තාත්තා ’’ඉවරවුණා’’ මිසක් මියැදුණේ නැහැ - මධුමාධව අරවින්ද



අප රටේ කලා ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඔබේ ආදරණීය පියා සුනිල් සිරිවර්ධන පසුගියදා අප අතරෙන් වෙන්වුණා. ඒ අවසන් දිනය ඔහුගේ අවසන් නික්ම යාම ගැන නැවතත් මතක් කළොත්...?


අපේ තාත්තා මියගියේ නොවැම්බර් මාසේ විසි අටවෙනිදා. එදා උදේ පාන්දර අම්මා නැගිටිනකොටත් තාත්තා එහාට මෙහාට හැරි හැරී සිහියෙන් ඉඳලා තියෙනවා. පහමාරට හයට විතර අම්මා තාත්තාට තේ එකක් අරගෙන යද්දී තාත්තා කතා කරලා තිබුණේ නැහැ. මම අම්මලාගේ ගෙදරට බොහෝම කිට්ටු ගෙදරක ජීවත්වෙන්නේ. ඒ නිසා අම්මා ඉක්මණට මට කතා කළා. මම ගිහින් බලද්දී තාත්තාගේ ඇඟ පොඩ්ඩක් සීතල වෙලා තිබුණා. ඒත් අපේ හිත තාත්තාගේ හැරයාම පිළිගත්තේ නැහැ. ඒ නිසා අපි ඉක්මණට අපේ පවුල් වෛද්‍යතුමන්ට කතා කළා. එතුමා ඉක්මණින් අපේ ගෙදරට ආවා. ඔහු ''තාත්තා යන්න ගිහින්'' කියලා ස්ථීරවම කිව්වා. ඊට පස්සේ අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ලංකාවේ මිනිස්සු. අම්මා තාත්තා කියන්නේ අපේ දෙවිවරු බුදුන් වගෙයි. ඒ නිසා හරියටම සුනාමියක් ආවා වගේ දැනුණා.


තාත්තා අවසන් කැමැති පත්‍රයක් ලියලා තියෙනවා කියලා මධූලා දැනගෙන හිටියද...?


තාත්තගේ වියෝව ගැන වෛද්‍යතුමන් අපිට දැනුම් දුන්නාට පස්සේ අපි කළයුතු කාරණා ටික කරගෙන ගියා. ඔය අතරේ අපේ නීතිඥතුමන් සහ නීතිඥතුමිය ඇවිත් තාත්තාගේ අවසන් කැමැති පත්‍රය ඔවුන් දෙදෙනා ඉදිරියේ අත්සන් කරලා දුන්නා කියලා අපිට ඒ අවසන් කැමැති පත්‍රය බාරදුන්නා. තාත්තා ඒ අවසන් කැමැති පත්‍රය ලියලා තිබුණේ 2017 අවුරුද්දේ. තාත්තා ඉඳහිට ''මම අවසන් කැමැති පත්‍රය ලිව්වා'' කියලා කිව්වා. නමුත් ඒ විහිළුවට කියපු දෙයක් කියලයි අපි හිතුවේ. ඒ අවසන් කැමැති පත්‍රයේදී ''සියල්ල සිදුවී පැය හයක් ඇතුළත සියලුම වැඩ අවසන් කරන්න. මිනිසුන් කාටවත් කරදර කරන්න එපා...'' කියලා ලියලා තිබුණා. ''ලෝකේ තිබෙන ප්‍රබලතම ලිපිය අවසන් කැමැති පත්‍රය. ඒ නිසා එය එලෙසින්ම කළ යුතුයි'' නීතිඥවරුන් අපිට පැහැදිලි කළා. ඒ නිසා අපි හිත හදාගෙන, පවුලේ අය පමණක් සහභාගි වෙමින් ඒ අවසන් කටයුතු කළා. ඔහුට අවමංගල්‍යය මංගල්‍යයක් වගේ කරගන්න අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි අකමැත්තෙන් වුණත් තාත්තාට කරන ගෞරවයක් විදිහට ඒ කැමැත්ත සිදුකළා.


Q ඔහු පුතුන් තිදෙනෙක් හදපු පියෙක්. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ළඟින්ම හිටියේ ඔහුගේ බිරිඳ. ඔබගේ මව. තම සැමියාගේ වියෝව, ඒ වෙන්ව යාම පැය හයකට සීමාවීම මධූගේ මව දරාගත්තේ කොහොමද?


මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ මළගෙවල් කියන්නේ මහ කෝලමක්. හවස් වෙද්දී කැරම් ගහනවා, අඩියක් ගහනවා, බූරු ගහනවා. මේක හරියට තමන්ගේ තත්ත්වය පෙන්වීමක් වගෙයි. මම අපේ අම්මා අඬනව කවදාවත් දැකලා නැහැ. ඇය ඉතා ශක්තිමත් ගැහැනියක්. තාත්තා, අපි පොඩි දේටත් අඬන හිනාවෙන අය වුණාට අම්මා එහෙම නැහැ. තාත්තාට අවුරුදු දහතුනේදී මගේ අම්මා තාත්තාගේ පෙම්වතිය වුණා. මම ඒ දෙන්නාගේ ප්‍රේම කතාව අහලා තියෙනවා. ඒක හරි ලස්සන කතාවක්. තාත්තා මැරෙනතුරාම ඒ ආදරය එහෙමම තිබුණා. මම ජීවිතේ කිහිප වතාවක්ම ප්‍රේමයෙන් වෙඩිකාපු මනුස්සයෙක් නිසා මම වගේ කෙනෙකුට ඒ ප්‍රේම කතාව රහට දැනෙනවා. ඒ නිසා මගේ ගෙදර තිබුණ ඒ ආදර කතාව හරි ලස්සන දිග එකක්. අවසන් කටයුතු ඉවර වෙනතුරු අම්මා ඇඬුවේ නැහැ. හැබැයි තාත්තාව චිතකයට ඇතුළු කළාට පස්සේ අපෙ අම්මාට හිටගෙන ඉන්න බැරිවුණා. ඒ තමයි මගේ තාත්තාගේ අචිකාමගේ තාත්තා අචිකා කියලා තමයි අම්මාට කිව්වේ. තාත්තා හැමදාමත් කියපු දෙයක් තමයි මගේ අචිකා කවදාවත් අඬන්නේ නැහැ. කඩාගෙන වැටෙන්නේ නැහැ කියලා. ඒ වුණාට තාත්තා යද්දී අන්තිම මොහොතේත් දරාගෙන ඉඳලා ඉඳලා චිතකය ඇතුළට තාත්තාව දාද්දී එයාගේ අචිකා කඩාගෙන වැටුණා. ඒ ආදරය පුදුමාකාරයි.


මධූ කීපවතාවක්ම තාත්තාව හැඳින්වූයේ ''මගේ පණ'' කියලයි...?


ඔව්. මම තාත්තාට ''මගේ පණ'' කියලයි කිව්වේ. මගේ මල්ලි (ධනංජය) තමයි තාත්තාට ලස්සන නම කිව්වේ. ධනංජය තාත්තාට ''සමනල කන්ද'' කියලයි කිව්වේ. මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංඟා ගලන්න පටන් ගත්තේ සමනල කන්ද මුදුනෙන්. ඒ වගේ ලංකාවේ තාත්තා කෙනෙක් හැටියට එක පුතෙක් චිත්‍ර ශිල්පියෙක් කරලා, එක පුතෙක් නළුවෙක් කරලා, තව පුතෙක් ගායකයෙක් කරලා අපි තුන්දෙනාටම වැඩිය හොඳින් ඒ හැකියාවන් කරන්න පුළුවන්කම තියෙද්දී ඒ සමනල කන්ද නිහඬව හිටියා. ඔහු චිත්‍ර නොඇඳ අයියට අඳින්න දුන්නා. ඔහු සිංදු නොකියා මට කියන්න දුන්නා. ඔහු රඟ නොපා මල්ලිට රඟපාන්න දුන්නා. ඊට අමතරව ඔහු බොහෝ කලාකරුවන් කලාකාරියන් රුසක් බිහිකළා. ඒවායෙන් ඔහු බොහෝ සතුටක් ලැබුවා. ඒ නිසා දරුවෝ හැටියට මීට වඩා දෙයක් තාත්තා කෙනෙක්ගෙන් ඉල්ලන්න බැහැ. ඔහු අපිට මේ දීලා වැඩියි. අපි තාත්තාගේ පිට උඩ හිටියා. අන්තිම කාලයේදීත් අපි එකට හිටියා. අපි එකට කෑවා. ඇවිද්දා... ඒ නිසා තාත්තා යද්දී අපිට ''යාම'' ගැන විතරයි අඬන්න තිබ්බේ. ඒ නිසා මේක කියවන අම්මා තාත්තාව සතියකින් බලන්න ගියේ නැති අය ඉන්නවා නම්, කෝල් එකක් දීලා නැතිනම් මේ දැන්ම අම්මා තාත්තාට කතා කරන්න. එහෙම නොවුණොත් ඔවුන්ගේ වියෝවෙන් ඔය හිත හදාගන්න බැරිවේවි.


තාත්තා එක්ක මධූට කතා කරන්න ලැබුණ අවසන් දවස කවදාද?


තාත්තාට අවසන් කාලයේදී පොඩි මතකයේ අඩුවීමක් තිබුණා. හැබැයි කවදාවත් තාත්තාට අපිව අමතක වුණේ නැහැ. සිදුවීම් අමතක වුණා... කෑවට පස්සේ ඒ කෑව එක අමතක වෙලා ආයේ කන්න ඉල්ලනවා. ඒ වගේ පොඩි අමතක වීම් තිබුණා. බොහෝ අය තාත්තාට ගරු කරනව කියලම කරන්නේ තාත්තලාව කොන් කරන එකයි. සමහරුන්ගේ ගෙදර පාටියක් තියෙද්දී තාත්තලා කාමරේ කෑම කන්නේ. අපේ එහෙම වුණේ නැහැ. අපේ යාළුවන්ටත් කලිත් කෑම මේසේ අපි තාත්තාව වාඩි කෙරෙව්වා. අපේ එක වයසකට ආවට පස්සේ ''අපිට ඔයත් එක්ක අඩියක් ගහන්න ඕනේ'' කියල කිව්වා. එයා එහෙම යාළුවෙක්. හරියට අපේ ලොකු අයියා වගෙයි. අපේ යාළුවෝ හැමෝම එයාගේ යාළුවෝ වුණා. අපේ ගෙදර පාටියක් නම් ඒකේ ප්‍රධාන දේශකයා, ගායකයා තාත්තා වුණා. ඒ නිසා තාත්තා හරි සතුටින් හිටියා. තාත්තාව මම හැම දවසකම වගේ බලන්න ගියා.


සුනිල් සිරිවර්ධනගේ දරුවන් තිදෙනාටම දරුවන් ඉන්නවා. ඒ කියන්නේ ඔහු දරු මුණුපුරන්ගේ මුහුණ බලපු, ආදරය ලබපු සීයා කෙනෙක්. ඒ පරපුර එක්ක ඔහුගේ තිබුණ සම්බන්ධකම කොහොමද?


තාත්තා කොහොමටත් හරිම විහිළු තහළුවෙන් ජීවත් වුණ මනුස්සයෙක්. සමහර දේවල් වුණාට පස්සේ ඒ දේවල් ගැන ලතවෙලා වැඩක් නැහැ කියලා හිත හදාගන්න බැරිවුණාට ඒ හිත හදාගන්නා හැටි තාත්තා අපිට කියලා දුන්නා. අපේ දරුවන් එක්ක තාත්තා සිංදු කිව්වා. විහිළු කළා. ඒවගේ ලොකු ආදරයක් තිබුණා. දරුවන් එක්ක විතරක් නෙමෙයි අපි හැමෝම එක්ක එයා හරිම විනෝදයෙක් ජීවත්වුණ කෙනෙක්. එයා මූඩ් ගහගෙන හිටියෙ නැහැ. හැම වෙලේම සිංදුවක් මුමුණමින් හිටියා. අවසන් කාලයේදී අම්මා, මල්ලි, අයියා එයාව නාවද්දී එයා අපිට විහිළු කළා. එහෙම අපි කාගේවත් ආදර‍ෙය් අඩුවක් තිබුණේ නැහැ. එයාව රෝහලක එක දවසක්වත් අපිට නවත්වන්න සිද්ධ වුණේ නැහැ. තාත්තාගේ වියෝවෙන් තාත්තා ''ඉවරවුණා'' මිසක් මියදුනේ නැහැ කියලයි මට හිතෙන්නේ. එයා මියයද්දී වයස අවුරුදු අසූ දෙකයි.


මධූගේ දේශපාලන ජීවිතේ, විවාහ ජීවිතේ ඇතිවන හැලහැප්පීම් ගැන තාත්තා මොන විදියේ ප්‍රතිචාරයක්ද දැක්වූයේ..? මධූට හයියක් වුණේ කොහොමද?


මම එහෙම හයිය ඉල්ලන පුතෙක් නෙවෙයි. ඒක අම්මා තාත්තාත් දන්නවා. ඒවගේ පීඩනයකින් මම හිටිය මගේ තාත්තා මට බෙහෙත් දෙන්න හැදුවේ නැහැ. හැබැයි මට ඇඳ දුන්නා. ''උඹම බෙහෙත හොයා ගනින්'' කියලයි එයාලා කිව්වේ. කොහොමටත් ජීවිතේ ප්‍රශ්න කොළවල ලියලා විසිකළා මිසක් උරහිස්වලට අපි ප්‍රශ්න කිව්වේ නැහැ. ඒකට හේතුව වුණේ උරහිස පාවලා දෙන නිසයි.


 ඔබේ බිරිඳ නිලූට ඔබේ තාත්තා ඇයගේම තාත්තා වගෙයි කියලා මධූ දවසක් කිව්වා නේද?


ඔව්... නිලූට එයාගේ තාත්තාත් නැහැ. අම්මාත් නැහැ. එයාට මගේ අම්මා තාත්තා එයාගේම අම්මා තාත්තා වුණා. ඒ දෙගොල්ලන්ගේ ප්‍රේමය හරි වෙනස්. නිලූ හෙදියක් නිසා අසනීප තත්ත්වයන් ගැන අවබෝධයක් තිබුණා. නිලූ ලංකාවේ නැහැ කියල තාත්තා මැරෙනතුරාවට දැනගෙන හිටියේ නැහැ. නිලූ හැමදාම තාත්තාට ලේන්සුවක් දුන්නා. නිලූ තාත්තා බලලා යන්න හදද්දී ''පුතා ඊළඟ දවසේ ලේන්සුව ගේන්න'' කියලා කිව්වා. ඒ නිසා අපිත් නිලූ ලංකාවේ නැහැ කියල කියන්න ගියේ නැහැ. තාත්තාගේ වියෝව නිලූටත් දරාගන්න බැහැ. අපි තාත්තාව කරේ තියාගෙන ලෝකයට පෙන්නන්න ගියේ තාත්තා මැරුණට පස්සේ නෙවෙයි. අපි තාත්තාව ඇවිද්දුවා. අපි තාත්තාගේ පිට උඩ ගියා. අපි තාත්තාව හිනැස්සුවා. තාත්තා මැරුණට පස්සේ ඒ අවසන් තැනට වෙනතුරු අපි එක්ක පමණක් යන්න තාත්තා තීරණය කරලා තිබුණා. මම හිතන්නේ ඒක අපිට තාත්තා දීපු ගෞරවයක් කියලයි. වෙන මිනිසුන්ගේ තාත්තලා දාලා යද්දී පපුවේ ඇතුළේ මෙච්චර ගින්දරක් හටගන්නව කියල අපි දැනගෙන හිටියේ නැහැ. ඒක පුදුමාකාර පිච්චීමක්.


I දිශානි





Previous Post Next Post