බැණුම් අහල හරි ප්‍රසිද්ධ වෙන්න පුළුවන්-ටෙක්ලා කුමුදු




ටෙක්ලා කුමුදු කුමාරි කියන්නේ නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයක්. නිවේදනයෙන් වගේම රංගනයෙන් ප්‍රේක්ෂකයින් අතරට ආ ටෙක්ලා පසුගිය කාලේ කිසිදු නිර්මාණයකින් දකින්න ලැබුණේ නැහැ. වෙලාවකට ඔබට හිතෙන්නත් ඇති දැන් ටෙක්ලා සියලු කලා කටයුතුවලින් ඈත් වෙලා දෝ කියලත්. කොහොම නමුත් දිගු නිහැඬියාවකට පස්සේ මේ වෙද්දී නම් ටෙක්ලා ආයෙමත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ සිකුරු ඇවිත් ටෙලිනාට්‍යය තුළින්. කාලෙකට පස්සේ තිරයට ආ ටෙක්ලා සමඟ කළ සොඳුරු කතාබහයි මේ.


ඇයි පසුගිය කාලයේ රංගනයෙන් ඈත් වෙලාද හිටියේ?


රංගනයට වඩා මම නිවේදන කටයුතු එක්ක හිටියේ. පසුගිය කාලය තුළ මාව හිර කරලා වගේ තිබුණේ. ඒ ගැන ලොකු දුකකින් හිටියේ. ඔය අතරේ තමයි මට සිකුරු ඇවිත් නාට්‍යයයි ලැබුණේ. දිගු කාලයකට පස්සේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණේ. මේ අවස්ථාව ගත්තේ මෙහි අධ්‍යක්ෂ තිලිණ බොරලැස්ස ජානක සිරිවර්ධන නිෂ්පාදකතුමාගේ ඇරයුම නිසා


ඔබව කවුද නිවේදනවලින් හිර කරලා තිබ්බේ?


ඒක ඇත්තටම වුණේ වෘත්තිමය පැත්තෙන්. මම කොරෝනා කාලේ මගේ වැඩසටහන කරලා කුරුණෑගල ගෙදර ගියා. මම එහෙ ඉන්නකොට මම වැඩ කරපු ආයතනයෙන් මට දුරකතන ඇමතුමක් ආවා එතෙක් කරපු වැඩසටහනින් දැනට නවත්තලා තියෙනවා. පසුව වෙන එකකට දානවා කියලා. ඒ නිසා මම බලාපොරොත්තු තියාගෙන හිටියා. මම කවදාවත් කිසි කෙනෙක් එක්ක තරහ වෙන කෙනෙක් නෙවෙයි. මාව දන්නා පිරිස දන්නවා මම කොයි වගේ කෙනෙක් ද සහ ඕනෙම වෙලාවක ඕනෙම දෙයකට ඉදිරිපත් වෙලා ඕනෙම කෙනෙක් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක් කියලා. මම එහෙම කෙනෙක් වෙලත් මට මේ වගේ දෙයක් වුණානේ කියන කලකිරීම මට තිබ්බේ. ඇත්තටම පිටුපස්සෙන් ගිහින් අනේ මට දෙන්න කියන්න තරම් තැනක මම හිටියේ නැහැ. මම දන්නවා හැකියාවක් තියෙන නිසානේ අවුරුදු 15ක් මම වැඩ කළේ කියන එක, පස්සේ හිතුණා අවශ්‍යතාවක් තියෙනවා නම් ආපහු කතා කරයිනේ කියලා.


ඒ නිවේදන පැත්තනේ, එතකොට ඇයි රංගනයට ආවේ නැත්තේ?


මට අඳුන්ගිර නාට්‍යයට කතා කළා ඉන්දික මහතා. ෂූටින් තිබුණේ තණමල්විල ප්‍රදේශයේ’. ඒ වෙද්දී මගේ ඇඟිල්ලක් කැපිලා හිටිය නිසා ඒකට යන්න බැරි වුණා. ඊට පස්සේ ලැබුණු ඇරයුම තමා සිකුරු ඇවිත්.


‘සිකුරු ඇවිත්‘ හි ටෙක්ලා ඉන්නේ ලොකු දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට, කොහොමද ඒ අත්දැකීම?


කොහොමත් දැන් අපි අම්මලානේ. මමත් සිකුරු ඇවිත් හි අම්මා කෙනෙකුගෙ චරිතය කරන්නේ. බොහොම සතුටින් ඉන්න ෆැමිලි එකක්. ලොකු ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ එක්කම මේ පවුලේ අය කරන්නේ සැලෝන් එකක්. මගේ ජොබ් එකත් සැලෝන් එකක් නිසා ලොකුවට මාව වෙනස් කරන්න ඕනේ වුණේ නැහැ. කතාව ගැන කිව්වම ආස හිතුණා. තිලිණ අයියා එක්ක මම කාලෙකට කලින් නාට්‍යයක් කරන්න ගියා. නමුත් ඒක අපිට අතහැරුණා. මේ නාට්‍යය පටන් ගන්නකොට කතා කළාම මම හරි ආසාවෙන් කැමති වුණා.


නැවත නිවේදනයට ආරාධනා ලැබුණොත් භාර ගන්නවද?


ඔව් අනිවාර්යෙන්ම, දැන් මට බලාපොරොත්තුවක් ආයේ තියෙනවා. මම අන්තිමට සේවය කළ ස්වරණවාහිනී ආයතනයේ මැනේජ්මන්ට් එක වෙනස් වෙලා තියෙනවා. මාධ්‍යය ජිවිතේ ඇතුළේ ඉන්න අපි කුහක වෙන්න හොඳ නැහැ. කෙනෙකුගෙන් කෙනෙක්ට තියෙන හැකියාව වෙනස්. එතකොට අරයට මේ හැකියාව තියෙනවා කියලා නවත්තන තැනේ ඉන්නේ නැතුව ඒ මනුස්සයට තියෙන හැකියාවන් එක්ක වැඩ කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ජොබ් එකයි මාධ්‍යය ජීවිතෙයි පටලවා ගත්ත කෙනෙක් නිසයි මම අවුරුදු 15ක් ආසාවෙන් කරපු රස්සාව නැති වුණේ. ඊට පස්සේ මට අවුරුදු වැඩසටහන කරන්න අවස්ථාව ලැබුණා. දැන් බලන් ඉන්නවා නැවත වතාවක් ලැබෙන ඇරයුමකට සම්බන්ධ වෙන්න.


ටෙලිනාට්‍යයවලට තවත් ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද? නැත්නම් කාලෙකට එක නිර්මාණයක් විතරයිද?


මම හරිම කැමැත්තෙන් මේ නාට්‍යයට සම්බන්ධ වුණේ ලස්සන කතාවක් නිසා. මට මගේ කාලය යොදවන්න තියෙන පහසුව පැත්තෙනුත් වැඩ කරන්න පහසුයි. මටත් දුවෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු 7යි. එයාගේ නම නිකිනි ගෞරවනි අල්විස් ජයසිංහ. මට අම්මා විදියට ලොකු වගකීමක් තියෙනවා දුව බලා ගන්න. එහෙම නැතුව මම වැඩ කළොත් පසු කාලෙක මගේ පැත්තට ඇඟිල්ල දික්වෙයි දුවෙක් හදපු අම්මා කෙනෙක් දුවව මග හැරලා එයා එයාගේ වැඩ කර ගත්තා කියලා. ඒ නිසා මගේ ජීවිතේ මුල් තැන දෙන්නේ මගේ දුවට. මගේ හස්බන්ඩ් රෝහණ ජයසිංහ. ඔහු ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඔහු වෘත්තියෙන් සවුන්ඩ් ඉංජිනියර් කෙනෙක්. මම මගේ පවුලට ආදරේ කරන කෙනෙක්. ඒ හින්දා මම මගේ පවුල රැක ගන්න ගමන් කලාව කරන කෙනෙක්.


අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති?


ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට. ගොසිප්වලවත් මට මඩක් ගහනවා මම දැකලා නැහැ. මම කරන රංගනයන් හෝ නිවේදන කටයුතුවල පුංචි හරි අඩුවක් දකින්නේ ප්‍රේක්ෂකයින්. ඒ නිසා ප්‍රේක්ෂකයින් කියන දේවල් මම බොහොම කැමත්තෙන් පිළිගන්නවා. බැණුම් අහලා හරි ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් කාලයක් යනකම් හිත ඇතුළේ තියන් ඉන්න රංගන ශිල්පිනියක් හෝ නිවේදිකාවක් වෙන්න හැමෝටම බැහැ.‍ මාධ්‍යය ජිවිතේ ඇතුළේ ජිවත් වෙන අපිට ප්‍රේක්ෂකයින් කියන කෙනා හරිම වටිනා කෙනෙක්.




Previous Post Next Post