පැය 21ක් ඇතුළත Trending වුණු අරාබි කුමාරි ගැන සඳුන් කියන කතාව




ඔහු ලාංකික සංගීත ක්ෂේත්‍රයේ තම අනන්‍යතාව තහවුරු කළ ගායන ශිල්පියෙක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමඳව ලබනා ඔහු ප්‍රේක්ෂකයාටද තම ආදරය නොමඳව ලබා දෙන ගායන ශිල්පියෙක්. ඔහු මේ දිනවල අරාබි කුමරියක් මෙරටට කැන්දාගෙන ආවා යැයි පුවතක් රටපුරා කතාබහට ලක්වෙනවා. අද ඒ පිළිබඳව කතාබහ කරන්න  එක්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සදුන් පෙරේරා. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල මගේ අලුත්ම නිර්මාණය අරාබි කුමාරි එක්ක කාලය ගත කරනවා. මගේ කලින් ගීතවලට වඩා ඉක්මනින් මේ ගීතය රසිකයන් අතරට ගියා. මට මගේ රසිකයන් මොන තරම් ආදරෙයිද කියන එක හැමදාම අලුත් ගීතයක් නිකුත් කරපු අවස්ථාවලදී හදුනගන්න පුළුවන් වුණා. ඒක මම ලබපු ජයග්‍රහණයක්.


අරාබි කුමාරි ඉතා අඩු කාලයකින් ට්‍රෙන්ඩින් වන් වෙලා මොකද හිතෙන්නේ?


මම මගේ ආදරණීය රසිකයන්ට යූ ටියුබය හරහා නිකුත් කළ සෑම ගීතයක්ම වගේ ට්‍රෙන්ඩින් වුණා. ඔබ මගෙ හදවතේ, අමුතුම මල වගේ ගීත ඉක්මනින් ට්‍රෙන්ඩින් වුණා. මගේ පෙර නිර්මාණ දවසක වගේ කාලයකට පසුව තමයි ට්‍රෙන්ඩින් වුණේ. නමුත් ගොඩක් ආදරෙයි කියන නිර්මාණය පැය 23න් ට්‍රෙන්ඩින් වුණා. ඔන්න අරාබි කුමාරි පැය 21න් ට්‍රෙන්ඩින් වෙලා. මම හිතන්නෙ අරාබි කුමාරි තමයි ලංකාවේ අඩුම කාලයකින් ට්‍රෙන්ඩින් 01 වුණේ. මේ නිසා ගීතයේ ගායකයා විධියට මට විශාල සතුටක් තිබෙනවා.


අරාබි කුමාරි ගීතය නිර්මාණය වුණේ කොහොමද?


ඒක ඉතා වැදගත්. මේ බීට් එක මම හරි ආස කරන බීට් එකක්. ගොඩක් මියුසීෂියන්ස්ලා ගාවට ගිහින් මට මේ බීට් එක මට හදලා දෙන්න පුළුවන්ද  කියලා මම ඇහුවා. හැබැයි ගොඩක් අයට මට අවශ්‍ය විධියට බීට් එක හදා ගන්න බැරි වුණා. නමුත් Evo Beats මට මේ බීට් එක ආවශ්‍ය විධියට නිර්මාණය කරලා දුන්නා. දෙසවන මියුසික් එක්ක Evoගෙ වැඩ ගොඩක් රිලීස් වුණා. Evo බීට් එක නිර්මාණය කළාට පස්සෙ තමයි මම මෙලඩි එක හදලා ලිරික්ස්වල මුල් පද ලිව්වේ. එහෙම තමයි මේ වැඩේ ආරම්භ වුණේ. හර්ෂණ කේ. පෙරේරා තමයි මේ ගීතයේ පද රචනා කළේ. කසුන් මධුසංක සහ මම එක්වෙලා මේ ගීතය නිර්මාණය කරලා නිකුත් කළා. මේ ගීතය නිර්මාණය කරන්න මාස හතරක් විතර කාලයක් ගත වුණා.


අරාබි කුමාරි ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය වුණේ කොහොමද?


වියදම් වුණු ගාන ගැන කතා කළොත් අපිට මේ දවස්වල වැඩකටයුතු සිද්ධ වෙන විධියට ටැක්ස් එකට අහුවෙන්නත් පුළුවන්. මම හිතන්නෙ මිලියන ගාණක් මේකට වැය වුණා. මට අවශ්‍ය වුණේ කාලය අරගෙන ගුණාත්මක නිර්මාණයක් කරන්න. මේ ගීතයේ වීඩියෝ එක කරන්න අපිට විශාල මහන්සියක් දරන්න සිදු වුණා. මෙහෙම නිර්මාණයක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ලාභයක් නෙවෙයි. ආත්ම තෘප්තිය. ඒ නිසාම වැඩක් කරන වෙලාවට උපරිමයෙන් කැපවෙලා තමයි දේවල් නිර්මාණය කරන්නේ. මේ වීඩියෝවට බොහෝ දෙනෙක්ගෙ සහය ලැබුණා. චාරුක දුෂ්‍යන්ත තමයි මේ වීඩියෝව ඩිරෙක්ට් කළේ. ඔහුගේ කණ්ඩායම අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා මේ වැඩේ සාර්ථක කර ගන්න. නටාෂා පෙරේරා සහ ධනුක දිල්ෂාන් අපිට රංගනයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ගොඩක් අය හිතන් ඉන්නෙ අපි මේක ශ්‍රී ලංකාවෙන් පිටත ගිහින් රූගත කිරීම් කළා කියලා නැහැ. එහෙම කරන්න ගියා නම් අපිට විශාල පිරිවැයක් දරන්න වෙනවා. අපේ සංස්කරණ ශිල්පියා වන හසිත ජයසංකගේ මහන්සියෙන් තමයි මේ වැඩේ මේ තරම් විශිෂ්ට විධියට නිමා කරලා දුන්නේ.


ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණෙන කාලයේ ඇතැම් පිරිස්වල විවේචනයට ලක් වුණා. නමුත් වර්තමානය වන විට ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විසල් පිරිසක් සමඟ ඔබ අද වැඩ කරනවා. ඒ පිළිබඳවත් කතා කරමු?


හැම දෙයක්ම පවතින්නේ දියුණු වෙනව නම් අලුත් අලුත් දේවල් වෙනවා නම් පමණයි. අපේ ක්ෂේත්‍රයත් එහෙම තමයි. සමහරු අප්ඩේට් වෙනවා, සමහරු අප්ඩේට් වෙන්නෙ නැහැ. එහෙම වුණාම ඔවුන්ට මේ ක්ෂේත්‍රය තුළ පවතින්න බැහැ. මේක යාවත්කාලීන වෙමින් යා යුතු ගමනක්. අපි හැමවෙලාවෙම අනෙක් කලාකරුවන් සමඟ ගනුදෙනු කරනවා වගේම නිර්මාණ සිදු කරන්නත් ඕන. තව තවත් පිරිස සමඟ එක්වෙලා කරන වැඩවලට රසිකයින් ඉතා කැමැතියි. අපි තව සංගීත ෂානරයන් කියන දෙය පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. මම කලින් කළ නිර්මාණය Slow ගීතයක්. ඊට පස්සෙ නෑරම කියන්නෙ R&B ෂානරයේ ගීතයක්. අපි විවිධ දේ අත්හදා බලමින් මේ ගමන යන්න ඕන. මම ආවේ කොහොමද, මම දැන් කරන දෙය මොකක්ද කියන දෙය ගැන මට අවබෝධයක් තිබෙනවා. මම මගේ ගමන ආරම්භ කරපු ඉණිමඟ විධියට හ¾දුන්වන්නේ ආයෙත් වරක්, පූජා කරන්නම් වැනි ගීත. ඒ ගීත අහපු රසිකයන් තමයි අදටත් මා සමඟ ඉන්නේ. මට ඕන හැම වෙලාවෙම ලංකාවෙන් එළියට යන නිර්මාණයක් කරන්න. ඉස්සරහට මගේ පැරැණි නිර්මාණ වගේ ගීත එන්නෙ නැහැ නෙවෙයි. ඒවා අප්ඩේට් වෙලා වෙනම රසයකින් අලුත් විධියට මගේ ආදරණීය ප්‍රේක්ෂකයාට අහන්න ලැබෙයි.


ස¾දුන් පෙරේරාගේ හෙයා ස්ටයිල් එක ගැන බොහෝ පිරිසක් කතාබහ කරනවා ඒ ගැනත් කතා කරමු?


මට ඒ ගැන කියන්න ඉතිහාසයට යන්න වෙනවා. මම ශෙහාන් මිහිරංග අයියගෙ පෝස්ටර් පවා එකතු කරපු කෙනෙක්. මම ශෙහාන් අයියගෙන් තමයි ආර්ටිස් කෙනෙක් මේන්ටේන් වෙන්න ඕන විධිය ගැන ඉගෙන ගත්තෙ. මම අවුරුදු හතරක විතර ඉඳන් මගේ කොණ්ඩෙ හදන්න විශාල කැප කිරීමක් කරනවා. මගේ කොණ්ඩෙ හදන්න සාමාන්‍යයෙන් පැයක් විතර යනවා. මම සමහර ටුවර් ගියාම නිදා ගන්නෙත් කොණ්ඩෙ පරිස්සම් කරගෙන. මම කරන කැපකිරීම නිසා‍ෙදා් මිනිස්සු ඒ ගැන කතාබහ කරන්න ගත්තා. ඒක අවසානයේ මගෙ ට්‍රේඩ් මාර්ක් එකක් බවට පත් වුණා. මගේ කොණ්ඩෙ කොහෙ හරි දැක්කම ඒ මම කියලා දන්නවා. මාව දැක්කම ඒ මගෙ කොණ්ඩෙ කියලා දන්නවා. මේක මගෙ කැපකිරීමේ ප්‍රතිඵලයක්. මම ඉස්සරහට මේ කොණ්ඩෙත් යම් යම් වෙනස්කම් කරමින් ඉදිරියට රැගෙන යනවා.


2024 වසරේ අලුත් බලාපොරොත්තු සහ රසිකයන්ට මොකක්ද කියන්න තිබෙන්නේ?


2024 වසර ආරම්භයේදීම අපිට ගොඩක් දේවල්වලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ දේවල්වලට යම් අස්වැසිල්ලක් දෙන්න තමයි සංගීතඥයන් විධියට අපි උත්සාහ කරන්නේ. මම මේ අවුරුද්දෙ කරපු පළමු වැනි නිර්මාණයට ප්‍රේක්ෂකයා ලබා දුන්න ආදරය ගැන ඉතා සතුටුයි. මේ පත්තරය කියවන හැමෝටමත් ස්තූතියි. මේ ආදරයට හදවතින්ම ස්තූතියි. මේ අවුරුද්දෙ තව ගීත කිහිපයක්ම ආදරණීය රසිකයාට රැගෙන එන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post