එදිනෙදා වෙන දේවල් අසභ්‍ය වෙන්නෙ කොහොමද?කැළුම් ගම්ලත්




මෙරට වේදිකාවෙන් බිහිවූ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය, ටෙලි නාට්‍ය හා හඬ කැවීම් කලාව තුළද  තමාටම අනන්‍ය වූ සලකුණු තැබීමට සමත් වූ දුර්ලභ ගණයේ විභවයක් සහිත කලාකාරිනියකි. වාණිජ කලාව තුළ උඩුගම් බලා පිහිනමින් කලාත්මක නිර්මාණ සමඟින් එක් වන ඇය පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ මුරුගසන්හි යශෝ චරිතය නිසාවෙනුයි. නමින් කැළුම් ගම්ලත් නම් වූ ඇය සමඟින් ‘හදගැස්ම’ කළ කතාබහයි මේ. අලුත් තොරතුරු ටිකක් කියලම පටන් ගමු?


මේ දවස්වල කලා නිර්මාණවලින් මුරුගසන් තමයි ටෙලිකාස්ට් වුණේ. ඊට අමතරව  අසංක සායක්කාරගේ මම කෙළින් මිනිහෙක්  වේදිකා නාට්‍යයේ දර්ශන වාර කිහිපයක් යනවා. ඊට අමතරව පුරුදු විධියට ගෙදර වැඩයි. ඔෆිස් වැඩයි තමයි වෙන්නේ.


කාලයකට පසුව ටෙලි නිර්මාණයකට එකතු මොන වගේ අත්දැකීමක්ද?


ගොඩක් අය කියනවා කැළුම් ආපහු ඇවිත්, ආයේ වැඩ කරන එක හොඳයි කියලා. ඒ වගේ ප්‍රතිචාර තමයි බහුතරයක් හිමි වෙන්නේ. පෞද්ගලික හේතුවක් නිසයි මම කලාවෙන් පොඩ්ඩක් අෑත් වෙන්නේ. ඉතින් මේ වෙද්දි මගේ සමීපතමයෝ, ප්‍රේක්ෂකයෝ සියල්ලම වගේ කියන්නේ නිහඬව ඉඳලා ටෙලි නිර්මාණයකින්ම නැවතත් රංගනයට සම්බන්ධ වීම හොඳයි කියලා. මොකද ටෙලි නිර්මාණයක් හරහා ස්පර්ශ කරන්න පුළුවන් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව වැඩි නිසා. සමහරු මාව දන්නවා, සමහරු මාව දන්නේ නැහැ. තවත් පිරිසක් ඉන්නවා මගේ වොයිස් එක පමණක් හ¾දුනන, ඔය සියල්ලගෙන්ම හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ.


මුරුගසන්හි යශෝ ඔබට දැනෙන ආකාරය ගැන කතා කරලමු ඉමු?


යශෝ කියන්නේ අපිට එදිනෙදා හමුවන චරිතයක් නොවෙයි. යශෝව මම කියවපු විධියට යශෝ කියන්නේ වෙනස් ආකාරයේ ලිංගික ආශාවන් තිබෙන සහ යම්කිසි ඩිසෝඩර් එකකින් පෙළෙන කෙනෙක්. ඒ වගේම ඇය ඒ සියලු දේ තිබෙද්දිත් තමාගේ අරමුණ වෙනුවෙන් වටේ සිටින සියල්ලම ඒ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන කාන්තාවක් කියලයි මට හිතෙන්නේ. ඇයට ප්‍රධාන ඉලක්කයක් තිබෙනවා. මට දැනෙන විධියට ඇය ඒ සියලු සම්බන්ධකම් ඇතිකර ගන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන්.


යශෝ වැනි කාමිනියකගේ චරිතයට අනුගත වීම මොන වගේ අත්දැකීමක්ද?


රංගන ශිල්පිනියක් විධියට ස්ක්‍රිප්ට් එකක් අතට ලැබුණම ඒක අපි මුලින්ම කියවගෙන යනවා. එහෙම කියවගෙන යද්දි මම මට දාගන්න සීමාවන් ඇතුළේ  වැඩ කරන්න අධ්‍යක්ෂවරයාගේ සහාය ලැබෙනවා නම් ඒක හරිම පහසුයි. ස්ක්‍රිප්ට් එකේ මොන දේවල් ලියවිලා තිබුණත් සමහර දේවල් තිබෙනවා ස්ක්‍රිප්ට් එකට හානියක් නොකර අපේ අත්දැකීම් හා දක්ෂතාවන් අනුව චරිතය හදාගන්න පුළුවන්. ඒකට අපේ අනෙකුත් රංගන ශිල්පීන්ගේ වගේම අධ්‍යක්ෂවරයාගෙත් සහයෝගය අවශ්‍යයි. ඇත්තටම සක්‍රිප්ට් එකේ ඊට වඩා ගොඩක් වෙනස් විධියට තිබෙන දර්ශන අපිට අවශ්‍ය  ආකාරයෙන් පිටපතට හානියක් නොවෙන්න වෙනස් කරගත්තා. විශේෂයෙන් මේක රූපවාහිනියක විකාශනය වන ටෙලි නාට්‍යයක්. ඒ වගේම මේක ලංකාව. ඒ නිසාම අපි අපේ සීමාවන්ට අනුව ඇතැම් දර්ශන වෙනස් කර ගත්තා. ඒකට අධ්‍යක්ෂවරයාගේ වගේම කණ්ඩායමේ සහායත් හිමිවුණා.


මුරුගසන් ප්‍රධාන වශයෙන් චරිත හතරකට කොටු වෙලත් ඒකාකාරී නොවී කුතුහලය උපරිමයෙන් පවත්වා ගැනීමේ රහස මොකක්ද?


ප්‍රධාන හේතුව විමල් කැටිපෙආරච්චි අයියගේ ලිවීම. ස්ක්‍රිප්ට් එක කියවගෙන යද්දි පවා එක හුස්මට කියවන්න පුළුවන් පිටපතක් ඒක. ඇත්තටම පිටපත මීට වඩා ගොඩක් ප්‍රබලයි කියලා මට හිතෙනවා. මොකද අපේ සීමාවන් ඇතුළේ අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබුණා. ඒකත් එක්ක තමයි ප්‍රඩක්ෂන් එක ඔය විධියට එළියට එන්නේ. ඒ වගේම අධ්‍යක්ෂ ඩබ්ලිව්. ජයසිරි අයියා ලබා දුන් හැඩයත් එයට ප්‍රබලවම බලපෑවා. ඊට අමතරව ලක්ෂ්මන් අයියා, පූජන අයියා, ආලෝක අයියා සහ මම ඒක  ඇතුළේ නිර්මාණය කරගත් සම්බන්ධතාවත් එයට බලපෑවා. ඒ වගේම අපේ ඩ්ඕපී සජිත වීරප්පෙරුම අයියාගේ දක්ෂතාවත් නාට්‍ය කුතුහලය උපරිම, සාර්ථක නිර්මාණයක් වෙන්න ලොකු හේතුවක් වුණා.


යශෝ වැනි චරිත මෙරට  ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ට අලුත්. ඔවුන් කොයි විධියටද මේ වෙද්දි ඇයව භාරගෙන තිබෙන්නේ?


ඇත්තටම A for Apple මිනි සීරිස් සේරගෙම අපිට වෙනම හැඩයක්නේ පෙනෙන්නේ. අපේ මාස් ඕඩියන්ස් එක බලන ටෙලි නාට්‍ය රටාවෙන් මිදිලා පොඩ්ඩක් වෙනස් රටාවකට යන වැඩක් මේක. මම නම් දකින්නේ මේක ඉතාම හොඳ ප්‍රවණතාවක්. මොකද අපේ ගෙවල් ඇතුළේ දිනපතාම වෙන දේවල් අරුමයක් කර නොගෙන එය සාමාන්‍ය කාරණයක් බවට පත්වීම විය යුතුයි. එදිනෙදා වෙන දේවල් අසභ්‍ය වෙන්නේ කොහොමද. අපිට එය විවෘත මනසකින් දරන්න බැහැ. අපිට ඒක දරන්න ඒ සම්බන්ධව අධ්‍යාපනයක් නැහැ. අපි හැමදාම කළේ ඒ දේවල් හංගන එක. මම කියන්නේ නැහැ ඕක පාර දිගේ  කරන්න අවශ්‍යයි කියලා. නමුත් අපිට අධ්‍යාපනයක් තිබිය යුතුයි ඒ සම්බන්ධයෙන්. ප්‍රේක්ෂකයෝ හැමදාම ප්‍රශ්න කරනවා පවුලේ


නාළිකාවේ කොහොමද මේ දේවල් විකාශය වෙන්නේ කියලා. ඒක විකාශය වෙන්නේ? දහයට. ඒක දරුවොත් එක්ක බලන්න දුන්න එකක් නෙවෙයි. අපේ රටේ ඔළු හැදිලා නැහැ දරුවොත් එක්ක ඔය දේවල් බලන්න. අපේ රටේ මවුපියන්ගේ මනස ඔය වගේ දේවල් දරුවෝ සමඟ නැරඹීමට තරම් විවෘත නැහැ. හැබැයි මම කියන්නේ ඒක ඇති වෙන්න අවශ්‍යයි. ඒක මැජික් වෙන්න බැහැ. මේ ප්‍රවණතාව ගැන මට තිබෙන්නේ සතුටක්. නමුත් බලන්න බැරි මිනිස්සු අනේ බලන්න එපා. ඒ තැනට ඔළුව හදාගන්න පුළුවන් මිනිස්සු ඒක බලලා රසවිඳපු දෙන්.


වේදිකාවේ දක්ෂයෝ ටෙලි නිර්මාණ හෝ සිනමා සඳහා එක්වීමේ විශාල අඩුවක් තිබෙනවා ඒකට හේතුව මොකක්ද?


මම මෙතැනදී සමස්තය ගැන කතා කරන්න උත්සාහ දරන්නේ නැහැ. නමුත් මට හිතෙනවා ඒකට හේතුව ටෙලි නිර්මාණ ගත්තොත් හැදෙන බහුතරයක්   නිර්මාණ මාස් ඕඩියන්ස් එක ටාගට් කරපු වාණිජ නිර්මාණ. එතැනදී ඔවුන්ට අවශ්‍ය මාකට් කරන්න පුළුවන් මුහුණු. ජනප්‍රියම තත්ත්වයේ ඉන්න අය සම්බන්ධ කරගත්තම ඔවුන්ට මාකට් කරන්න පහසුයි. මම හිතන්නේ ඒකයි හේතුව. නිතර දෙවේලේ දකින්නට ලැබෙන නිර්මාණ බොහෝමයකදී ඇත්තටම රංගන හැකියාවට වැඩිය බාහිර රූපයට ලැබෙන තැන වැඩියි කියලා හිතෙනවා. අපේ රටේ මිනිස්සු ගොඩක් ප්‍රශ්නවල සිටින්නේ. ඔවුන්ට කලා නිර්මාණයකින් අවශ්‍ය සරල රසවින්දනයක් පමණයි. ඔවුන්ගේ මනස ඒ තැනට හැඩගස්වලා තිබෙන්නේ. මට හිතෙන විධියට වේදිකාවේ ඉන්න ශිල්පීන් ටෙලි නිර්මාණවලට හෝ සිනමාවට සම්බන්ධ වීමේ අඩුවට බලපාන හේතුව ඒක. ඒ වගේම සමහරු ඇත්තටම කැමැති නැහැ  ටෙලි නිර්මාණවලට දායක වෙන්න.


අපිට කැළුම් ගම්ලත් කියන දක්ෂ රංගන ශිල්පිනිය, හඬ කැවීම් ශිල්පිනිය ඉදිරියේදී නිතරම දකින්න ලැබෙයි නේද?


නැවතත් වැඩ කරන්න අවශ්‍යයි කියන තැන මම ඉන්නවා. මම උත්සාහ කරනවා කාලය හදාගෙන  හෝ නැවතත් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්න. මේ ආරම්භය නැවතත් නතර කරන්නේ නැහැ. ලොකුවට බිසී නොවුණත් මට ආසයි ආපහු වැඩ කරන්න. මිනිස්සුන්ට මතක හිටින චරිත කරන්න ආසයි. මට වටිනාකමක් ලැබුණේ වේදිකාවෙන්. ප්‍රේක්ෂකයෝ මාව අ¾දුර ගත්තේ, මට අත්පොළසන් දුන්නේ වේදිකාව නිසා. ඒ නිසා නැවතත් වැඩ කරන්න ආසාවෙන් ඉන්නේ.


මේ හැමදේම කළමනාකරණය කරගන්න උදවු වෙන සැමියාවත් මතක් කරමු?


ඔහු සුපුන් පීරිස්. ඔහු සංගීත ක්‍ෂේත්‍රයේ කටයුතු කරන්නේ. ඇත්තටම අපි දෙන්නා හමුවෙන්නේ විශ්වවිද්‍යාලයේදී. මට මොනයම් හෝ තිරපිටපතක් ලැබුණම මුලින්ම එයත් එක්ක තමයි කතා කරන්නේ. එයාගෙන් මට නිතරම ලැබෙන්නේ සුබවාදී ප්‍රතිචාර. ඔහු මම වෙනුවෙන් පෙනී ඉන්නවා. මාව ප්‍රශ්න කරන අයට ඔහු දිය යුතු පිළිතුරු ලබා දෙනවා. සැමියෙක් විධියට ලබාදිය හැකි උපරිම සහාය ඔහු මට දෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post