ගෑනු අපි හොයන්නෙම ආදරය... - අමන්දා ද සිල්වා



අමන්දා.... අලුත් ජීවිතේ කොහොමද?


අලුත් ජීවිතේ ගොඩක් හොඳයි. අපි දෙන්නා අලුත් ජීවිතේ බොහෝම සතුටින් ගෙවාගෙන යනවා.


 අපිට ඔහු ගැන පොඩි විස්තරයක් කියන්න?


එයාගේ නම ඩයස් වනිගසේකර. සේවය කරන්නේ පොලීසියෙ. එයා පොළොවේ පය ගහලා ජීවත්වෙන හරිම සාමාන්‍ය මනුස්සයෙක්. මහන්සිවෙලා ඉන්න වෙලාවක වුණත් කවුරුහරි කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් එයා ඒ උදව්වට ''බැහැ'' නොකියා උදව් කරනවා. ඇත්තටම එයා හරිම හිත හොඳ මනුස්සයෙක්.


මුලින්ම ඩයස්ව මුණගැහුණේ කොහොමද?


අපි දෙන්නා මීට අවුරුදු කිහිපයකට පෙර එක්තරා රියැලිටි ගේම් ෂෝ එකකදි මුණගැහුණා. ඒක තමයි අපේ මුල්ම මැණගැහීම වුණේ. ඊටපස්සේ අපි කාලයක් හොඳ යාළුවෝ වුණා. ඒ ආශ්‍රය හරි අපූරුයි. ඉතින් ඒ ආශ්‍රයෙන් අපි දෙන්නට ගැලපෙන්නේ අපි දෙන්නම තමයි කියලා අපිට හෙමිහිට තේරුණා. ඒ යාළුකම ආදරයක් වුණා. ඉතින් අපි බැන්දා.


 ඩයස්ට ආදරය කරන්න, ඔහුව විවාහ කරගන්න තරම් ඔහු ළඟ තිබුණ හොඳ ගතිගුණ මොනවාද?


ගෑනු අපි බොහෝ වෙලාවට ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ ආදරය, ආරක්ෂාව උපරිමයෙන්ම එයාගෙන් මට ලැබෙනවා. පොඩි හරි කරදරයක් මට වුණත් අනිවාර්යයෙන්ම මම ළඟ ඉන්නවා. මාව කොයිවෙලාවෙවත් තනිකරන්නේ නැහැ. මට පොඩි ලෙඩක් හැදුණත් ඒ ලෙඩේ හොඳ වෙනකම් මම ළඟ ඉන්නවා. ඒ වගේ ආදරයක් මට එයාගෙන් ලැබෙනවා. ඒ නිසා ඒ ආදරේ මගේම කරගන්න ඕනෑ කියලා මට හිතුණා.


දෙන්නගෙන් ආදර යෝජනාව ගෙනාවේ කවුද?


අපි දෙන්නාගෙන් ඒ ආදර යෝජනාව ගෙනාවේ නම් මුලින්ම එයයි. යාළුවෝ විදිහට ආශ්‍රය කරද්දී එයා හෙමීට ''මට හිතෙන්නේ මම ඔයාට ආදරේ වගෙයි'' කියලා කිව්වා. ඒ වෙද්දීත් එයා ගැන ආදරයක් මටත් හිතිලයි තිබුණේ. හැබැයි ඉතින් එයාගෙන් අහන්න ඉක්මන් වුණේ නැහැ. ඒ යෝජනාව ගෙනාවට පස්සේ ''මමත් කැමැතියි'' කියලා කිව්වා. ඒ මගේ අදහස එයාට කියන්න මම කල්ගත්තේ නැහැ. අපි දෙන්නට ලොකු ගෙයක්, ලොකු වාහනයක් කියන බොරු හීන නැහැ. අපි දෙන්නම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ආස කරන දෙන්නෙක්. ඒ නිසා අපි දෙන්නා මේ ජීවිතයට හරි ආසයි. මට ගැලපෙනම කෙනා එයා කියලා මට හිතුණා.


 පොලිස් සේවයේදී නීති රීති තියෙනවානේ. ගෙදර තුළදීත් ඔය වගේ නීති රීති තිබෙනවාද?


අනේ නැහැ. එයා මට සම්පූර්ණ නිදහස දීලයි තියෙන්නේ. නිකමට හරි එයාට ''මේ ඇඳුම මෙතැනට ගැලපෙන්නේ නැහැ'' කියල හිතුණොත් මට ඒක නිකමට කියනවා. එයා දෙයක් කිව්වොත් ඇත්තටමයි ඒ දේ කියන්නේ කියලා මම දන්නවා. එයා කියන දේ මම හරිම ආසාවෙන් අහනවා. හැබැයි ''ඔයා මේක කරන්න ඕනේ'' කියලා මට බලෙන් කවුරු හරි කිව්වොත් මම කවදාවත් ඒවා අහන කෙනෙක් නෙවෙයි. ආදරයෙන් දෙයක් කිව්වොත් මම ඒ දේ කරනවා.


 ඩයස් ඔයාට මුලින්ම දීපු තෑග්ග මොකක්ද?


එයා මට මුලින්ම මගේ උපන් දිනයකට රත්තරන් කරාබු දෙකක් තෑගි කළා. අදටත් මම ළඟ ඒ කරාබු දෙක තිබෙනවා. මම එයාට මුලින්ම ඔරලෝසුවක් තෑගි කළා.


 මේ ආදරයට.... මේ විවාහයට ඔය දෙන්නගේ දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබුණාද?


ඔව්. මම එයා එක්ක යාළුවුණාට පස්සේ මම මේ ගත්ත තීරණය හරිද කියලා මට හරියටම තේරෙන්නේ නැහැනේ. ඒ නිසා මම ඒ ගැන මගේ නංගිටයි, මගේ ඥාති නැගණියටයි මෙයා ගැන කිව්වා. ''මම ගත්තු තීරණය හරිද'' කියල මම ඒ දෙන්නගෙන් ඇහුවා. මගේ නංගිලා මෙයාට පුදුම විදිහට කැමැති වුණා. දැන් ඒ දෙන්න මගේ විතරක් නෙවෙයි මෙයාගෙත් නංගිලා දෙන්නා වුණා. ඒ දෙන්නාත් ඔයාට හරිම ආදරෙයි. මගේ තාත්තාත් මෙයාට හරිම කැමැතියි. මම දැන් සතුටින් හිනාවෙලා ඉන්නව කියල තාත්තාට තේරෙනවා ඇති. එයාගේ ගම ගාල්ල. ඒ අම්මා, තාත්තා, නංගි, අයියා, අක්කා සහ මල්ලි හරිම හොඳ අයයි. මෙයාට ඒ හැම කෙනෙක්ම ඉන්නවා. එයාලා මට ආදරෙයි. මාත් ඒ අයට ආදරෙයි. හැමදාම කතා නොකළාට ඒ අය හරිම හරි හොඳයි.


දැන් අමන්දා ගෘහණියක්. ඒ ගෙදර වැඩකටයුතුවලට ඩයස්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


අපි දෙන්නා දැන් වෙනම ගෙදරක පදිංචි වෙලා ඉන්නේ. ගෙදරදී කොයි වෙලාවකවත් මම ''මේක කළ යුතුයි'' කියන තහංචි දැමීමක් එයාගේ නැහැ.මට ගෙදර වැඩවලදී තනියම මහන්සි වෙන්න එයා ඉඩ දෙන්නේ නැහැ. මම වැඩ කරද්දී එයත් ඇවිත් උදව් කරනවා. මම එයා වැඩ කරනකම් බලාගෙන ඉන්නේ නැහැ. එයා මම වැඩ කරනකම් බලාගෙන ඉන්නේ නැහැ. මට හොඳට කෑම හදන්න පුළුවන්. එයා මම හදන කෑමවලට හරි ආසයි. විශේෂයෙන් මම හදන බිරියානි එකට කුකුල් මස් ව්‍යංජනයට එයා හරි ආසයි.


 අමන්දාගේ වෘත්තීය වැඩකටයුතුවලට ඩයස්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මේ දවස්වල වෙනදා වගේම මම සාමාන්‍ය විදිහට Photo Shoot වලට Fashion Show වලට සහභාගි වෙනවා. ඒවාට මෙයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. උදේට මම හැමදාම ගෙවල් අස්පස් කරනවානේ. හැබැයි මම වැඩකට යන දවසකට ඔක්කොම හැඩිකරල තමයි යන්නේ. මේක් අප් බඩු ටික ඇඳ උඩම ඇදලා දානවා. මට ගෙදර තිබෙන හැම කණ්ණාඩියකින්ම මූණ බලන්නත් ඕනේ. ඉතින් මම මේක් අප් බඩු එහෙම හැඩිකරලා ගෙදරින් යද්දී එයා තමයි ඒ දේවල් පිළිවෙළට ආයෙත් තියන්නේ. ඇත්තටම ගෙදර හැම වැඩකදිම එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?


අපි දෙන්නට එහෙම ලොකු හීන නැහැ. අපි දෙන්නා සතුටින් ඇවිදින්න යන්න, ලස්සනට අඳින්න, සතුටින් ඉන්න ආසයි. ඉතින්.... ඒ සැහැල්ලුවෙන්, සතුටින් මේ ගෙවන්න ලෑස්ති වෙන ජීවිතයට මම හරි ආදරෙයි.


දිශානි





Previous Post Next Post