මට වයලීන් වාදනය ඉගැන්නුවේ පුංචි ගෑනු ළමයෙක්-දිනේෂ් සුබසිංහ




වයලීන වාදනයක් ඇසෙද්දී දෑස් නිතැතින් රූප තිරය වෙත ඇදගන්නට මෑත කාලයේ තරුණ වයලීන වාදන ශිල්පීන් දෙදෙනෙක් සහ ශිල්පිණියක් සමත් වුණා. ඒ අතරින් පළමුවැන්නා රුවන් වීරසේකරයි. ඔහු ඉතා වේගයෙන් ජනප්‍රිය වෙලා අසනීප තත්ත්වයකින් පසු සදහට ම දෙනෙත් පියා ගත්තා. තුෂාණි ජයවර්ධනගේ වයලීන වාදන විලාසය අතිශය ආකර්ෂණීය යි. අපි අද මේ කතා බහ කරන්නේ වයලීන වාදනයේ ප්‍රාසාංගික බව සේම නිපුණත්වයෙන් හා ජනප්‍රියත්වයෙන් ද පෙරමුණට පැමිණ සිටින දිනේෂ් සුබසිංහ සමඟයි.


කෙටි කාලයකින් මෙතරම් ඉහළට පැමිණීමේ රහසක් තියෙනවාද…?


මම උසස් පෙළ හදාරන කාලේ ගුවන්විදුලි සංස්ථාවේ වයලීන වාද්‍ය ශිල්පි අශෝක ජයවර්ධනයන් ළඟට වයලීන වාදනය ඉගෙන ගන්න ගියා. එතුමාට හදිසියේ පන්ති වෙලාවෙදි එළියට යන්න සිද්ධ වුණාම පුංචි ගෑනු ළමයෙක් මට වයලීන වාදනය ඉගැන්නුවා. ඇය අද අතිශය ජනප්‍රිය වයලීන වාද්‍ය ශිල්පිනියක් වන අශෝක ජයවර්ධනයන්ගේ දියණිය වන තුෂාණි ජයවර්ධන යි. ඇය පුංචි කාලේ ඉඳලා ම වයලීන වාදනයට දක්ෂතා දැක්වූවා. ඇය ඉගැන්වීමට දක්ෂ වුණා වගේ ම ඇය පුංචි ළමයෙක්නේ කියලා මම ඇයගෙන් වාදනය ඉගෙනීම ප්‍රතික්ෂේප නොකර හොඳින් ඉගෙන ගත්තා. තව අවස්ථාවක ඉන්දියාවේ පදික වේදිකාවක ඉතා සරලව නිර්මාණය කර ‘රාවණ හත්ත’ යැයි කියමින් අලෙවි කළ වාදන භාණ්ඩයක් අරගෙන ඒ පදික වේදිකාවේම වාඩිවෙලා පදික ‍වෙළෙන්දාගෙන්ම ඒක වයන හැටි මම ඉගෙන ගත්තා. ලංකාවට ඇවිත් ඒ වාද්‍ය භාණ්ඩය වැඩිදියුණු කළා. මට යමක් ඉගෙන ගන්න අවශ්‍ය නම් කාගෙන් වුණත් මම ඒ දේ ඉතා හොඳින් ඉගෙන ගත්තා. කැපවීමෙන් පුහුණුවීම් කරනවා. දියුණුවේ රහස ඒකෙයි.


මේ දිනවල කාර්යබහුල ඇයි…?


ප්‍රසංග ගොඩාක් තියෙනවා. ඒ වගේ ම ‘රිදී රැයක්’ වැඩසටහන් ගීතයේ තනුව නිර්මාණය කළා. නිලාර් එන්. කාසිම් ඒ ගීතය රචනා කළා. උමාරියා සිංහවංස, ‍ෆැලන් ඇන්ඩ්රිකයා ගීතය ගායනා කළා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ සංගීත නිර්මාණය, එහි ගීත සඳහා තනු නිර්මාණ වගේම අහඹු ලෙස ඒ චිත්‍රපටයේ රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා. එතුමාගේ නිර්මාණයක රඟපාන්න ලැබෙනවා කියන්නේ මට ලොකු අවස්ථාවක් සහ අත්දැකීමක් වුණා. මං ගොඩාක් ආසාවෙන් හා උනන්දුවෙන් ඒ කාර්යයන් ඉටු කළා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ මුල් නිර්මාණවලටත් මම යම් ආකාරයකට දායක වුණා. මම කේමදාස මාස්ටර්ගේ ශිෂ්‍යයෙක් හැටියට ඉන්න කාලේ අග්නි දාහය, ගරිල්ලා මාර්කටින්, සතර දෙනෙක් සෙන්පතියෝ කියන නිර්මාණවලට සංගීත වාදනයෙන් දායක වුණා. මේ අවස්ථා‍වේදී මා කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති ව දේවි කුසුමාසන චිත්‍රපටයේ සංගීත නිර්මාණය, සියලු ගීතවල තනු නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය මා වෙත පැවරීම ඇත්තට ම මට විශාල සතුටක් සහ ඒක මට ලොකු අවස්ථාවක් වුණා. ඊට අමතර ව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා ලංකාවේ බාලදක්ෂවරුන් ගැන චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ සඳහාත් සංගීත නිර්මාණය මම සිදු කළා. ප්‍රසාද් සමරතුංගගේ ‘තාත්තා’ චිත්‍රපටයේ සංගීත අධක්ෂණය කළා.


ජනවාරියේ නෙළුම් කුලුන යට පවත්වන්න හදන කළු සිකුරාදාව මොකක්ද…?


ජනවාරි 28 වැනිදා සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, ටී. එම්. ජයරත්න, නිරෝෂා විරාජිනි, චන්දන ලියනආරච්චි, දයාන් විතාරණ සහ මම එක් ව එළිමහන් ප්‍රසංගයක් පැවැත්වෙනවා. ඒක ‘BLACK FRIDAY’ කියලා නම් කරලා තියෙනවා. දශක ගාණකට පසුව රසවින්දනීය එළිමහන් සංගීත ප්‍රසංගයක් ආසන මත වාඩිවෙලා සංයමයකින් යුතුව නැවත අපේ ආදරණීය රසික පිරිසට අත්විඳින්න මේ නිසා ලැබෙනවා. ඒ වගේම මගේ වයලීන ප්‍රසාංග සහ සංගීත අධ්‍යක්ෂණයෙන් යුතුව සේනානායක වේරලියද්ද, නුවන්දිකා සේනාරත්න, රවීන් කණිෂ්ක තවත් ප්‍රසංගයක් ජනවාරි 26 වැනිදා බිෂොප්ස් ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා. ඊට අමතරව රූපවාහිනී නාළිකාවල සංගීත වැඩසටහන් බො‍හෝමයකට දායක වෙනවා. මගේ සංගීත අධ්‍යක්ෂණයේදී මම හැම විට ම සැලකිලිමත් වෙන්නේ රසවිඳින්නන්ව ආනන්දය, විනෝදය, නැටුම, ගැයුමෙන් අවසන් නොවී අවසානයේ සමාධිය, ප්‍රඥාව වෙත රැගෙන යාම යි.


කලා ක්ෂේත්‍රය ඔබට ආගන්තුක ද…?


නැහැ. මගේ ඥාති පරපුරක් විවිධ කලා අංශවලට නෑකම් කියනවා. මගේ සීයා එස්. ඩී. පී. අප්පුහාමි ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයට මුදල් යොදමින් නිෂ්පාදනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ භාණ්ඩාගාරික හැටියටත් කටයුතු කර තිබෙනවා. සීයාගේ අක්කා එඩී. ජයමාන්න‍ගේ අයියා ග්‍රේස් ජයමාන්න සමඟ විවාහ වුණා. සත්සමුදුර චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මුලින්ම ආරාධනා ලැබී තිබුණේ මගේ අම්මටයි. නමුත් ඇයගේ පියා විරුද්ධ වූ නිසා අම්මාට ඒ අවස්ථාවට යන්න ලැබිලා නැහැ. මගේ තාත්තා 70 දශකයේ සංගීතඥයෙක් වගේම නාවික හමුදා වාදක මණ්ඩලයේ හිටපු වාද්‍ය ශිල්පියෙක්. තාත්තාගේ අක්කාගේ පුතාලා දෙන්නා ජයශ්‍රී රෝහිත රොහාන්. අම්මාගේ ළඟම ඥාතියෙක් සමඟ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ අක්කා විවාහ වෙනවා. මේ ඥාති සම්භා‍රයේ ඇසුර පුංචි කාලේ සිට මට ලැබුණා.


ඔබගේ විවාහ ජීවිතය සමබර ව පවත්වාගෙන යාමට ඇය සහකාරියක් ද…?


ඒක මෙහෙමයි. දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්ම තමයි. දෙදෙනාම ඒ ජීවිතයට ගරු කරමින් බොහොම රසවත්ව ගත කරනවා. මගේ පැත්තෙන් ගත්තොත් නම් සංගීත වැඩ කටයුතු නිසා පවුලක් වෙනුවෙන් කෙරෙන්න ඕනේ යුතුකම් බොහෝ වෙලාවට මට මඟ හැරෙනවා. මගේ බිරිඳගේ මව පසුගිය දවසක මිය ගියා. ඒ අවස්ථාවේ වුණත් කලින් භාර ගත්ත වැඩ නිසා මට ඒවාට යන්න සිද්ධ වුණා. ඇය ඒ දේවල් අවබෝධයෙන් දරා ගන්නවා. ඒක මට ලොකු ශක්තියක්. අනිත් අයගේ සතුට, රසවින්දනය හදන්න ඉන්න අපට දුකක් වේදනාවක් ඇති වුණොත් අනිත් අයගේ සතුට කැප කරලා එහෙම නැත්නම් අනිත් අයගේ සතුට ප්‍රමාද කරලා අපි ගැන හිතන්න බැහැ. මම බොහෝ සේ අගයන දේ වන්නේ ඇය මගේ අම්මා තාත්තාත්, ඇයගේ අම්මා තාත්තාත් කිසි අඩුවක් නැතුව බලා ගන්නවා. මට ඒ ගැන හිතන්නම දෙයක් නෑ. ඒ අතින් මම හරි වාසනාවන්තයි.


ඒක පුද්ගල වයලීන වාදන ප්‍රසංගයක් කරන්න දැන් කාලය හරි නේද…?


ඒ සඳහා මම තව වසරක පමණ කාලයක් ගන්නවා. නමුත් මම දැනටමත් විවිධ කණ්ඩායම්වල ප්‍රසංගවල සංගීතය, වාදනය ලබා දෙමින් අනාගත මහා කාර්යයේ මූලික පියවර තබමින් සිටිනවා. මේ සියලු දේ මට පෙරහුරුවක් ම වෙනවා. ඒ වගේ ම එවැනි දැවැන්ත කාර්යයක් සඳහා නිෂ්පාදකවරයෙක් මම මුලින්ම තෝරාගත යුතුයි. තව බොහෝ දේ තියෙනවා. මට තව ටික කාලයක් ඉඩ දෙන්න.


ඔබ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කරගෙන යනවා නේද…?


ඔව්. එයාලාගේ ධනාත්මක සිතුවිලි ප්‍රවර්ධනය වගේම ආතතිය සමනය කරවීමේ වැඩසටහන්වලට මම දායක වෙනවා. මේ වෙලාවේ ඔවුන්ව හැකි තරම් දිරිමත් කළ යුතු ම වෙනවා. මේ වැඩසටහන් මඟින් පුද්ගලයා තුළ ඇති අවංක බව, කරුණාව හා ආධ්‍යාත්මය ගොඩනංවනවා. ඔවුන්ට මානසික ප්‍රබෝධය ඇති කරවීමට දායක වෙනවා. ඒක මම ගොඩාක් සතුටින් කරනවා. ව්‍යාපාරික ප්‍රජාව වගේම වෘත්තිකයින් වෙනුවෙනුත් මේ වැඩසටහන් මම කරගෙන යනවා.


 තුෂාරී කළුබෝවිල









Previous Post Next Post