ඉස්සරහට යනව කියන්නෙ කතා අහන්නම වෙනවා-සජී මොහොට්ටි




සජී මොහොට්ටිගේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ සුන්දර නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්. නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් රංගනය තුළිනුත් ප්‍රේක්ෂකයින් අතරට ආ සජී පසුගිය දිනවල අපිට දකින්න ලැබුණේ ‘හීනයකි මේ ආදරේ’ සහ “1990” Love Born In The Heart ටෙලි නිර්මාණ තුළින්.  මේ කතා බහ සජීගේ කලා ජීවිතේ අලුත්ම තොරතුරු ගැන.


කොහොමද ජීවිතේ, කාර්යබහුල කාලයක් ද ගත වෙන්නේ?


ඇත්තෙන්ම ඔව්. අවුරුද්දක අවසන් කාලය කියන්නේ හැම දෙනාම කාර්යබහුලයි. නත්තල් මාසේ ටීවී රේඩියෝ වැඩත් එක්කත් කාර්යබහුලයි. මම කාර්යබහුල වෙලා ඉන්න කැමති කෙනෙක්. එතකොට තමයි වැඩ කරනවා කියලා දැනෙන්නේ. කොහොමත් මම සතුටින් වැඩ කරන් ඉන්නවා.


සජී මුලින්ම නිවේදිකාවක්, දැන් නම් නිළියක් විදිහටත් ජනප්‍රිය වෙලා, කොහොමද මේ ගමන පටන් ගන්නේ, කෙටියෙන් කිවුවොත්?


මගේ වෘත්තිය නිවේදනය. ඒ නිසා අදටත් මම නිවේදිකාවක්. රඟපාන්න ආසාවක් තිබ්බා. ඒ නිසා නිර්මාණ දෙකකට රංගනයෙන් දායක වුණා. ඒ අත්දැකීමත් මම ලබා ගත්තා. ඒ නාට්‍ය දෙකම මේ වෙද්දී විකාශය වෙලා අවසන්. දැන් ආයෙමත් සුපුරුදු විදිහට නිවේදන කටයුතුවලට මුල් තැන දීලා වැඩ ටික කරන් ඉන්නවා. මේ ගමන පටන් ගත්තේ පාසල් කාලේදී. මාධ්‍ය තමයි මම ආසම දේ. කොහොම හරි ආසම දේ කරන්න මට අවස්ථාව ලැබුණා.


වැඩියෙන්ම කැමති නිවේදනයටද?


ඔව්. නිවේදනය තමයි හැමදාම මගේ ජීවිතේ අංක එක. රංගනය මම ආසාවට කළා පමණයි.


රංගනය තුළින් වැඩියෙන්ම ප්‍රේක්ෂක ආදරේ ලැබුණු චරිතය මොකක්ද?


මේ වෙද්දී ටෙලි නාට්‍ය දෙකයි කළේ. ඒ දෙකේම චරිත දෙකටම එක වගේ ප්‍රතිචාර ලැබුණා.


දිගටම රඟපාන්න කැමැත්තක් නැද්ද?


නැහැ. රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ හැර ටෙලි නාට්‍ය කරන්න නම් ආයේ කිසිම අදහසක් නැහැ. ඒ අත්දැකීම ගන්න ආසාවට නාට්‍ය දෙකක රඟපෑවා. ඒ හොඳටම ඇති කියලා හිතෙනවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


මියුසික් වීඩියෝ දෙකක් එන්න තියෙනවා. රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීම් පහක් විතර එන්න තියෙනවා.


සජී හරි ලස්සනට අඳින කෙනෙක්, කොහොමද විලාසිතවලට තියෙන කැමත්ත?


මම හරි ආසයි ෆැෂන් කරන්න. අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. හැබැයි තව කෙනෙක් කරනවා කියලා මමත් කරන්න ආස නැහැ. මම ආසයි මට ගැළපෙන සරල විලාසිතාවලට.


ටැටූ එහෙම කරලද ඉන්නේ?


නැහැ. එකක්වත් කරලා නැහැ. මම ටැටූවලට ආසයි. අනිත් අය කරනවටත් ආසයි. මගේ ඇඟේ ටැටූ ගහගන්න කැමැති නැහැ. එකක් මම බයයි. අනිත් එක මගේ ඇඟේ එක එක පැචස් තියෙනවට ආස නැහැ.


ක්ෂේත්‍රයේ ඉන්නකොට කටකතා ගොසිප් එහෙම හැදෙනවනේ, ඒ ගැන මොකද හිතන්නේ?


ජනප්‍රිය වෙනවා කියන්නේ, ඉස්සරහට යනවා කියන්නේ ඕනෙම කෙනෙක්ට හොඳ වුණත් නරක වුණත් කතා ගොඩක් අහන්න වෙනවා කියන එක. අපි මොන විදිහට හිටියත් මිනිස්සු කතා කියනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ. කතා හදන අය කතා හදයි. අපි අපේ වැඩ කරන් යද්දී ඔය හදන කතා අහන්න වෙලාවකුත් නැහැ. ඒ තරමට කාර්යබහුල වෙලා වැඩ කරාම අපේ ගමන අපිටම හදා ගන්න පුළුවන්. ඔය කතා හදන කිසි කෙනෙක් අපේ වැඩ කරලා දෙන්නේ නැහැ. අපි මහන්සි වුණොත් ඉස්සරහට යයි. කතා හදන අය එන එන අයට කතා හද හදා හැමදාම එක තැන ඉඳියි.


සජී බැලු බැල්මට කටකාර දඟකාර චරිතයක්, ඇත්තටම සජී මොන වගේ ද?


කටකාර දඟකාර චරිතයක් තමයි. හැබැයි අහිංසක සරල කෙනෙක්. පාඩුවේ නිදහසේ තනියම තමන්ගේ දේවල් කරගෙන ඉන්න ආස කෙනෙක්. ඒ වගේම බොහොම ආදරණීය කෙනෙක්.


කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය


ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තාත්තාගෙන් වගේම අක්කාගෙන්. අක්කා තමයි මගේ හොඳම මිතුරිය. එයා තමයි මගේ ළඟින් හැමදාම ඉඳන් මට හැමදේම කියලා දෙන්නේ. එයා මට මගේ දෙවැනි අම්මා වගේ. මල්ලි නම් කාර්යබහුල නිසා එයාව අල්ලගන්න හරිම අමාරුයි. තාත්තා නම් බොහොම නිහඬ චරිතයක්. අම්මයි අක්කයි තමයි මගේ වැඩවලට ලොකු සහයෝගයක් දෙන්නේ.


ආදරේ අත්දැකීම් ඇති


ඕනේ තරම් අත්දැකීම් තියෙනවා. හොඳ සතුටුදායක අත්දැකීම් වගේම නරක අත්දැකීම් දුක හිතෙන අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ ඒ හැම අත්දැකීමක් ම ලැබුණු එක හොඳයි කියලා. ඒ දේවල්වලින් තමයි මිනිස්සු හඳුනා ගන්න සහ ජිවිතේ ඉස්සරහට උදවු වෙන්නේ. ඒ නිසා අපිට සමහර අයව ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ලැබුණු හැම අත්දැකීමකටම ස්තුතිවන්ත වෙනවා.


අනුෂා රණසිංහ




Previous Post Next Post