රඟපෑමෙන් ඔබ්බට ගිහින් රටට සේවයක් කරන්න කැමැතියි - මහේෂි මධුශංඛා




කලාකරුවා යනු සෑමවිටම සංවේදී අයෙකි. ඒ නිසාම ඔහුට හෝ ඇයට කලාව තුළින් මෙන්ම ඉන් පරිබාහිරවත් සංවේදී මෙන්ම යහපත් පුද්ගලයන් තැනීමට ද දායක විය හැකිය. එය සත්‍ය ලෙසම පසක් කරමින් රංගන ශිල්පිනියක ලෙස චරිත නිරූපණයෙන් පමණක්ම කටයුතු නොකර ඉන්න ඔබ්බට ගොස් ඇය සමාජ සේවාවන් හිද නිරත වන්නීය. ඒ වාර්තමානයේ පවතින දේශපාලන ප්‍රවාහයට නම් කිසිදා සම්බන්ධවීමේ බලාපොරොත්තුවකින් නම් නොවේ. එමෙන්ම අයුක්තිය අසාධාරණය හමුවේ දී ඇය නිරන්තරයෙන් ඊට එරෙහිව හඬ නැඟීම මෙන්ම කටයුතු කිරීමද සුවිශේෂී වන්නීය. අධ්‍යාපනය ලබන කාලයේ නීතිඥවරියක් වීමට බලාපොරොත්තු වුවද අද වන විට කලාව තුළින් මෙන්ම ඉන් ඔබ්බට ගොස් සිදු කරන සමාජ මෙහෙවර ගැනද බොහෝ දෙනාගේ කතා බහට ලක්වේ. ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාව තුළින් සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 8.30 ට විකාශය වන “මැස්සා” ටෙලි නාට්‍යයේ උසස් පොලිස් නිලධාරිනිය හෙවත් “අයි පී නෝනා” ලෙසත් ඈ මනාව චරිතයට පණ පොවන්නීය. කලකට පසු අප හා කතා බහට එක්වූ ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි මධුශංඛාය.


 

මුලින්ම කියන්න කෝ දැන් රංගනයට ඇවිත් කොච්චර කල් වෙනවද?


අවුරුදු දහහයක් (10) වෙනවා.


ඔබේ ගමනේ ආරම්භය ගැනත් මතක් කරමු...


චිත්‍රපටයකට තමා ප්‍රථමයෙන්ම කියලා රංගනයෙන් දායක වෙන්නේ සුදේශ් වසන්ත පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ නිෂ්පාදනයෙන් තමා ඒ නිර්මාණය සැකසෙන්නෙ. ඊට පස්සෙ “මුතු වරුසා” කියන ටෙලි නාට්‍ය‌ය ඒක තමා මගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය. අමිල අබේසේකර එක්ක තමා මට එහි රඟපාන්න අවස්ථාව ලැබුණේ.


දැන් නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද?


ටෙලි නාට්‍ය නම් තිහක් (30). චිත්‍රපට නම් හතරක (04) වගේ තමා රඟපෑවේ.


මහේෂි දායක වුණු ඒ නිර්මාණ අතරින් ඔබේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණේ?


එහෙම ඒවා නම් කීපයක්ම තියෙනවා. මිට අවුරුදු අටකට (08) පෙර මං රඟපෑව “ඡායා” ටෙලි නාට්‍යය එය මෑතකදීත් සිරස ටී.වී. තුළින් නැවත විකාශය වුණා. ඒ ගැන බොහෝ දෙනා අදටත් කතා කරනවා. ඊළඟට ස්වර්ණවාහිනියේ “ඇය” ටෙලි නාට්‍යය ඒ වගේම මේ දිනවල ස්වර්ණවාහිනි යන “මැස්සා” ටෙලි නාට්‍යයේ පොලිස් නිලධාරිනියකගේ චරිතය ආදිය ඒවා අතරින් ප්‍රමුඛයි. තවත් කිහිපයක්ම තියෙනවා ඒ වගේ ඒවා.


තවමත් රඟපාන්න නොලැබුණු මහේෂි රඟපාන්න බලාපොරොත්තුවෙන් හා ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?


ඇත්තටම මම හරි කැමැත්තකින් ඉන්නවා දේශපාලනඥයකුගේ චරිතයත් කරන්න. මොකද ඇතුළාන්තය මිනිස්සුන්ට පෙන්නලා දෙන්න මං ගොඩාක් කැමතියි. ඔයා මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහපු එක පවා ගොඩක් වටිනවා මේ වගේ චරිතයක් වෙනුවෙන් මට ඉදිරියේදී කවුරු හෝ ක්‌ෂෙත්‍රයේ සිටින අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණකරුවෙක් හෝ මාව තෝර ගෙන මට කතා කරනවා නම් උපරිමයෙන් ඒ චරිතයට සාධාරණයක් ඉටු කරනවා.


අපි ප්‍රාර්ථනා කරමු මහේෂිට ඒ වගේ චරිතයක් කරන්න ලැබේවායි කියලා. බැරිවෙලාවත් ඒ වගේ අවස්ථාවක් නොලැබුණොත්?


ඇය සිනාසෙයි...... එහෙම නොලැබුණොත් ඉදිරියේදී මම හරි ඒ වගේ නිර්මාණයක් කරලා මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් පෙන්වනවා.


මහේෂි රංගනයෙන් ඔබ්බට ගොස් අද වන විට සමාජ ක්‍රියාකාරිනියක් ලෙසත් කටයුතු කරන එක ගැන බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙනවා?


සාමාන්‍යයෙන් මං කැමති පුරවැසියෙක් ලෙස මගෙන් රටට යමක් වෙන්න තියෙනවා නම් එය නොපිරිහෙලා ඉටු කරන්න ඇත්තටම මට අයුක්තිය අසාධාරණය නම් පෙන්නන්න බැ. ඒ වගේ දෙයක් කොතනක කොහොම වුණත් සිද්ධ වෙනවා නම් මං ඊට විරුද්ධව නැගී සිටිමින් ක්‍රියාකරනවා.


මේ වගේ දේවල් කරලා මහෙෂිත් කවදා හරි දේශපාලනයට එයිද?


අද මේ රටේ පවතින දේශපාලන රටාවට නම් මං කිසිම කැමැත්තක් නෑ. අනික තමයි මේ වගේ දේවල් කරන්න දේශපාලනයට එන්නම ඕ‌නෙ නැ. අපේ හැම කෙනෙකුගේම වගේ ඇග ඇතුළේ දේශපාලනයක් තියෙනවා.ඒ තුළින් පක්ෂ භේදයකින් තොරව මිනිසුන්ට කිසියම් දෙයක් කරන්න පුළුවන් නම් එය පුරවැසියකුගේ යුතුකමක් හා වගකීමක් ලෙස සලකා එසේ කිරීමට හැකි නම් හරි වටිනවා. මම කියන්නේ පුළුවන් හැමෝටම මං මේ කියන අදහස දිහා අවධානය යොමු කරලා ඒ විදිහට කටයුතු කරන්න කියලා. සරසවිය පුවතකින් ඒක දැකීම තුළින් කවුරු හෝ අයෙකු මේ වගේ වැඩ වලට මුලපුරනවා නම් මේ මාධ්‍ය තුළින් හේමන්ත ඔයත් මමත් කතා කිරීමෙන් කළ උත්සාහය ඉතා සාර්ථක කියලා මම හිතනවා. ඒ තුළින් අසීමිත සතුටක් මට ලබාගන්න පුළුවන් වේවි. එහෙම වෙලා කටයුතු කරන කවර හෝ අයෙක් සිටීනම් මට හෝ හේමන්තට ඒ ගැන දන්වන්න. එවිට අපිටත් හැකි සහයෝගයක් ලබාදෙන්න පුලුවන්.


මහේෂි හරිම සැර කෙනෙක් නේද?


ඇය සිනාසෙයි..... මං සැර නෑ සැරයි කියලා ඔයාටත් දැන් දැනෙනවද අර මං මුලිනුත් කිව්වා වගේ අයුක්තිය අසාධාරණය හමුවේ නම් මං හරිම සැරයි. ඒ තත්ත්වයන් හමුවේ මම නිහඩ නැ ඒ නිසා වෙන්න ඇති මං ගැන ඔහොම සැරයි කියලා කියන්නේ.


ගෙදරදි මහත්තයාගෙනුත් අයුක්තියක් අසාධාරණයක් වුණාම ඒ වෙලාවටත් ඔබ ඔහු සැර පාට් දානවා ද?


ගෙදරදිත් අයුක්තිය අසාධාරණය හමුවේ මං කාට වුණත් එකයි. (ඇය සිනාසෙයි....) මගේ මහත්තයා පයිලට් කෙනෙක් (ගුවන් නියමුවෙක්) එයාගෙ යුතුකම් වගකීම් දරුවන්ගේ ගෙදර දොර වැඩ අපි හරි අවබෝධයෙන් සහයෝගයෙන් කරනවා. මං අර මුලදී කිව්ව විදිහට එහෙම සැර වුණට අපි අතරේ කිසිදාක ප්‍රශ්න නෑ. බබාලා දෙන්නත් එක්ක හොඳ සාර්ථක පවුල් ජීවිතයක් අපි ගෙවනවා. ඒත් අද අ‌පේ රට දිහා බලද්දි මේ පොඩි අයගේ අනාගතයට මොකක් වෙයිද කියලා බයකුත් තියෙනවා. අපි දෙන්නා ඒ ගැනත් නිතරම කතා වෙනවා.


බබාලා දෙන්නා ගැනත් කියමු දුවලා ද පුතාලා ද මහේෂිට ඉන්නේ?


වැඩිමලා පුතා තෙනුල් අවුරුදු පහයි (05). දුව තෙනුලි අවුරුදු දෙකයි (02). එයාලා තමා මගේ පණ. ෂුටීන් ගිහින් ආවත් හරි මුලින්ම ඒ දෙන්නම මට දකින්න ඕනේ. එයලාටත් එහෙමයි මහන්සිවෙලා ගෙදර ආවම ඒ අය දකිනකොට ඒක නැතිවෙලා යනවා.


මහේෂි දැන් රගපෑවා ඇති ළමයිනුත් එක්ක ගෙදරට ‌වෙලා ගෙදර වැඩටික කරගෙන ගෙදරට වෙලා ඉන්න කියලා මහත්තයා කියන්නේ නැද්ද?


නැහැ එයා එහෙම කියන්නේවත් මට තනංචි දාන්‌නෙවත් නෑ. එයාගෙ වෘත්තිය ගැන හොඳටම දන්නේ එයා. මගේ වෘත්තිය ගැන මම හොඳටම දන්නවා. අපි දෙන්නා ඒකයි පවුල් ජීවිතයයි පටලව ගන්නෙ නෑ හරි අවබෝධයෙන් සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. අපි අතර විවිධ දේවල් ගැන තර්ක විතර්ක මතවාද ගෙදරදි ඉදිරිපත් වෙනවා. ඒ වෙලාවට මහත්තයා මට කියනවා ඔයා ඔහොම වෙන්න එපා ඔයා සීමාවෙන් එහාට ඔහොම කට දාගෙන කතා කරන්න යන්නත් එපා. ඒ තැන්වල නිහඬව ඉන්න කියලා ආයෙ කියනවා ඔයාට හරියන්නේ නම් රංගනය නොවෙයි කියලා.


ඇත්තටම මහේෂි මධුසංඛා රංගන ශිල්පිනියක් නොවුණා නම්?


මං ඉගෙන ගන්න ක‌ලේ නීතිඥවරියක් වෙන්න තමා හිතාන හිටියේ. අදටත් මගේ මහත්තයා කියනවා ඔයාට හරියන්නේ රංගනය නම් නොවෙයි කියලා. රංගන ශිල්පිනියක් නොවුණා නම් මං නීතිඥවරියක් වෙන්න ඉඩ තිබුණා.


අපි නැවතත් මහේෂිගේ නිර්මාණ දිවිය දෙසට හැරෙමු. මේ දවස්වල “මැස්සා” ටෙලි නාට්‍යයේ උසස් පොලිස් නිලධාරිනියක් හෙවත් “අයි.පී. නෝනා” හරිම ජනප්‍රියයි?


ඔව් මට කාලෙකට පස්සේ මං බලාපොරොත්තු වුණු විදිහේ චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා කියලා හි‌තෙනවා.


මහේෂිගෙ සැරත් එක්ක මේ පොලිස් චරිතය වඩාත් සාර්ථකව රඟ දක්වනවා ‌ප්‍රේක්ෂකයන්ගේ අදහස් එහෙමයි?


ඇත්තටම අද පොලිසිය ගැන සමාජය විවිධ මත තියෙනවා. බාහිරින් බලලා තමයි බොහෝ අය ඒවා කියන්නේ. ඒත් ඇත්ත ඇතුළාන්තය ඊට වඩා වෙනස් පොලීසියේ අය හරිම පීඩනයකින් තමා ඉන්නේ. ඔවුන් අද ආර්ථික ප්‍රශ්න නිසා අසරණවෙලා. මට ඊට අදාල සාක්ෂි ඕන තරම් පෙන්වන්න පුළුවන්. මේ චරිතයට පොලිසිය ගැන මම අධ්‍යයනයක් කරලා රඟපාන්න ගත්තාම තමා මතක් වුණේ මේ වගේ දේවල් ගැන අවබෝධ වුණේ මම හිතනවා මං මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා.


මෙහි රඟපාන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


මේ ටෙලි නට්‍යයේ අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක මහතා තමයි. මට ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ඔහු හරිම දක්ෂ නිර්මාණාත්මක අධ්‍යක්ෂක වරයෙක් මං ඔහුත් එක්ක වැඩ කරන්නේ හරිම කැමැත්තෙන්.


මේ දවස්වල “අයි.පී.නෝනා” ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩාක් සාර්ථකයි මාව දකින බොහෝ අය ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලබාදෙනවා මගේ ඒහි රඟපෑම ගැන. මෙහිදී රංගන ශිල්පි දසුන් පතිරණ ගැනත් මතක් කරන්න ඕනේ. එහි ඔහුගේ රංගනයත් ඉතා සාර්ථකයි. මේ ටෙලි නාට්‍යයේ හා මගේ චරිතයටත් ඒ වගේම ටීම් එකේ ඉන්න අනෙක් සියලුම දෙනාගේම සහයෝගයත් නොඅඩුව ඒ සඳහා ලැබෙනවා. ඒ අයත් මෙලෙස දක්වන සහයෝගය නිසා තමා මේ විදිහට අපිට ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ.


අවසාන වශයෙන් මහේෂිට යමක් කියන්න තියෙනවද?


මුලින්ම අද අපේ රටේ මේ ඇතිවෙලා තියෙන අයහපත් තත්ත්වය සමනය වෙලා යහපත් මෙන්ම ආර්ථික අතින් සවිමත් ලෙස මිනිසුන්ට ජීවත්විය හැකි තත්ත්වයක් උදා වෙන්න ඕනේ. ඒ වගේම දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ රට එහෙම යහපත් වෙලා තිබුණොත් විතරයි කලා නිර්මාණ පවා කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මං ඉදිරියටත් සාර්ථක නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න තමා බලාපොරොත්තුව. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ වසර ගණනාවකට පස්සේ තමා සරසවියෙන් මට මේ විදිහට කතා කළේ. එහෙම කතා කරලා අවස්ථාවක් ලබාදීම ගැන සරසවිය පත්තරේටත් ප්‍රේක්ෂක ජනතාවටත් ගොඩාක් ස්තූතියි. පත්තරේ මේ විස්තරේ දැකලා කවුරු හෝ පුරවැසියෙක් මේ තුළින් කිසියම් යහපත් දෙයක් කරන්න යොමු වෙනවා නම් හෝ ඒ ගැන දැනුම්වත් භාවයක් හරි ලබා ගන්නවා නම් හරිම වටිනවා. මේ වගේ කාලයක ඒක තමාගේ ජීවිතයට එකතු කර ගන්න හැමෝටම පුළුවන් නම් ඒක තමා මම මේ තුළින් ලබන උපරිම සතුට. තව මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක මගේ වියදමින් අංගසම්පූර්ණ විහාරස්ථානයක් හදලා බුදුසසුනට පූජා කරන්න





Previous Post Next Post