මම ලස්සනට රඟපානවා කියලා හැමෝම කියනවා-ශානුක අභිලාෂ්

 


කුඩා කල පටන්ම රංගනයට මෙන්ම නර්තනයටත් දස්කම් පාන මේ පොඩිත්තා නමින් ශානුක අභිලාෂ්. මේ වන විට වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායකව ඇති අතර ටෙලි ෆිල්ම් සහ මියුසික් වීඩියෝවල නිතර දකින්නට ලැබෙන මේ පුංචි පොඩිත්තා  අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


 ඉතින් අභිලාෂ් මේ දවස්වල ඔයාගේ තොරතුරු මොනවාද?


ඉදිරියේදී විකාශය වන්නට නියමිත ටෙලි ෆිල්ම් එකක වැඩකටයුතු කරගෙන යනවා. මේ දිනවල වෙළෙඳ දැන්වීම්වල නම් රඟපාන්නේ නැහැ. ඉතිං රංගන කටයුතුත්, අධ්‍යාපන කටයුතුත් කරගෙන හොඳින් ඉන්නවා.


ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ?


මම ශානුක අභිලාෂ්. මම දැන් පාසල් යන්නේ මාලබේ සසෙක්ස් කොලේජ් එකට. මම මුලින්ම පාසල් ගියේ ඔරුවල විද්‍යාලයට. මගේ ගෙදර අම්මාත්, තාත්තාත්, අක්කාත්, මමත් ජීවත් වෙනවා. මගේ ගම කොරතොට.


පුතා මුලින්ම රංගනයට එන්නේ වෙළෙඳ දැන්වීම්වලින්ද?


නැහැ. මම මුලින්ම රඟපාන්න එන්නේ තිළිණ බොරලැස්ස මාමගේ ‘ශක්ති’ නාට්‍යයෙන්. ඊට පස්සේ ටෙලි ෆිල්ම් නවයකට පමණ සහභාගි වුණා. මේ වන විට කමර්ෂල් දහසයක් වගේම මියුසික් වීඩියෝ එකක් කරලා තියෙනවා.


ළමා නළුවෙක් ලෙස ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාසලේ ගුරුවරුන්, මගේ මිතුරන්ගෙන් වගේම ප්‍රේක්ෂකයන්ගෙනුත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලබෙනවා. මම රඟපානවා ලස්සනයි කියලා එයාල මට කියනවා.


ඉගෙනීම සහ රංගනය සමබරව කරගෙන යන්නේ කොහොමද?


ඇත්තටම ටිකක් අපහසුයි. ඒත් මගේ අධ්‍යාපන කටයුතුවලට යහළුවෝ වගේම ගුරුවරුත් මට ගොඩක් උදවු කරනවා. මගේ අම්මාත් මගේ රංගන කටයුතුවලට වගේම අධ්‍යාපන කටයුතුවලට ගොඩක් මහන්සි වෙනවා. ඒ හැමෝගෙම උදවු උපකාරත් එක්ක ඉගෙනීම සහ රංගනය සමබරව කරගෙන යනවා.


පාසල් ගුරුවරුන්, මිතුරු මිතුරියන් ඔබේ රංගන කටයුතුවලට උදවු කරනවාද?


මගේ යහළුවන් මට අතපසු වෙන පාඩම් කොටස්වල නෝට්ස් එවනවා. අමාරු පාඩම් කියලා දෙනවා. මගේ ගුරුවරුත් පාඩම් වැඩ සහ රංගන කටයුතු සමබරව කරගෙන යන්න ලොකු උදව්වක් ලබා දෙනවා. දහම් පාසලේ විවිධ උත්සවවලදී මටත් රඟපාන්න අවස්ථාවක් දීලා ඒ අයත් මගේ හැකියාවන් අගය කරනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ වටේ මගේ හයියට ඒ වගේ පිරිසක් ඉන්න එක ගැන.


රංගන කටයුතුවලට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?


මගේ ගෙදර අය හැමෝම මට රඟපාන්න ගොඩක් උදවු කරනවා. අම්ම තමයි මාව හැමදාව ෂූටින් එක්කගෙන යන්නේ. තාත්තගේ වැඩකටයුතුත් එක්ක  මාව ෂූටින් එක්ක යන්න වෙලාවක් නැහැ. නමුත් තාත්තාත් මං ගැන නිතරම හොයල බලල අවශ්‍ය දේවල් ගෙනත් දීලා මට රඟපාන්න ගොඩක් උදවු කරනවා. මගේ අක්කත් රඟපාන නිසා නිතරම මට පණ්ඩිතයා වගේ උපදෙස් දෙනවා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


අලුත් නිර්මාණවලට නම් ආරාධනා ලැබුණේ නැහැ. ඉදිරියේදී එන්න තියෙන අලුත් නිර්මාණයක ෂූටින්වලට මම මේ දිනවල සහභාගි වෙනවා.


රංගනයෙන් දායක වූ නිර්මාණ ගැන කතා කළොත්?


ළමා නළුවෙක් ලෙස මම නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලි ෆිල්ම් වගේම වෙළෙඳ දැන්වීම් රැසක්ද ඒ අතර වනවා. ඒ වගේම මියුසික් වීඩියෝ එකකටද මම රංගනයෙන් දායක් වුණා. ඉගෙන ගන්න ගමන්  රඟපාන නිසා බොහෝ අවස්ථා මට මඟහැරුණත් ලැබුණ අවස්ථා පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා.


කුඩා කාලයේදීම රංගනයට එන්න කැමැත්තක් ඇතිවුණේ කොහොමද?


අක්කයි, මමයි සහන් රංවල සර්ගෙ පන්ති ගියා. එතැනදී මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ අක්කට. ඉතිං අක්ක රඟපානව දැකල මටත් රඟපාන්න ආස හිතුණා.


පුතා සිනමා නිර්මාණවල රඟපාන්න කැමැත්තක් නැද්ද?


මම ගොඩක් කැමතියි සිනමා නිර්මාණයක රඟපාන්න. තවමනම් එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් අවස්ථාවක් ලැබුණොත් සිනමාවේත් රඟපානවා.


රංගනයට අමතර පුතා වැඩිපුර කැමති මොනවටද?


මම මල් පැළ, ගස් වැල් එක්ක ඉන්න ගොඩක් කැමතියි. ඒ වගේම මම සතුන්ට ගොඩාක් ආදරෙයි. පරිසරයේ සුන්දරත්වය පුළුවන් හැම වෙලාවකම විඳින්න මම කැමතියි. ඒක මගේ විනෝදාංශය. ඒ වගේම මම බයිසිකල් පදින්නත් කැමතියි.


පුතා රංගන ක්‍ෂේත්‍රයේ මෙතෙක් ආපු ගමනේදී උදවු කළ අය පිළිබඳව මතක් කළොත්?


මට මෙතනට එන්න උදවු කළේ මගේ අම්මා, තාත්තා, අක්කා. ඒ වගේම මගේ පළමු වැනි නාට්‍ය වන ‘ශක්ති’ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලබා දුන් මහේෂ් අංකල්ටත්, තිළිණ බොරලැස්ස අංකල්ටත් බොහොම ස්තුතියි.


පුතාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?


මගේ එකම බලපොරොත්තුව හොඳට ඉගෙනගෙන හමුදාවේ ලොකු නිලධාරියෙක් වෙන්න.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post