සමහර සම්මාන ලැබෙන්නෙ එපා වාහෙට හොදි බෙදන්නා වගේ- රොඩ්නි වර්ණකුලසූරිය




මේ දිනවල විකාශය වන සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ අල්විස්ගේ චරිතයට රංගනයෙන් දායක වන රොඩ්නි වර්ණකුලසූරිය කලා ක්ෂේත්‍රයේ  ප්‍රවීණ රංගධරයකු ලෙස හ¾දුන්වන්නට පුළුවන්. හාස්‍ය උපදවන චරිතවලින් නිතර ඔබ හමුවට එන රොඩ්නි වර්ණකුලසූරිය දක්ෂ චරිතාංග රංගන ශිල්පියකු වනවා. මේ දිනවල තිරගතවන කතුරු මිතුරු චිත්‍රපටයෙන්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රොඩ්නි වර්ණකුලසූරිය මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදා ගත්තේ මෙලෙසින්. මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල මගේ දරු මුනුපුුරන්ගේ වැඩකටයුතුත් කරගෙන රංගන වැඩකටයුතුත් කරගෙන සතුටින් කාලය ගත කරනවා.


මොනවද අලුත් වැඩකටයුතු?


වසර පහකට පමණ දීර්ඝ කාලයකට පසුව සිකුරු ඇවිත් කියන ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණා. මේ දිනවන සිකුරු ඇවිත් ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒත් එක්කම තවත් අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනාවක් ලැබුණා. ඒකටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ සාජන් පුන්චිසෝම කියන සිනමාපටයටත් මම දායක වුණා. එයත් ඉදිරියේදී තිරගත වෙන්නට නියමිතයි. සුනිල් අරුණ වීරසිංහ මහත්මයාගේ වීරයා චිත්‍රපටයත් මේ වන විට තිරගත වෙනවා. ඇත්තටම මේ චිත්‍රපටයත් අපි වසර කිහිපයක්ම බලන් සිටි නිර්මාණයක්. ඒකත් මේ දිනවල ප්‍රේක්ෂකයන්ට නරඹන්නට පුළුවන්. ඒත් එක්කම මම රංගනයෙන් දායක වුණු කතුරු මිතුරු චිත්‍රපටයත් මේ වන විට දින සියය ඉක්මවමින් දර්ශනය වෙනවා. ඒ පිළිබඳවත් ගොඩක් සතුටුයි.


ඔබ දායක වුණු සිනමා නිර්මාණ කිහිපයක්ම මේ දිනවල තිරගත වනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


කතුරු මිතුරු කියන්නේ ප්‍රේක්ෂකයන් අතරට ගිය සාර්ථක සිනමා නිර්මාණයක්. පෞද්ගලිකව ඇතැම් පිරිස් මට කතා කරලා කියනවා “අයියේ අපි මේ කතුරු මිතුරු චිත්‍රපටය බලන්නේ තුන්වැනි වතාවට එහෙමත් නැතිනම් හතරවන වතාවට” කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන එක පිළිබඳව.


කලකට පසුව සම්බන්ධවුණු ටෙලිනාට්‍ය පිළිබඳවත් කතා කළොත්?


ඇත්තටම සිකුරු ඇවිත් කියන ටෙලි නාට්‍යය නව පරපුරෙන් බිහිවුණු සාර්ථක නිර්මාණයක්. ඉතින් සෑම දෙනා සමඟම බොහොම කුලුපගව, සාමූහිකව මේ වැඩේ කරගෙන යනවා. සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතය තරමක්  කලබලකාරී වේගවත් චරිතයක්. ඒක ඇතුළේ හාස්‍යයත් තිබෙනවා. ඉතින් අනෙක් පිරිසගෙන් ලැබෙන සහයෝගයත්, සාමූහිකත්වයත් මේ නිර්මාණයේ සාර්ථකත්වයට බලපාලා තිබෙනවා.


ඔබ දැන් වේදිකාවෙන් අෑත්වෙලාද?


අපොයි නැහැ. මගේ රංගන ජීවිතයේ පළමුවැනි තැන ලැබෙන්නේ වේදිකා නාට්‍යයට. මට සිනමාවට හෝ ටෙලි නාට්‍යයට නැතත් වේදිකාවේ රැඳී සිටීමේ වුවමනාව තිබෙනවා. ඉතින් නරි බෑනා වේදිකා නාට්‍යයට අපි එතරම් ජනප්‍රියත්වයක් ලබා නොදුන්නත් ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල මෙය වේදිකාගත කරනවා.


ඔබ හාස්‍ය උපදවන චරිතම භාරගන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම මාව වැඩි වශයෙන් යොදා ගන්නේ හාස්‍ය උපදවන චරිතවලට. මම හාස්‍යයෙන් තොර චරිත කරපු අවස්ථාත් තිබෙනවා. නමුත් ඒවා ප්‍රේක්ෂකයන්ට මතක නැහැ. මොකද ඔවුන් මාව වැඩිපුර දකින්නේ හාස්‍ය උපදවන චරිතවලින්.  ලංකාවේ මෙන්ම ලෝකයේ හාස්‍ය උපදවන රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් සිටින්නේ අතළොස්සක්. මම කිසි විටෙකත් සිතන්නේ නැහැ හාස්‍ය උපදවන චරිත  කිරීම, රාමුවකට කොටුවීමක් කියලා. විශේෂයෙන්ම හාස්‍ය උපදවන චරිත කරන රංගන ශිල්පීන්ට ඕනෑම චරිතයක් සාර්ථකව කරන්නට පුළුවන්. ඉදිරියේදීත් හාස්‍ය උපදවන චරිතවලින් හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒවා භාර ගන්නවා.


වර්තමානයේ හොඳ තිර පිටපත් අඩුයි කියලා සමාජයේ මතයක් තිබෙනවා. ඒ පිළිබඳව  පිළිබඳව මොකද හිතන්නේ?


ඇත්තටම එහෙම දෙයක් නැහැ. තරුණ තිර පිටපත් රචකයන් අතින් සාර්ථක තිර පිටපත් බිහිවෙනවා. මෑත කාලයේ බිහිවුණු ජාත්‍යන්තර තලයේ සාර්ථක සිනමාපට මෙන්ම ටෙලිනාට්‍ය පිටපත් තරුණ පිටපත් රචකයන් අතින් නිර්මාණය වූ ඒවා. ඉතින් වර්තමානයේ හොඳ තිර පිටපත් අඩුයි කියලා අපිට පවසන්නට බැහැ.


රංගන ශිල්පියකුට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔවුන්ගේ අනාගතයට කොතරම් දුරට වැදගත්ද?


රංගන ශිල්පියකුට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම වැදගත්. නමුත් අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන් තමන් ආදරය කරන, තමන් කැමති රංගන ශිල්පියෙක් මඟතොටක හමු වුණත් අදහස් ඉදිරිපත් කරන්න මැළිකමක් දක්වනවා. නමුත් රංගන ශිල්පියකුට ප්‍රේක්ෂක ප්‍රතිචාර හරිම වැදගත්.


වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සම්මාන ලැබීම පිළිබඳව මොකද හිතන්නේ?


සම්මාන ලැබීම පිළිබඳව නම් විවිධ මත තිබෙනවා. නමුත් මම නම් දකින්නේ සම්මාන බලාගෙන රඟපාන්න අවශ්‍ය නැහැ කියලා. “එපා වාහෙට හොදි බෙදන්නා සේ”  සම්මාන ලැබීමකුත් තිබෙනවා. නමුත් නිර්මාණයකට සාධාරණයක් කරන හොඳ නිර්මාණකරුවකුට සම්මානයක් ලැබෙනවා නම් ලැබෙයි.  ඒ වගේම විවිධ දේ සඳහා මුදල් නාස්ති කරන අපේ රටේ කලාකරුවකුට සම්මානයක් ලෙස දෙන්නේ පුංචි ලී කොටයක්. නමුත් ලෝකයේ කලාකරුවකුට සම්මාන ලැබීමේදී දහසින් බැඳි පියලි ලැබෙනවා. අපේ කලාකරුවෝ බොහොම අහිංසකයි. ඔවුන් ලැබෙන සම්මානයෙන් සැනසෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post