නාරදට මේ තරම් ප්‍රතිචාර ලැබෙන එක පුදුමයි- දමිත් ග්‍රේෂන්




වේදිකාවෙන් රංගනයට පිවිසෙන දමිත් ග්‍රේෂන් දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්ද වනවා. මේ දිනවල විකාශය වන ජානු ටෙලිනාට්‍යයේ නාරද කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයන්ට නැතුවම බැරි චරිතයක්. තම පළමු ටෙලිනාට්‍ය රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර මෙතරම් ජනප්‍රියත්වයක් හිමිවීම ඇත්තටම ඔහු ලද වාසනා මහිමයක්. බොහෝ පිරිසක් ආදරය කරන නාරද එසේත් නැතිනම් දමිත් ග්‍රේෂන්  සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 

මේ දිනවල මොකද වෙන්නේ?


විශේෂයක් නැහැ. වෙනදා වගේම ජානු ටෙලිනාට්‍යයේ ෂූටින් වැඩකටයුතු කරගෙන යනවා. ඒත් එක්කම වේදිකා නාට්‍ය කිහිපයකම පුහුණුවීම් වැඩ කටයුතු ආරම්භවෙලා තිබෙනවා. මේ දේවල් කරගෙන සතුටින් හොඳින් කාලය ගත කරනවා.


ඔබ භාරගත්ත අලුත් නිර්මාණ ගැනත් කතා කරමු?


අලුතෙන් භාරගත්තු ටෙලිනාට්‍ය නිර්මාණ නම් තවම නැහැ. නමුත් තිවංක වෙල්ලාගේ අයියාගේ music video කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ වගේම හසුන් සමීර අයියාගේ අලුත් වැඩකටත් සම්බන්ධ වුණා. තවම මේ නිර්මාණ රිලීස් වෙලා නැහැ. නොබෝ දිනකින් මේ නිර්මාණ රසිකයන් වෙත ගෙනඑන්න බලාපොරොත්තු වෙනවා.


ජානූ ටෙලිනාට්‍යයේ නාරදගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


හිතුවේ නැති තරමටම ජානු ටෙලිනාට්‍යයේ නාරදගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. නාරද කියන්නේ බොහොම අහිංසක දුප්පත් චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති ප්‍රේක්ෂකයන් නාරදට මේ තරම් ආදරේ.


ඔබ කොහොමද නාරද කියන චරිතය ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිතයක් බවට පත් කළේ?


ඇත්තටම නාරද කියන චරිතය ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම සමීප වුණා.  නාරද කියන චරිතයට ඒ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීම ගැන මටත් හරිම පුදුමයි. ටෙලි නාට්‍යයකදී මට ලැබෙන පළමුවැනිම චරිතය තමයි නාරද කියන්නේ. ඒ පිළිබඳව නිහතමානී සතුටක් තිබෙනවා. නාරද කියන චරිතය සාර්ථක වන්නේම මගේ කැපවීම සහ අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය මත. මේ චරිතය මටත් බොහොම සමීපයි. මමත් ගමෙන් කොළඹට ආපු කොල්ලෙක්. පිටපත අතට ගනිද්දීම මට ඒ චරිතයේ සමීප බව දැනුණා. චරිතය සාර්ථක වෙන්න එයත් එක් හේතුවක් වුණා.  ඒ නිසාම වෙන්නැති ප්‍රේක්ෂකයන් නාරද කියන චරිතයට මේ තරම් ආදරය කරන්නේ.


ඔබ දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් කියන්නේ ඇත්තද?


ඇත්තටම ඔව්. මම ගමේ ඉඳලා කොළඹ එන්නේම වේදිකා නාට්‍ය හදාරන්න. ඉතින් මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ වේදිකාවෙන්. යෞවන නාට්‍ය උළෙල වගේම රාජ්‍ය නාට්‍ය උළෙලටත් මම නිර්මාණ ඉදිරිපත් කළා.  මෙවර යෞවන නාට්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත්, හොඳම නිෂ්පාදනය ලෙසත් මගේ නිර්මාණය තමයි ජයග්‍රහණය කරන්නේ. මම රංගනයට වඩා අධ්‍යක්ෂණයට තමයි වැඩි කැමැත්තක් දැක්වූවේ. විශේෂයෙන්ම වේදිකා නාට්‍යයෙන් පසුව මම ටෙලිනාට්‍යයට යොමු වුණා. නමුත් තවමත් මම වේදිකා නාට්‍ය කරගෙන යනවා.


නවක රංගන ශිල්පියකුට ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙතරම් වැදගත් ද?


නවක රංගන ශිල්පියකුට ප්‍රේක්ෂක ප්‍රතිචාර කියන දේ හරිම වැදගත්. ඒ වගේම රංගන ශිල්පියකුගේ කැපවීම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තවත් වැඩි වෙනවා. ප්‍රේක්ෂකයන් අපිව අගය කිරීම වගේම විවේචනය කිරීමත් කරනවා. නමුත් මේ දෙකෙන්ම රංගන ශිල්පියකුගේ රංගන හැකියාව වගේම රංගන පෞරුෂය ගොඩනඟා ගන්න පුළුවන්. අපට මහ මඟදී හමුවන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. ඇත්තම ඒ ප්‍රතිචාරවලට මම හරිම ආදරෙයි.


නවක රංගන ශිල්පියෙක් හැදෑරීමකින් අනතුරුව රංගනයට අවතීර්ණ විය යුතුයි කියන මතයට ඔබ දරන අදහස කුමක්ද?


රංගනයට පිවිසෙන නවක රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් ඒ පිළිබඳව හැදෑරීමක් කළ යුතුමයි. හැදෑරීමක් නොමැතිව රංගනයට අපි පය තිබ්බොත් අපිට යන්න තිබෙන දුර බොහොම කෙටියි. අපට ඕනෑම දෙයක් ගැන අවබෝධයක් තිබුණොත් ඒ මාර්ගයේ ලස්සනට යන්න පුළුවන්. ලෝකයේ තිබෙන පැරැණිම සහ අමාරුම රැකියාව තමයි රංගනය කියන්නේ. අපි රඟ දක්වන විවිධ චරිත ඇතුළේ මොහොතක් හෝ ජීවත් වෙනවා කියන්නේ පහසු කාර්යයක් නෙවෙයි. එසේ නොකළොත් ඒ චරිතය සාර්ථක නැහැ. හැදෑරීමක් නොමැති රංගන ශිල්පියෙක් එක් නිර්මාණයකින් ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඔහුටත් නොදැනීම ප්‍රේක්ෂකයන්ට අමතක වෙනවා. ප්‍රේක්ෂකයන් තුළ නොමැකෙන චරිතයක් වෙන්න නම් රංගනය පිළිබඳ හැදෑරීමකින් රංගන ක්ෂේත්‍රයට පැමිණීම වැදගත්.


වේදීකාවේදී හෝ ටෙලිනාට්‍යයේදී ඔබ චරිත තෝරාගැනීමක් කරනවද?


මම චරිත තෝරන කෙනෙක් නෙවෙයි. අපට ලැබෙන ඕනෑම චරිතයක්  කරන්න අපි දක්ෂ විය යුතුයි. මම නම් දකින්නේ මට ලැබෙන සෑම චරිතයක්ම අභ්‍යාසයක් කියලා.


ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු වන්නට වේදිකාව පන්නරයන් වුණාද?


මට වේදිකාවෙන් ටෙලි නාට්‍යයට එන්න ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. මොකද වේදිකාවෙන් ලැබෙන පන්නරය ටෙලි නාට්‍යයෙන් ලැබෙන්නේ නැහැ. වේදිකා නාට්‍ය ශිල්පියකුට වේදිකාවෙන් ලැබෙන ඒ පන්නරය වචනවලට පෙරළන්න අසීරුයි. ඇත්තටම මම නම් හිතන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකුට වේදිකාව කියන්නේ හොඳ අවස්ථාවක් කියලා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


දවසක චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම මේ වනවිට ටෙලිනාට්‍ය පිටපතක් ලියලා තිබෙනවා. එයත් මේ වසරේ හොඳ අධ්‍යක්ෂවරයකුට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තවත් ටෙලිනාට්‍ය සඳහා දායක වෙන්නත් අදහසක් තිබෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post