අපිව පාගලා ක්ෂේත්‍රය එපා කරවන පිරිසකුත් ඉන්නවා-දිනුෂිකා පතිරගේ




නුදුරේදීම සිනමාවට එළැඹීමට නියමිත මෙම සුරූපිනිය,  මේ වන විටත් ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලාවල අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින්නීය. කාලයකට පෙර මෙරට තුළ කතාබහට ලක්වූ ඡායාරූප රාශියකටම නිරූපණයෙන් දායක වූ මේ රුවැත්තියගේ සිහිනය වන්නේ සිනමාව තුළ සෙමෙන් නමුත් සාර්ථක ගමනක් යෑමයි. ඉදිරියේ ‘තිරගත වීමට නියමිත’ ‘මේක පුදුම කතාවක්’ හා ‘නුහුරු වෑයම’ යන චිත්‍රපට ද්විත්වය හරහා සිය සිනමා ආගමනය සිදු කරන ඇය නමින් තුශානි දිනුෂිකා පතිරගේය.


මුලින්ම ඔයා ගැන විස්තර ටිකක් කියලා ඉමු?


මම තුශානි දිනුෂිකා පතිරගේ, මම අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් එකෙන්. මම දැනට පෞද්ගලික ආයතනය රැකියාවක් කරන ගමන් ඉඩ ලැබෙන විධියට කලා කටයුතුවලටත් දායක වෙනවා.


ඔබ කලාවට සම්බන්ධ වුණු ආකාරය ගැන මතක් කළොත්?


ඇත්තටම මගේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ අය නෙවෙයි. නමුත් තාත්ති ඉස්සර කියලා තියෙනවා මගේ ආච්චි ඉස්සර වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබෙනවා කියලා. නමුත් මම හීනෙකින්වත් හිතුවේ නැහැ කලාවට සම්බන්ධ වෙන්න. මම එකපාරටම සිනමාට සම්බන්ධ වුණේ නෑ. දෙදහස් පහළොවේ වගේ මම යාළුවන්ගේ ක්ලෝතිංග් බ්‍රෑන්ඩ් කිහිපයකට නිරූපණයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම තව කෙටි වීඩියෝ කිහිපයක් සඳහාත් එකතු වෙලා තිබෙනවා. ඒවා හරහා තමයි මට මුලින්ම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කිහිපයකට ආරාධනා ලැබෙන්නේ.


රංගනයට කලින් ඔබ යොමු වෙන්නේ නිරූපණයට; එහි ආරම්භය මොන විධියටද සිද්ධ වුණේ?


මම පොඩි කාලේ හරිම ආසයි සෙල්ෆි ගන්න. නමුත් මට සෙල්ෆි ගන්න තරම් හොඳ ෆෝන් එකක් තිබ්බේ නැහැ. මම ඒ කාලේ මගේ යාළුවන්ගේ ෆෝන්වලින් ෆොටෝ ගන්නවා. ඒ කාලේ ඉඳන් මට ආසාවක් තිබුණා ප්‍රොෆෙෂනල් ෆොටෝ ග්‍රැෆර් කෙනෙක්ට කියලා ෆොටෝ ෂූට් එකක් කරගන්න. නමුත් දැන් වගේ ෆොටෝ ග්‍රැෆර්ස්ලා ගොඩක් හිටපු නැති ඒ කාලේ ඒකට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙන නිසා මම ඒක අමතක කළා. නමුත් එක්තරා අවස්ථාවකදී මම සමාජ මාධ්‍යවලට එකතු කරන මගේ ෆොටෝ දැකලා සජිත අබේගුණවර්ධන කියන ෆොටෝ ග්‍රැෆර් මට කතා  කළා ෆොටෝ ෂූට් එකක් කරන්න. මමත් ආසාවෙන් ඒ ෂූට් එකට එකතු වුණා. එතැනදී අපි කොස්ටියුම් කිහිපයකින් ෆොටෝ අරගෙන ඒවා කිහිප වතාවකට ශෝෂල් මීඩියා හරහා බෙදා ගත්තා. ඒ කාලේ ඒ ෆොටෝ ගොඩක් අය අතර ෂෙයාර් වුණා. ඒවට ලොකු අවධානයක් ලැබුණා. ඔය කාරණයත් එක්ක මට තව ෆොටෝ ෂූට් ගොඩකට ආරාධනා ලැබුණා. නමුත් මට අවශ්‍ය වුණේ නැහැ කරන්නන් වාලේ කරන්න. එතැනදී මට ගැළපෙන හොඳ ඒවා තෝරාගෙන කළා.


ඔබ ‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


ඇත්තටම මට මේක ගැන කියන්නේ චිලී තිවංක. එයා මට කතා කරල කියනවා මෙහෙම ඔඩිෂන් එකක් තිබෙනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඒ වෙනකම් මම ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ, ෂෝට් වීඩියෝවලට දායක වෙලා තිබෙනවා. මගේ ඊළඟ අරමුණ වුණේ සිනමාව. එතැනදී මට මේක හොඳ අවස්ථාවක් කියලා තේරුණු නිසා මම ඒකට සම්බන්ධ වුණා. මේ චිත්‍රපටයේ මම දායක වෙන්නේ ගීතයකට. ඔඩිෂන් එකට ගියාම මාව එතන තිබ්බ ඩාන්සින් ප්‍රැක්ටිස් එකටත් යොමු කළා. එතැනදී මගේ ප්‍රෆෝමන්ස් දැකපු මගේ ඩිරෙක්ටර් ශ්‍රීලාල් ප්‍රියදේව මාව තෝරාගෙන තිබුණා.


ඊට කලින් ඔබට සිනමාවට ආරාධනා ලැබිලා තිබෙනවද?


ඔව්. මේක පුදුම කතාවක් හරහා මම සිනමාවට ආවට ඊට කලින් නිර්මාණ දෙකකට මට ආරාධනා ලැබුණා. නමුත් ඒවාගේ චරිතවලට මම කැමැති වුණේ නැහැ. මම ආස නැහැ කරන්නන් වාලේ කරනවට. ඒක හොඳ ගැළපෙන චරිතයක් වෙන්න අවශ්‍යයි. ඒ වාගේම මගේ රූල්ස් කිහිපයකුත් තිබෙනවා. ඒ නිසාම ඒ නිර්මාණ දෙකට මම බැහැ කිව්වා. නමුත් මේ චිත්‍රපටයේ ගීතයක් නිසා ආරම්භයක් වශයෙන් ඒක සුදුසුයි කියලා හිතලා මම ඒක භාර ගත්තා.


ආධුනිකයෙක් විධියට මේ ක්‍ෂේත්‍රයේ මුහුණ දුන් අභියෝග මොනවාද?


සිනමාවට ආධුනිකයෙක් විධියට අපිට වැඩ කරන්න වෙන්නේ ගොඩාක් අත්දැකීම් තිබෙන ප්‍රවීණයන් සමඟ. ඇතැම් අය අත දීලා උදවු කරනවා. ආවට පස්සේ පාගලා අපිට මේ ඉන්ඩස්ටි්‍ර එක එපා කරවන පිරිසකුත් ඉන්නවා. එහෙම අය ගොඩක් මට හමුවෙලා තිබෙනවා. ඒ අයත් එක්ක හිනාවෙලා වැඩ කරපු එක තමයි ලොකුම චැලේන්ජ් එක. එතැනත් දෙපැත්තක්. සිය දෙනෙක් හිටියොත් ඔවුන් සියල්ලම එහෙම නැහැ. අපිට උදවු කරන, අත දෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මෙතැනදී කියන්න අවශ්‍යයි ඇක්ටිංග් සම්බන්ධයෙන්. ආධුනිකයෙක් විධියට මාත් එක්ක රඟපාපු අය මට ගොඩාක් උදවු කළා මගේ ඇක්ට් එක හරියට කරගන්න. ඒ වගේම ශ්‍රීලාල් ප්‍රියදේව මගේ අධ්‍යක්ෂවරයා මාව කොයි වෙලාවකත් ටෙන්ෂන් කළේ නෑ. එයා මගේ කැපෑසිටි එක අ¾දුනගෙන වැඩ කරන්න උදවු කළා. මට භාෂා ප්‍රශ්නය තිබුණත් ඔහු මට හැමදේම ඉගෙනගෙන ඉදිරියට යන්න ලොකු මෝටිවේෂන් එකක් දුන්නා.


ඔබ රංගනය සම්බන්ධයෙන් හැදෑරීමක් කරලා තිබෙනවද?


නැහැ. මම රංගනය පිළිබඳව හදාරලා නැහැ. නමුත් මම හිතනවා  රංගනය පිළිබඳව හදාරලා, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යාපනයක් ලබලා මෙතැනට ආවා නම් මීටත් වඩා හොඳ අවුට්පුට් එකක් දෙන්න හැකිවෙන්න තිබුණා.


ඔබ රංගන ශිල්පිනියක් වෙන්නද සිහින දැක්කේ?


මගේ පොඩි කාලේ සිහිනයක් වුණේ බිස්නස් වුමන් කෙනෙක්  වෙන එක. මොකද මගේ තාත්ති බිස්නස්මන් කෙනෙක් නිසා. ඒ වගේම මට හැමදාම අවශ්‍ය වුණේ විවාහ වෙලා හොඳ සතුටු පවුල් ජීවිතයක් ගෙවන එක. අදටත් ඒක තමයි මගේ මේන් ටාගට් එක. රංගනය කියන්නේ මගේ ජීවිතේ එක පොඩි කොටසක් පමණයි.


රංගනය සම්බන්ධයෙන් ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?


මම ආසයි යුනික් දේවල් කරන්න. දක්ෂ නිර්මාණකරුවෝ එක්ක වැඩ කරලා වෙනසක් කරන්න. මම ආසාවෙන් භාරගත්ත වැඩ කිහිපයක් තිබෙනවා. ඒවා සාර්ථක කරගන්න එක තමයි මේ දිනවල අරමුණ. ඒ වගේම මම එකම චරිතයකට කොටු වෙන්න ආසා නැහැ. මම ආසයි වෙනස් චරිත කරන්න අභියෝග භාර ගන්න. නමුත් ඒ සඳහා මමත් මගේ පාර්ශ්වයෙන් සූදානම් විය යුතුයි. මට ඉක්මනින්ම ගමනක් යන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය හෙමින් සාර්ථක ගමනක් යන්න. 


ඉදිරියේදී ඔබව දැකගන්න ලැබෙන නිර්මාණ මොනවාද?


‘මම සම්බන්ධ වුණු’ ‘මේක පුදුම කතාවක්’ ඉතාමත් ළඟදී තිරගත වෙනවා. එහි අධ්‍යක්ෂ ශ්‍රීලාල් ප්‍රියදේව, නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු. ඒ වගේම මගේ දෙවන චිත්‍රපටයත් තව මාස කිහිපයකින් වගේ තිරගත වෙයි. ඒක ‘නුහුරු වෑයම’. එහි අධ්‍යක්ෂණය සිදු කරන්නෙත් ශ්‍රී ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂතුමා විසින්. නිෂ්පාදකවරුන් නම් පස් දෙනෙක් සිටිනවා එයට. ඊට අමතරව මම භාරගත්ත තව සිනමා නිර්මාණ දෙකක් තිබෙනවා. ඒවා නම් වැඩකටයුතු අවසන් වෙන්න තව කාලයක් යනවා.


අක්ෂි මාපා වීරසිංහ





Previous Post Next Post