එයා ගැන වෙනදටත් වඩා මම හොයල බලනවා-දිල්හානි අශෝකමාලා




සිනමා ජීවිතයේ චරිත එකසිය තිහක පමණ රංග ප්‍රතිභාව විදහා දක්වා ඇතත් සහාය චරිත නිරූපණයක් වෙනුවෙන් හොදම සහාය නිළිය සම්මානය ඇය හිමි කර ගන්නේ පළමු වතාවට වීම සුවිශේෂ වූවකි. ඒ පසුගිය දා නිම වූ ජනාධිපති සම්මාන උළෙලේදී ය. නැගී එන හොඳම නිළිය ලෙස 1991 වසරේදී “දේදුන්නෙන් සමනලියක්” චිත්‍රපට‍ රංගනයෙන් සරසවිය සම්මාන දිනූ ඇයට ජනප්‍රියම නිළිය සම්මානය හිමිකර ගැනීමට ගත වූයේ ඉන් වසරක් පමණි. 2001 වසරේ ජනාධිපති සම්මාන උළෙලේදී “මේ මගේ සඳයි” සිනමා රංගනය වෙනුවෙන් හොඳම නිළිය වූ ඇයගේ සම්මාන ගොඩට අඩුවක් ව තිබුණේ සහාය නිළිය වෙනුවෙන් ඉහළම සම්මානය පමණි. මෙවර ඒ හිඩැස පිරවුණි. කොතරම් සම්මාන ලැබුණත් ඇයගේ වටිනා ම රංගනය ලෙස අදටත් සමාජ කතිකාව පවතින්නේ “ගාමණී” සිනමා රංගනය යි. ඇය දිල්හානි අශෝකමාලා ඒකනායක යි


මෙවර ජනාධිපති සම්මාන උලෙළට ඔබ සහභාගි නොවුණේ ඇයි…?


ඇත්තටම ඒ ගැන මට හරි දුකයි. මම අසනීප තත්ත්වයෙන් සිටි නිසා ඒ අවස්ථාව මට මග හැරුණා. ලංකාවේ අපට තියෙන ඉහළම ඇගයුම් සම්මාන උලෙළ ජනාධිපති සම්මාන උලෙළයි. වර්තමාන සභාපතිතුමා නැවත මේ සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු කිරීම ගැන සතුටුයි. කාලයක් අපට ඒ දේවල් නැති වෙලා තිබුණා. රටේ සහ ලෝක අර්බුද නිසා ඒ උලෙළ මෙවර පැවැත්වුණේ බොහෝ කාලෙකට පසුවයි. එහෙම වෙලත් මට යන්න බැරි වුණා. මගේ ජීවිතයේ මට . සහාය චරිත වැඩිය මම රඟපාලත් නැහැ. ඉතින් මෙවර මට ඒ සම්මානය ලැබෙයි කියලා මම හිතුවෙත් නැහැ. සම්මානය ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. සම්මානයක් කියන්නේ රංගන ශිල්පියෙකුට මහා විශාල උත්තේජනයක්. ඒ අවස්ථාවට සහභාගි වෙන්න නොහැකි වීම ගැන නම් දුකයි. අසනීප නොවුණා නම් මං අනිවාර්යයෙන් ම යනවා. ඉතින් සම්මාන ගත්ත, නිර්දේශ වුණු සැමට සුබ පතනවා.


කලා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් තියෙනවා නේද..?


ඔව්. ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා. මේ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට ඒක ලොකු සැනසීමක් වගේ ම නිර්මාණ රසවිඳින්න බලාගෙන සිටි රසික පිරිසටත් ඇත්තටම සතුටක් තියෙනවා. මමත් මේ දවස්වල හර්ෂ උඩුකන්දගේ චිත්‍රපටයේ වැඩ භාර අරගෙන තියෙනවා. තව කිහිපයකට කතා කළා. නමුත් ඒවා ටිකක් කල් ගියා. ටෙලිනාට්‍ය නම් අලුතෙන් භාර ගත්තේ නැහැ.


කොඩිගහ යට ටෙලි නාට්‍ය රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද…?


ඒක මට ලැබුණු වෙනස්ම චරිතයක්. ජගත් මනුවර්ණගේ නිර්මාණයක්. මේ මහා පොළොවේ ජීවත් වන චරිතයක්. රඟපාන්න දෙයක් තියෙන චරිතයක්. මම කැමැත්තෙන් රඟපෑ චරිතයක්. ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.”


රංගනයෙන් පරිබාහිර ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද…?


මම ඉතින් රඟපෑමට අමතරව වෙනත් ව්‍යාපාර මුකුත් කරන්නේ නැහැනේ. ගෙදර වැඩ උයන, අස්පස් කරන ඒවා කරනවා. ප්‍රියංකරගේ වැඩ ටික මගේ අතින්ම කරනවා. එයා මේ දවස්වල අසනීපෙන් ඉන්න නිසා එයා ගැන වෙනදාටත් වඩා මම හොයලා බලනවා. පුතා විවාහයෙන් පස්සේ වෙනම පදිංචියට ගිය නිසා එයාගේ වැඩ නම් නැහැ. එහෙමයි කියලා ඉතින් ලොකු නිදහසකුත් නැහැ. ගෙදර මොන මොනවා හරි වැඩ තියෙනවා. මම යාළුවෝ කියලා ලොකුවට ආශ්‍රය කරන්නෙත් නැති නිසා ගමන් බිමන් වුණත් හරි අඩුයි. සුම්බා ඩාන්සින් ක්ලාස් එකකට යනවා. මොනවා කළත් නිරෝගී ව ඉන්න ඕනේ. බොහෝම සරලව නිදහසේ සතුටින් හිනාවෙලා ඉන්නවා.”


නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න, පිටපතක් ලියන්න හිතිලා නැද්ද.?


අනේ නැහැ. රඟපෑම හැර වෙන දෙයක් ගැන මට හිතෙන්නේ නැහැ. ඒ නිසා එහෙම හැකියාවක්වත් තියෙනවා ද කියලාවත් මම දන්නේ නැහැ. එහෙම හැදෑරීමක් කරලත් නැහැ. හරියට ම කරන්න බැරි නම් මම දෙයක් කරන්නෙත් නැහැ. නිෂ්පාදනයකට අතගහන්න මට ඉතින් එහෙම සල්ලිත් නැහැනේ. මගේ විෂය ක්ෂේත්‍රය තුළ හොඳම දෙයක් කරන්න විතරයි මගේ කැමැත්ත උනන්දුව සහ කැපවීම තියෙන්නේ.”


 ඔබ රඟපෑම හදාරන්නේ කොහොමද..?


ජීවිතය හැදෑරීම මගේ රංගන පාඩමයි. මගේ ජීවිතය හරියට හැදෑරීමෙන් විවිධ ධාරාවන්වල චරිතවලට කිඳාබැසීමේ හැකියාව මට ලැබෙනවා. මම කොහොමද වැස්සත් එක්ක ඉන්නේ, අව්වත් එක්ක ඉන්නේ, සුළඟත් එක්ක ඉන්නේ, සීතලත් එක්ක ඉන්නේ, විවිධ තරාතිරමේ සමාජයීය පුද්ගලයින් සමඟ කතාබහ කරන්නේ, ඔවුන් සමඟ එදිනෙදා හමුවන වැඩකටයුතු කරන්නේ කෙ‍ාහොමද

කියලා හරියට හැදෑරීමෙන් අපට ලැබෙන චරිත රඟපාන්න අමාරු නැහැ. දෛනික ව හමුවන ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය තමයි ජීවත් වෙනවා කියන්නේ. සමහරු ඉන්නවා මොන දේටත් නහයෙන් අඬනවා හැර වෙන දෙයක් නැහැ. නෑ, බෑ, අයියෝ කියලා නහයෙන් ඇඬිලි මගේ ළඟ නැහැ. මගේ ජීවිතයේ මට හමුවුණු ඕනෑම ප්‍රශ්නයකට මම හොඳින් මුහුණ දුන්නු කෙනෙක්. එදත් එහෙමයි. අදටත් මම එහෙමයි. ජීවිතයේ පන්නරය ඒකයි. රජෙක් වුණත් ප්‍රශ්නයකට ලෙඩකට දුකකට මුහුණ දෙන්න බැරි නම් වැඩක් නැහැනේ. මගේ බො‍රු ආටෝප, අනවශ්‍ය අපහසු විලාසිතා ඒ මුකුත් නැහැ. මම සරලව ජීවිතය දකින, ජීවිතයට මුහුණ දෙන කෙනෙක් නිසා මට මගේ ජීවිතය හදාරන්න පුළුවන් වගේම මගේ ජීවන හැදෑරීමෙන් රඟපෑම පහසු වෙලා තියෙනවා.”


පුංචි කාලේ ජීවිතයත් එහෙම සරල එකක් ද…?


ඔව්. කොළඹ පොල්හේන්ගොඩ ඒ කාලේ සරල ගමක්නේ. අම්මා තාත්තා අපට කන්න උයලා දුන්නා. ඉස්කෝලේ යැව්වා. බොහොම සරල සාමාන්‍ය විදිහට ජීවත් වුණා. පුංචි කාලේ අහළ පහළ ළමයි, ගෙදර අනිත් අය එකතු වෙලා බට්ටො පනිනවා. දුවනවා. අපි කරන දේවල්වලට අම්මා තාත්තා කවදාවත් බාධා කරලා නැහැ. ඒ නිසා ද කොහෙද මමත් කවදාවත් මගේ පුතාගේ වැඩවලටත් බාධා කරලා නැහැ. එයා සංගීතයට වැඩිපුර නැඹුරු වුණා. මම එයා කැමති ගමන යන්න ඉඩ දුන්නා. එයත් කාටවත් කරදරයක් නැති ළමයෙක් විදිහට ජීවිතය ගොඩ නාඟා ගත්තා. ඊටත් වැඩි දෙයක් ඉතින් නැහැනේ.



මෙගා නාට්‍යවල ඔබ දකින්න නැත්තේ ඇයි….?


ඇත්තටම මම මෙගා නාට්‍යවලට විරුද්ධයි. හරියට ඒවා රොබෝලා වගේ. ඔහේ එකම දේ එක ම විදිහට කරනවා හැර වෙන දෙයක් නැහැනේ. ඒවාට කොටු වුණාම රඟපෑම පැත්තෙන් කිසි ම දියුණුවක් නැහැ. ඒවාට සම්බන්ධ වීමෙන් රංගන ශිල්පීන් කර ගන්නේ විශාල හානියක්. මොට දේවල් දුන්නාම සමාජයත් පිරිහෙනවා. ඇත්තටම ඒවායින් කාටවත්ම ඇති සුගතියක් නැහැ. හානියක්ම විතරයි. මිනිස්සු හිතන දේට වඩා උසස් දෙයක් මිනිස්සුන්ට දීම තමයි නිර්මාණකරුවාගේ කාර්ය විය යුත්තේ. ඒක එහෙම නොවීම අවාසනාවන්ත තත්ත්වයක් කියලා මම හිතනවා. මම ඒවාට සම්බන්ධ නොවෙන්නේ ඒ නිසායි. හොඳ නිර්මාණයක් කියන්නේ නළු නිළියන් මෙහෙයවීම පමණක් නෙවෙයි. සිනමාව කියන්නේ හරියටම බැලුවොත් චිත්‍රයක්නේ. රූප රාමුවක් ඇතුළේ ලොකු කතාවක්, ලොකු අදහසක් කියවෙන්න ඕනේ. හිතෙන හිතෙන විදිහට ලයිට් ගහන්න බැහැ. දෙබස් හසුරවන්න ඕනේ අත්‍යවශ්‍යම වෙලාවක විතරනේ. හරි විදිහේ රූප රාමුවලින් කියන කතාව වචන සීයකින්වත් කියන්න බැරි වෙනවා නම් තමයි ඒ රූප රාමුව සාර්ථක වෙන්නේ. මට නම් පේන්නේ නැහැ අද බිහිවෙන බෙ‍ාහෝ නිෂ්පාදනවල මේ නිර්මාණාත්මක බවක් තියෙනවා කියලා. සමහර රූපරාමු දැක්කාම ඔළුව රිදෙනවා. හරිම නීරසයි. මම නම් ඇත්තට ඒවා බලන්නවත් කැමති නැහැ. ඒ අතරේ ඉතා විශිෂ්ට නිර්මාණත් බිහි වෙනවා.”




Previous Post Next Post