අරුන්ගෙ චරිතයට කතා කළාම මට ලොකු ආසාවක් ඇති වුණා-ගයාන් වික්‍රමතිලක




මීට දශක කිහිපයකට පෙර, දිලිසෙන ඇස් හා කැරලි හිසකෙස් සහිත කඩවසම් තරුණයෙක් සබන් වෙළෙඳ දැන්වීමක් හරහා මුළු මහත් ලාංකිකයන්ගේම හදවත් සොරා ගත්තා ඔබට මතක ඇති. එකල  තරුණියන් බොහෝමයකගේ සිහින කුමරා වූ ඔහු අවසානයේ මෙරට තුළ සිටින අතිශය ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පියෙක් වන්නේ, සදාකාලික තාරුණ්‍ය මෙන්ම මෙරට තරුණයන්ගේ සිහින කුමරියව සිටි සුන්දරියගේ අයිතියද හිමි කර ගනිමිනුයි. මේ දිනවල නුවර මන්දාරම ඇතුළේ තුන් කොන් ප්‍රේමයක සිරව සිටින ඔහු නමින් ගයාන් වික්‍රමතිලකයි. 

මේ දිනවල තොරතුරු ටිකක් කියලම කතාව ආරම්භ කරමු?


මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව අලුත් නිර්මාණ කිහිපයක්ම තව සතියකින් පමණ  ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා.


මන්දාරම් කතාවේ අරුන් ගැනත් පොඩ්ඩක් කියමු නේද?


ඇත්තටම කාලෙකට පස්සේ ඒ වගේ චරිතයක් ලැබුණේ. ලංකාවේ විධියක් තිබෙනවානේ එක චරිතයකට කොටු වුණොත් ඒ චරිතය ඇතුළෙම තමයි තියන්න බලන්නේ. මම විවිධ පරාසයන් චරිත කරලා තිබෙනවා. ඔය වගේ අහිංසක චරිතත් කරලා තිබෙනවා. දඩබ්බර චරිතත් කරලා තිබෙනවා. නමුත් ගොඩක් වෙලාවට මට නිර්මාණවලට කතා කරද්දි ලැබෙන්න දඩබ්බර චරිත. මට හරි ආසාවක් ඇතිවුණා ධනුෂ්ක රත්නායක මට මන්දාරම් කතාවේ අරුන්ගේ චරිතයට ආරාධනා කළාම. මොකද මේකත් සේපාලිකා නාට්‍යයේ වගේ වෙනස් චරිතයක්. ඉතිං බොහොම කැමැත්තෙන් ආරාධනාව පිළිගෙන නිර්මාණයට සම්බන්ධ වුණා.


මන්දාරම් කතාවෙන් පසුව නැවතත් ප්‍රේක්ෂකයාට පරණ පුරුදු රෝමාන්තික ගයාන්ව දැක ගන්න ලැබේවිද?


මම කොහොමත් කැමැතියි රංගන ශිල්පියෙක් විධියට විවිධ පරාසයන්වල චරිත රඟ දක්වන්න. එකම හැඩරුව තිබෙන චරිතවලට කොටු නොවී විවිධ චරිතවලට සම්බන්ධවන්න මම ඉතාමත් කැමැතියි. ඒකට අනුවර්තනය වීමට  හැකියාව දැන්  පෙරටත් වඩා තිබෙනවා. දශක දෙකක් පමණ මේ වෙද්දි මම මේ ක්ෂේත්‍රය තුළ සිටිනවා. ඒ අත්දැකීම් සමඟ ඕනෑම චරිතයක් නිරූපණය කිරීම පෙරට වඩා පහසුයි. අත්දැකීම් සහ පරිණතභාවය මත තමයි බොහෝදුරට දක්ෂ නළුවෙක් බිහිවෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විවිධාකාර චරිත නිරූපණය කරන්න.


තුන්කොන් ප්‍රේමයකට මැදිවූ පෙම්වතාගේ චරිතයට ඔබේ සහාය ශිල්පිනයන් දෙදෙනාගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?


ආශාත්, පබෝධත් දෙදෙනාම හොඳට අත්දැකීම් තිබෙන දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. කෙනෙක් කොතරම් දක්ෂ හැකියාවන් තිබෙන රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වුණත් ඇතැම් විට ඒ පුද්ගලයාගේ තිබෙන හැකියාවන් සියල්ල උඩට ගන්න අසීරුවෙනවා ඔහු හෝ ඇය සමඟ රංගනයේ යෙදෙන අනෙක් ශිල්පියා හෝ ශිල්පිනිය හොඳ සාර්ථක රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නොවුණොත්. ඉතිං ආශා සහ පබෝධා සතුව තිබෙන දක්ෂකම සහ අත්දැකීම් හේතුවෙන් මට ඔවුන් දෙදෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා විහඟ අරුන් කියන මේ චරිතය නියමාකාරයෙන් එළියට ගන්න. මේ වෙලාවේ මම ඔවුන් දෙදෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා.


එකම ආරයේ චරිතවලට කොටු කිරීම නිසා චරිතාංග නළුවෙක් හෝ නිළියෙක් වීමට මතු වන බාධක ගැනත් කතා කරමු?


අපේ රටේ තමයි ඔය තත්ත්වය බොහෝ දුරට දකින්නට ලැබෙන්නේ. මොනාහරි දෙයක් කළාට පසුව ඒක සාර්ථක නම් දිගටම ඒ ෆ්‍රේම් එක ඇතුළේ තිබෙන චරිතවලට තමයි කතා කරන්නේ. නමුත් අපි ඔය ගැන අපේ සිනමාවේ හා ටෙලි නාට්‍යයේ ඉතිහාසය ගිහින් බැලුවොත් අපේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් විවිධාකාර චරිත නිරූපණය කරලා තිබෙනවා. අද වෙද්දි මේ විධියට එකම රාමුවකට කොටු කිරීමට බලපාලා තිබෙන හේතුව තමයි මෑත කාලයේ අපේ රටේ නිෂ්පාදනය වන නිර්මාණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වීම. එවිට රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන්ට තමන්ගේ නියම දක්ෂතාව එළියට ගන්න ලැබෙන අවස්ථා ප්‍රමාණය අවමයි. එහෙම වෙද්දි ඔහු හෝ ඇය නිරූපණ කළ එක් චරිතයක් පාදක කරගෙන විතරක් ඒ ආකාරයේ තීරණ ගන්න වෙලා තිබෙනවා. නමුත් කාලයක් පුරාවට ක්ෂේත්‍රය ඇතුළේ රැඳීමත් සමඟ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු අපි ගැන විශ්වාසය තබනවා කියලා මට හිතෙනවා. ඒ අනුව අපිට  අවස්ථාව ලැබිලා තිබෙනවා වෙනස් ආකාරයේ චරිත නිරූපණය කිරීමට. එය තරමක් දුරට වාසනාවක් කියලත් කියන්න පුළුවන්. මොන දක්ෂතා තිබුණත් වාසනාවත් බලපානවා කියලා මම සිතනවා.


බොහෝ අයට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණත් රැඳී ඉන්න පුළුවන්කමක් නැහැ. මේකට හේතුව මොකක්ද?


ඒකට හේතුව තමයි මම දකින විධියට නිහතමානිත්වය. තමන් මොනම නිර්මාණයක් කළත් මොන තත්ත්වයකට ආවත්, චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක් මේ මොන දේ කළත් පළමුවෙන්ම නිහතමානිත්වය තිබිය යුතුයි. රංගනයේදී පමණක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක කළ යුත්තේ පළමුවෙන්ම නොදන්නේ දේ එකතු කර ගැනීම, දෙවනුව එකතු කළ දේ හරහා පරිණත වීම. ඔය කියන සර්කල් එක කැරකුණොත් පමණයි ඕනෑම ක්ෂේත්‍රයක හරි යන්නේ.


මෑත කාලයේ ඔබ සිනමාවට දායක වුණේ අඩුවෙන්. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම මෑතකදී සිනමා නිර්මාණ බිහි වුණේ ඉතාමත් අඩුවෙන්. ඒකත් එක්තරා හේතුවක්. ඒ වගේම සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණත් ගෙවීම් සම්බන්ධ ගැටලු තිබෙනවා. ඇතැම් අවස්ථාවල ඒ ගෙවීම් එක්ක බලද්දි අපිට අතින් වියදම් කරගන්න වෙන අවස්ථා තිබෙනවා. නමුත් අපි වෘත්තීය රංගන ශිල්පීන් නිසා එහෙමම කරන්න අපහසුයි. හැබැයි ඒ කොහොම වුණොත් බොහෝ දුරට ලබන වසරේ චිත්‍රපට කිහිපයක් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.


මේ වෙද්දි ඔබ අධ්‍යක්ෂණයෙන් අෑත් වෙලාද?


නැහැ. මේ වෙද්දි මම ටෙලි නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදීත් තවත් ටෙලි නාට්‍යයක් හා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරලා තිබෙන්නේ. නමුත් රටේ ආර්ථික තත්ත්වයත් සමඟ පිරිවැය ඉහළ යෑම නිසා නිර්මාණ කටයුතු ආරම්භ කිරීමේ ගැටලුවක් තිබෙනවා. ගොඩක් වෙලාවට අපි වියදම් කරන මුදලට වඩා අඩු මුදලක් තමයි නිර්මාණය හරහා උපයන්න හැකිවෙන්නේ. ඒ නිසාම මේ මොහොතේ පොඩ්ඩක් ඒ දේවල්වලින් අෑත් වෙලා ඉන්නවා. නමුත් ලබන වසරේ කෙසේ හෝ වැඩක් කරන්න උත්සාහ ගන්නවා. මොකද අලුත් වැඩක් කළොත් තමයි අලුත් පිරිසකට අවස්ථා ලැබෙන්නේ. ක්ෂේත්‍රයේ ඇතුළේ සිටින පිරිසට රැකියා හිමිවෙන්නේ. ඒ වගේම අපි හිතනවා ඒක අපේ අතින් විය යුතු දෙයක් කියලා.


අවසන් වශයෙන් ආරාධනා සමඟ ඔබ හා චතුරිකා ගෙවන සුන්දර ජීවිතය ගැනත් පොඩ්ඩක් කියමු?


ආරාධනා තමයි අපේ සියල්ලම. ඇයත් එක්ක පොඩ්ඩක්වත් නිකන් නම් ඉන්න අමාරුයි. හැම වෙලේම ඇයට අපිව අවශ්‍ය වෙනවා. ඇත්තටම චතුරිකාටයි මටයි වෙන ලෝකයක් නැහැ. ඇයත් සමඟ දැවටි දැවටි ඉන්න එක තමයි කරන්නේ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post