමණ වෙනවා. නමුත් ඒ අවුරුදු එකොළහට මගෙන් හරිහමන් ප්‍රයෝජනයක් මගේ රටට වුණාද කියන එක  මම හිතනවා. මීට වඩා යම් දෙයක්  මගේ රටේ කර්මාන්තයට කරන්න පුළුවන් වුණා නම් මම සතුටුයි. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා.


ඉදිරියේදි එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


ඉදිරියේදි වාසව බදුගේ ගේ විසල් ආදරේ චිත්‍රපටය එන්න තිබෙනවා. ගාමිණී හේවාවිතරණගේ රුවන් තාරකා චිත්‍රපටයත් එන්න තිබෙනවා. ඒ චිත්‍රපටයත් ටිකක් කාලයකට කලින් කරපු චිත්‍රපටයක්. චිත්‍රපටවලින් ඒ දෙක තමයි තිරගත වෙන්න තිබෙන්නේ. ඒ වගේම තවත් සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වීම තරමක් අඩුවෙයි සිනමාවට වැඩි අවධානයක් දෙන්න හිතාගෙන ඉන්න නිසා.



Previous Post Next Post