අද ඇවිත් හෙට නැතිවෙන නිළියක් වෙන්න මට ඕන නෑ-ආක්ෂා ප්‍රනාන්දු




ඇය කලාවට පිවිසෙන්නේ රංගනයට ඇති දැඩි ඇල්ම හේතුවෙනුයි. සුළු චරිත කිහිපයකට පසුව අවසානයේ තම අනන්‍යතාව ගොඩනඟා ගත හැකි චරිතයක් රඟ දැක්වීමට අවස්ථාව ලබා ගන්නට සමත් වූ ඇයව මේ දිනවල බොහෝ දෙනා හඳුනා ගන්නේ “මේක තමයි ජීවිතය” ටෙලි වෘතාන්තයේ ශලනි චරිතය හරහාය. නමින් ආක්ෂා ප්‍රනාන්දු වූ මේ රූමතිය මෙවර හදගැස්ම සමඟ කළ කතාබහයි මේ. ඉතින් ආක්ෂා මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල “මේක තමයි ජීවිතේ” නාට්‍යයේ රූගත කිරීම් සිදු වෙනවා. වෙන නාට්‍ය මොකුත් මේ දිනවල විකාශය වෙන්නේ නැහැ. අලුතෙන් වැඩ කිහිපයකට  ආරාධනා ලැබිලා තිබෙන්නේ. ඉදිරියේදී  ඒවාට සම්බන්ධ වෙනවා.


“ශලනි” මේ දිනවල සමාජ මාධ්‍යයන් ඇතුළේ හරි ජනප්‍රියයි?


ඔව්… ඇත්තටම මේක තමයි ජීවිතේ නාට්‍යයේ ශලනි චරිතයට බොහොම ප්‍රතිචාර ලැබෙනවා. ඇතැම් අය කතා කරලා පවා කියනවා ඒ චරිතය තුළින් ඔවුන් ඔවුන්ගේ කතාව දුටුවා කියන දේ. ඒකේ මගේ චරිතය වෙන්නේ  රස්සාවක් කරලා තමන්ගේ ජීවිතේ ගොඩනඟා ගන්නා  අරමුණෙන් ගමේ ඉඳලා කොළඹ එන පෙම්වතුන් යුවළකගේ පෙම්වතිය. ඉතින් අපේ රටවල එවැනි චරිත බොහොම සුලබ නිසා ගොඩාක් දෙනා මේ චරිතය සමඟ එකතු වෙලා ඉන්නවා.


රංගනයට අඩිතාලම වැටුණු ආකාරය ගැන කතා කරමු?


දෙදහස් විස්ස වර්ෂයේදී මම පෞද්ගලික රූපවාහිනි නාළිකාවක අවුරුදු කුමාරි තරගයේ අවසන් ‍ෙදාළොස් දෙනාට තේරී පත් වෙනවා. ඔය කාලයේදී මම කලාවේ ඉන්න නළු නිළියන්ව දකිනවා. එතැනදි මම හිතනවා මටත් හැකියාවන් තිබෙන නිසා ඒ අංශයෙන් ඉදිරියට ගියොත් හොඳයි කියන දේ. ආසාව තිබුණට අත්දැකීමක් ගන්න අවස්ථාවක් නැති නිසා මම මුලින්ම තුෂාර තෙන්නකෝන් මහත්මයා අධ්‍යක්ෂණය කළ රාවණා නාට්‍යයේ සුළු චරිතයකට දායක වුණා. ඒ වගේම මිහි, දිව්‍යාදරි, පාරදිගේ වගේ නාට්‍යවලත් සුළු චරිතවලට දායක වුණා. ඒ විධියට තමයි මගේ රංගන ගමන ආරම්භ වුණේ.


නවක, තරුණ රංගන ශිල්පිනියක් විධියට ක්ෂේත්‍රය ඇතුළේ ඔබ මුහුණ දුන් අභියෝග ගැනත් මතක් කරමු?


ඇත්තටම අභියෝග ගොඩක් තිබුණා. ලොකුම අභියෝගය තමයි මගේ ගම කල්පිටිය. කල්පිටියේ ඉඳලා කොළඹට ලොකු දුරක් තිබෙනවා. ඉතින් මට මේ කලාවට එන්න තිබුණු ලොකුම අභියෝගය තමයි ඒක. මුල්ම දවස්වල මට නතර වෙන්න තැනක් නැති නිසා වැඩවලට ඇවිත් ආපහු යනවා. පස්සේ කාලෙක වැඩ ඉවර වෙද්දි රෑ වෙන වෙලාවට යාළුවන්ගේ තැන්වලත් නතර වුණා. දැන් වෙද්දි මගෙම තැනක් අරගෙන ඉන්නේ. ඒ වගේම මං වගේ නවක නිළියක්ට ප්‍රවීණ ශිල්පීන් සමඟ වැඩ කරන්න සිදුවීමත් ලොකු අභියෝගයක් වුණා. නමුත් මම ඒ දේවල්වලින් සැලුණේ නැහැ. මට අවශ්‍ය වුණේ අද ඇවිත් හෙට නැතිවෙන නිළියක් වෙන්න නොවෙයි. හිමින් වුණත් ස්ථිර ගමනක් යන්නයි මට අවශ්‍ය වුණේ.


රංගනය සම්බන්ධයෙන් ඔබේ හැදෑරීම් ගැනත් කතා  කරමු?


ඇත්තටම මම රංගනය සම්බන්ධයෙන් එහෙම විශේෂ හැදෑරීමක් කරලා නැහැ. ආයතනයකට ගිහින් ඉගෙන ගන්න අදහසක් නැහැ. නමුත් මම මට වඩා ප්‍රවීණයන්ගෙන්  මම නොදන්න දේවල් සම්බන්ධයෙන් අහලා දැනගෙන දැනුම එකතු කරගන්නවා. ෂූටින් වෙලාවෙදි වුණත් ප්‍රවීණයන්ගේ රංගනය දිහා බලාගෙන ඉඳලා මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා.


මේක තමයි ජීවිතේ  කණ්ඩායම සමඟ වැඩ කිරීම මොන වගේ අත්දැකීමක්ද?


ඇත්තටම එයට සම්බන්ධ වෙලා සිටින ප්‍රවීණ ශිල්පීන් කොයිම මොහොතකවත් අපි නවකයෝ කියලා පැත්තකට දාලා නැහැ. ඔවුන් අපිට බොහෝ දේවල් කියලා දෙනවා. අපේ රංගනය සම්බන්ධයෙන් වැදගත් දේවල් කියලා දෙනවා. ඒ හරහා විශාල අභිප්‍රේරණයක් ලැබෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි අධ්‍යක්ෂ ලක්මිණී අමරදේව මහත්මයාව. ඔහුගෙන් විශාල සහයෝගයක් හිමි වෙනවා. ඔහුගෙන් පමණක් නෙවෙයි සම්පූර්ණ කණ්ඩායමෙන්ම විශාල සහයෝගයක් ලැබෙනවා.


ඔබට හොඳ ගායන හැකියාවකුත් තිබෙනවා?


මට පොඩි කාලේ ඉඳන්ම ගායන හැකියාව තිබෙනවා. ඒක මම ඉගෙන ගත් දෙයක් නෙවෙයි. නමුත් ගායනය මට පිහිටලා තිබෙනවා. මීට  වසර දෙකකට පමණ කලින් මම සඳ පින්න කියලා ගීතයක් කළා. ඒ ගීතය මම ප්‍රෝග්‍රෑම්වලට එහෙම ගියාම ගායනා කරනවා. ඉදිරියේත් කාලය අරගෙන හොඳ සින්දුවක් කරන්න බලාපොරොත්තු වෙනවා.


කලාව තුළ නමක් හදාගන්න පෙනුම කොයි තරම් දුරකට බලපානවද?


පෙනුම තිබෙන්නත් ඕනි. නමුත් දැනුම තිබීම අනිවාර්යයි. හමේ පාට, කොණ්ඩේ මොන දේ තිබුණත් දැනුම තිබීම අනිවාර්යයි. මොකද මට ඒ දේ සිතෙන්නේ මම රංගනයට එද්දී ඒ පිළිබඳව හැදෑරීමක් තිබ්බේ නෑ. ඉතින් මට හිතෙනවා මට රංගනය පිළිබඳව ඉගෙන ගෙන එන්න තිබුණා නම් හොඳයි කියන දේ. රංගනයට එන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ ඒ පිළිබඳව හැදෑරීමක් කරලා එන්න කියන දේ.


රංගන ජීවිතය ඇතුළේ ඔබට පෙලඹවීමක් ඇති කළ විශේෂ පුද්ගලයෙක් සිටිනවාද?


මහේෂි මධුශංකා, මම පාසල් යන කාලයේ ඉඳලම යාළුවෝ මට කියනවා මම ඇය වගේ කියලා. ඒ දවස්වල ඇය චායා නාට්‍යයේ රඟපෑම් කටයුතුවල නිරත වෙනවා. මගේ යාළුවෝ මට චායා කියලා කතා කරනවා, ඔයා චායා වගේ කියලා කියනවා. මට තරමක් ඇයට සමාන පෙනුමක් තිබෙනවා. නමුත් ඇයම වගේ විය යුතුයි කියලා කටයුතු කරන්නේ නැහැ. මම මගේ විධියට  කටයුතු කරනවා. නමුත්  ඇය මම බොහොම කැමැති චරිතයක්. මට රඟපෑමට ආසාවක් ඇති වීමට ඇය ලොකු හේතුවක් වුණා.


ඔබට ඇය හමුවෙලා තිබෙනවද?


නැහැ. මට තවම ඇයව හමුවෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් මම හිතනවා මේ වෙද්දි කවුරුන් හෝ ඇයට මගේ ෆොටෝ එකක් යවලා මං ගැන කියලා ඇති. ඇයව හමුවෙන්න ලැබුණොත් බොහොම සතුටුයි.


අවසන් වශයෙන් ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


ඔව්… මේ වෙද්දී  නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදි ඒවාට සම්බන්ධ වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post