ඉන්දීය ක්‍රිකට් පිටියේ අලුත්ම ප්‍රේම කතාව සාරා – ෂුබ්මන්




මේ දිනවල කාගෙත් අවධානය යොමු වී ඇත්තේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය දෙසය. සත්කාරක ඉන්දියාව මෙවර කුසලානය දිනන බවට තරගාවලිය ආරම්භ වීමටත් පෙර සිටම අනාවැකි පළ වන්නට පටන් ගත් බැවින් ඉන්දීය පිල වෙත ඇස් දහසක් යොමු වී තිබේ. ඉන්දියාවේ ලකුණු මැෂිම විරාට් කෝලි ද ‘ආච්චි වැහුණා‘ සේ ය. රෝහිත් ෂර්මා ද ඊට දෙවැනි නැත. තරගාවලියේ අඩක් ගෙවී ගිය ද ඉන්දීය පිල මේ ලිපිය ලියැවෙන මොහොතේදිත් අපරාජිත ය. දැනට ඉතිරිව ඇති එකම අපරාජිත කණ්ඩායම ද ඉන්දියාව ය. එබැවින් ලෝක කුසලානය ඉන්දියාව ජයගනු ඇතැයි අනාවැකි පළ වීම හැම අතින්ම සාධාරණය. ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ එකම පැතුම ද එය ය.


එහෙත් 26 හැවිරිදි සුරූපි යුවතිය සාරාගේ පැතුම නම් බැලූ බැල්මටම ඉන් ඔබ්බට ගිය එකකි. ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කර්ගේ එකම දියණිය වන ඇය ඉන්දීය පිල ක්‍රීඩා කරන තරග නරඹන්නට එන්නේ සිය කණ්ඩායමේ දස්කම් හා ජයග්‍රහණය දැක බලා ගැනීමට පමණක් නොවන බව දැන් ප්‍රසිද්ධ රහසකි. එය රස රහසකි. රහසට හේතුව අන් කිසිවකු හෝ නොව ඉන්දීය පිලේ යොවුන් තරුව ෂුබ්මන් ගිල් ය. ඉන්දීය පිලට සේන්දු වී වැඩි කාලයක් නැති වුවත් ලෝක ප්‍රකට පිතිකරුවකු වන බවට පෙර නිමිති පහළ කර ඇති 24 හැවිරිදි මේ කඩවසම් ඉලන්දාරියා සහ සාරා ගැන කතා රැසකි. ඒවා වැඩි හරියක් හුදෙක් ඕපාදූප බව කීවද, ඉන්දියාව යනු එවැනි ඕපා දූප සැබෑ වන රටකි. කාලයකට පසු එසේ සැබැවූ ඕපාදූප ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ එමටය.


අනූව දශකයේ මැද භාගයේදී එවකට ඉන්දීය පිලේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඩ් අසාරුදීන් සහ බොලිවුඩ් නිළි සංගීතා බිජ්ලානි අරබයා පැතිර ගියේ ද එවැනිම ආකාරයේ ඕපාදූප මාලාවකි. සිය නීත්‍යනුකූල බිරිය නව්රින් සමඟ එක වහලක් යට පවුල් කෑ මේ විශිෂ්ට පිතිකරුවා සංගීතාගේ ප්‍රේම දැලේ පැටලුණු දා සිට එවැනි ඕපාදූප පැතිරී ගියේ ඉවක් බවක් නැතිවය. අසාරුදීන් මෙන්ම සංගීතා ද ඒවා ප්‍රතික්ෂේප කළද, කාලයක් යද්දී අසාරුදීන්ගේ සිත සංගීතාගේ පෙමින් ඔද්දල් වෙද්දී පිතිකරුවකු ලෙස අසාර්ථක වෙද්දී ඔහුට යන එන සෑම තැනකම ඇසෙන්නට වූයේ ක්‍රීඩාලෝලීන් ‘සංගීතා හායි හායි… සංගීතා බායි බායි‘ යන වදන් පෙළ පමණි. පසුකාලෙක එය සැබෑ වූ අතර, අසාරුදීන් බිරිය අතහැර සංගීතාගේ කූඩුවට රිංගා ගත්තේය. දැන් සාරා සහ ෂුබ්මන් සම්බන්ධයෙන් පැතිරී යන්නේද එවැනිම රසවත් කතා වැලකි. එබැවින් ෂුබ්මන්ගේ සිත ගාව සාරා නැවතීමේ කතාව ඕපාදූපයක් ලෙස බැහැර කළ නොහැකි බව ඉන්දීය ක්‍රීඩාලෝලීහු පුන පුනා කියති.


ලෝක කුසලාන තරගාවලිය හැරුණු විට ඉන්දියාවේ වැඩිපුරම කතා වන මාතෘකාව බවට පත් වී ඇත්තේ ද මේ දෙදෙනා ගැනය. ඒ අතරතුරු ක්‍රීඩාලෝලීහු සාරාගේ සහ ෂුබ්මන්ගේ සමාන අසමානකම් ගැන ද කතා කරති.


ඇය දඟකාර යුවතියකි. යසඉසුරින් පිරුණු සැපවත් ජීවන රටාවක හිමිකාරිනියකි. රෝස මල් ඇතිරූ මාවතක් ඔස්සේ ළමාවියත්, යොවුන් වියත් ගෙවා දමමින් දැන් තාරුණ්‍යයට පා තබා සිටින සුකුමාල යුවතියකි. ඒ අතින් ෂුබ්මන් ඊට වෙනස්ය. ඔහු උපන්නේ පන්ජාබයේ ගොවි පවුලකය. ජීවිතය ජයගත්තේ වෙල් ඉපනැල්ලේ, ගොඩේ, මඩේ ක්‍රිකට් ගැසීමෙන් පසුවය. ඔහුගේ ළමාවිය ගෙවී ගියේ පවුලේ අඟහිඟකම් මැදය. ගමේ කොල්ලෝ කුරුට්ටෝ සමඟ වෙලේ බැස ක්‍රිකට් ගැසූ ෂුබාමන්ගේ ජීවිතය තවමත් එතරම් සරුසාර වී නැත. ඔහු ක්‍රිකට් ලොව දිග්විජය කිරීමේ අරමුණින් ලොකු සිහින මවමින් සිටින හැඩි දැඩි තරුණයෙකි. ඔහු පෙමින් බැඳෙන්නට ඇත්තේ ඇගේ දඟකාර පෙනුමට බවත්, ඇය පෙමින් බැඳෙන්නට ඇත්තේ ඔහුගේ සෙල්ලක්කාර ඇස්වලට වන්නට ඇති බවත් කියමින් දෙදෙනාගේ රහස් පෙම ගැන ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතර කතා බොහෝය. ෂුබ්මාන්ට වඩා සාරා අවුරුදු දෙකක් වැඩිමල් වීම වැනි ලාබ කතා ගැන නම් ක්‍රීඩාලෝලීන් වැඩිපුර සිතන්නේ නැත. ඇරත් සාරාගේ පියා සචින්ට වඩා ඇගේ මව අන්ජලී අවුරුදු 5ක්ම වැඩිමල්ය.


‘ආදරයට වයසක් නැත… සීමාවක් නැත… මරණයක් ද නැත..‘ සිත නවතින්නේ නොසිතන තැන්වලය. සාරාට සහ ෂුබ්මන්ට සිදු වී ඇත්තේ ද ඒ ටිකමය.


ලෝක කුසලාන තරගයෙන් තරගය ඉන්දීය පිලේ ජයග්‍රාහී බලාපොරොත්තු නැවුම් වෙද්දී සාරාගේ සිතේ ෂුබ්මාන් ගැන නැවුම් සිතුවිලි දහසක් උපදින බවට අලුත්ම නිදසුන වැඩි ඈතක නොවේ. එය සිදු වුයේ ඊයේ පෙරේදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය අතරතුරදීය. අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග කිහිපය මඟ හැරුණු ෂුබ්මන් ඒ වන විට යළි කණ්ඩායමට එක් වී සිටියේය. එය ඉන්දීය ක්‍රිඩාලෝලීන්ට වඩා සාරාගේ සතුටට හේතු වන්නට ඇත. සිරුරේ රුධිර පට්ටිකා අඩුවීමෙන් රෝහල්ගතව සිටියදී ‘Get well soon‘ කියා ‘එක්ස්‘ (එවකට ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩ පිට පණිවුඩ දැමූ සාරා එදා තරගය නැරැඹීමට පැමිණියේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ක්‍රීඩා මණ්ඩපයේ අසුන් ගෙන සිටියදී පවා ඇගේ දඟකාර දෑස් දිව ගියේ ඔහු වෙතය. බංග්ලාදේශ පිලේ පිතිකරුවන් දෙදෙනකු දවාගැනීමට ෂුබ්මාන් උඩපන්දු ඩැහැ ගනිද්දී ඇය අත්පොළොසන් දුන්නේ උඩ පැන පැනය. පිත්තෙන් දස්කම් පාමින් අර්ධ ශතකය වාර්තා කළ මොහොතේ ඔහු ක්‍රීඩා විවේකාගාරය දෙසට සුපුරුදු අයුරින් ආචාර කරද්දී ඇගේ සතුට දෝරේ ගලන්නට ඇත. ඇය ඔල්වරසන් දුන්නේ දහසක් ඇස් තමා වෙතට යොමු වී තිබූ බව වගේ වගක් නැති ගානටය.




ප්‍රේමය තිබුණේම එතැනය. හිත් පැටලෙන්නේම අනුන්ට කතා කරන්න යමක් ඉතිරි කරමිනි.


Previous Post Next Post