අම්මගේ ෆෝන් එකටත් කෝල් කරලා මට සුබ පතනවා-රොශේන් ශෙවාන්

 


කුඩා කල පටන් රංනයට මෙන්ම නර්තනයට දස්කම්පාන මේ පුංචි පොඩිත්තා නමින් රොශේන් ශෙවාන් නදිෂ් පෙරේරා. ප්‍රධාන පෙළේ රූපවාහිනි නාළිකා කිහිපයකම විකාශය වන ටෙලි නාට්‍යවල, පොහොය නාට්‍යවල මෙන්ම සිනමා නිර්මාණ කිහිපයකටම රංනයෙන් දායක වූ මේ කටකාර, දඟකාර පුංචි පොඩිත්තා මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


ඉතින් පුතේ කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්?


මගේ නම රොශේන් ශෙවාන් නදිෂ් පෙරේරා. මම පාසල් යන්නේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයට. මගේ වයස අවුරුදු දහයයි. මගේ ගම තලවතුගොඩ.  මගේ ගෙදර අම්මත්, තාත්තාත්, අක්කාත්, ආච්චීත්, මමත් ජීවත් වෙනවා.


ශෙවාන් කොහොමද රංගනයට එන්නේ?


මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ රියැලිටි ශෝ එකක නර්තනයෙන් අවසන් සත්දෙනා අතරට එන්න ලැබීම නිසා. ඊට පස්සේ දිල්ෂානි මිස් මට ශක්ති 2 ටෙලිනාට්‍යයේ රඟපාන්න ආරාධනා කළා.  එතැනින් තමයි මම රඟපාන්න පටන් ගන්නේ.


පුතාගේ රඟපෑමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


මට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. පාරෙදී හමුවෙන නැන්දලා, මාමලා මගේ ළඟට ඇවිත් මගේ අනාගත වැඩකටයුතුවලට සුබපතලා යනවා. ඒ වගේම මගේ මිතුරන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ අලුත් නිර්මාණයක් එනතුරු ඒ අය ආසාවෙන් බලන් ඉන්නවා. තවත් සමහර අය අම්මාගේ ෆෝන් එකට කෝල් කරලා මගෙ ගැන විස්තර අහලා සුබපතනවා. ඉතින් හරිම සතුටුයි ප්‍රේක්ෂකයන්ගෙන් ඒ වගේ ප්‍රතිචාර ලැබීම ගැන. 


ශෙවාන්ට  රඟපාන්න පාසලේ ගුරුවරුන්ගෙන් වගේම මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


මට පාසලේ ගුරුවරු වගේම විදුහල්පතිතුමාත් හරිම ආදරෙයි. ඒ නිසා ගුරුවරු මට අතපසුවෙන පාඩම් නැවතත් පැහැදිලි කරලා දෙනවා. මගේ පාසලේ විදුහල්පතිතුමාත් රංගන වැඩකටයුතුවලට මට ගොඩක් උදවු කරනවා. ඒ වගේම මගේ පන්තිභාර ගුරුතුමියත් ඉගෙන ගන්න අතරතුර රඟපාන්න මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. පන්තියේ යාළුවෝ මට අතපසුවන දවස්වල පාඩම්  වගේම ගෙදර වැඩත් කියලා දෙනවා. ඔවුන් නිතරම මගේ ළඟින් හිඳිමින් මගේ වැඩකටයුතුවලට ගොඩක් උදවු කරනවා. මේ හැමෝගේම උදවු උපකාර ලැබෙන නිසා මගේ ඉගෙනීමේ වැඩකටයුතු අතපසු වන්නේ නැහැ.


පුතාගේ රංන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවාද?


මගේ රංගන කටයුතුවලට මට ගොඩක් උදවු කරන්නේ අම්මයි තාත්තයි.  මාව නිතරම ෂූටින් එක්කන් යන්නේ තාත්තා. මට අතපසුවෙන පාඩම් අක්කා මට කියලා දීලා ඉගෙන ගන්න වැඩකටයුතුවලට ගොඩක් උදවු කරනවා. නිතරම මගේ පවුලේ අය මම ගැන සොයල බලනවා.


රංගනයට අමතරව පුතා වඩාත් කැමැති මොනවාටද?


රංගනයට අමතරව මම වඩාත් කැමැති නර්තනයට. මට උඩරට නැටුම්, පහතර නැටුම්, හිපොප් වගේම කේබල් ඩාන්සින්ග් කරන්න පුළුවන්. ඒ වගේම ජිම්නාස්ටික් වගේම කරාටිවලටත් මම ගොඩක් කැමැතියි. මම මේ සියල්ලක්ම හදාරනවා.


පුතාට තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


ආරාධනා කිහිපයක්ම ලැබුණා. මේ දිනවල ප්‍රසාද් හිරන්ත මාමාගේ පොහොය නාට්‍යක් රූ ගත කරනවා. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය මම. ඒ වැඩකටයුත් එක්ක තමයි  මේ දින කිහිපය ගෙවෙන්නේ. මට හින්දි ටෙලිනාට්‍යක පොඩි  කොටසකට රංගනයෙන් දායක වෙන්නත්  අවස්ථාව ලැබුණා. වැස්ස නමින් අලුත් නාට්‍යයක් ඉදිරියේදී විකාශය වෙනවා. ඒ නාට්‍යයේත් ප්‍රධාන චරිතයකට රඟපාන්න අවස්ථාව ලැබුණා. මම වැඩිපුරම කැමැති ප්‍රේක්ෂකයන් හිනස්සවන්න පුළුවන් චරිත රඟපාන්න. ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණත් ඒවා තොරා බේරාගෙන තමයි රඟපාන්නේ. මොකද මගේ අධ්‍යාපන කටයුතු අතපසු වෙන නිසා.


පුතාගේ අනාගත බලාපොරොත්තු මෙනවාද?


මම ලොකු වෙලා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්න කැමැතියි.


ශෙවාන්ට මේ ගමනේදී උදවු කළ අය කවුද?


මට රංගනයට වගේම නර්තනයට උදවු කළ බොහෝ පිරිසක් සිටිනවා. ඒ අතරින් දිල්ෂාරා මිස්, නදීශ් සර්, අමිල ඉලුක්කුඹුර සර්, නිලංගි මිස්, දිල්රුක්ෂි මිස්, නිශාන්ත මාමා, තිළිණ මාමා, මහේෂ් මාමා, ඉත්තෑපාන මාමා මට හරිම විශේෂයි. මොකද ඔවුන් තමයි මට නිතර ගුරුහරුකම් ලබා දෙමින් මට ළමා නළුවෙක් ලෙස වැඩ කරන්න බොහෝ උදවු උපකාර  කළේ.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post