මේ ලැබුණු ප්‍රතිචාර නිසා රඟපෑම අතහරින්නේ නෑ යොවුන් -නදීපා රණසිංහ



‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය මේ දිනවල ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ වන විට එය විදේශයන්හි තිරගත වීම ද ආරම්භ වී තිබෙනවා. කතරගම දෙවියන් පිළිබඳ වන පුරාණ ඉතිහාසයේ පැවත එන කතා වස්තූන් ඇසුරින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ දීර්ඝ කාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් මෙම චිත්‍රපටය නිම වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා ද්විත්වය නිරූපණය කරනුයේ ඉන්දීය නළු නිළි යුවළකි. කතරගම දෙවියන්ගේ එක් බිරියක වූ ‘දේවයානි’ ගේ චරිතය නිරූපණය කරනුයේ නදීපා රණසිංහය. මේ චිත්‍රපටය පිළිබඳත් ඇගේ කලා දිවිය පිළිබඳත් කළ කතා බහකි.


 ‘කදිර දිව්‍ය රාජ’ චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?


මම මිසිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කරල මිසිස් යුනිවර්ස් තරගාවලියට සහභාගි වෙලා එහි මිසිස් යුනිවර්ස් පර්ෆෙක්ට් වුමන් කියන අන්තර්ජාතික නාමය මම හිමිකර ගන්නවා. මෙම ජයග්‍රහණය පිළිබඳ පුවත්පත්වල පළවෙනවා. එසේ පළවුණු ලිපියක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නෙත ගැටී තිබුණා. මේ කාලය වන විට මහාචාර්ය තුමන් ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය නිර්මාණය කරන්නට සැලසුම් සකස් කරමින් සිට තිබෙනවා. ඒ වනවිට ඔහු දේවයානි ගේ චරිතය නිරූපණය කරන්නට කෙනෙක් හොයමිනුයි ඉඳල තියෙන්නේ. මේ වෙලාවේ තමයි පුවත්පතක පළවුණු මගේ ලිපිය දැකලා ඔහු මට මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. මුලින්ම මම ස්ක්‍රීන් ටෙස්ට් එකකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔහු මාව මේ චරිතය සඳහා තෝරගත්තා. ඔය විදයට තමයි මට ‘කදිර දිව්‍ය රාජ’ චිත්‍රපටයේ දේවයානිගේ චරිතය ලැබෙන්නේ.


 


මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයේදී ඔබ ලැබූ අත්දැකීම් මොනවාද?


ඇත්තටම ඔහුගේ අධ්‍යක්ෂණ කාර්ය හරිම නම්‍යශීලියි. ඔහු පිළිබඳ විශේෂයෙන් අපට දැනෙන කාරණා ටිකක් තිබෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම ඔහු මහාචාර්යවරයෙක්. ගුරුවරයෙක් කියන කාරණාව අපට නිතරම මතක් වෙනවා. අපි ඔහුට බෙහෙවින් ගෞරව කරනවා. මේ කාරණත් එක්ක ඔහු සමඟ වැඩ කිරීම මට ලොකු අධ්‍යනයක් කරන්න ලැබුණු අවස්ථාවක් වුණා. ඇත්තටම ඒක එක විදියකින් අපට රංගන පාසලක් වුණා.


මම මීට කලින් එතුමාව දැන හඳුනාගෙන, ආශ්‍රය කරල තිබුණේ නෑ. ඒ නිසා මම කල්පනා කළා මෙතුමා කොහොම කෙනෙක් ද කියන එක ගැන. සැර පරුෂ කෙනෙක් ද දන්නේ නෑ. ආඩම්බර කෙනෙක් ද දන්නේ නෑ. නමුත් එතුමා මුණ ගැහුණම ඒ සියලු සැක සංකා මට දුරු වුණා. එතුමා හරිම නිහතමානි කෙනෙක්.


අපිට මුලින්ම ස්කි‍්‍රප්ට් එක දුන්නා කියවන්න. ස්කි‍්‍රප්ට් එකේ ගැටලු තැන්, නොතේරෙන තැන් විග්‍රහ කරගන්න, ඕන තරම් කතා කරන්න. තේරුණේ නැතිනම් ආයේ අහන්න එතුමා අපිට ඕන තරම් අවස්ථාව ලබා දුන්නා. සෙට් එකට ගිහිල්ලා වුණත් ඒ දේවල් නිරාකරණය කරගන්න අපට පුළුවන් වුණා. මගේ චරිතය තුළ මට අඬන්න තිබෙන අවස්ථා කිහිපයක් තිබුණා. දේවයානි චරිතය හරියට සංවේදි වන අවස්ථා තිබෙන චරිතයක්. සර් ගේ ස්ක්‍රිප්ට් එකේ තිබෙන විදියට මට ග්ලිසරින් දාල අඬන්න බෑ. එතකොට කඳුළු පෙරනවා. මට තියෙන්නේ රූපගත කරන අතරතුර සංවේදීව මගේ ඇසට කඳුළක් එන්න ඕන. ඒ චරිතයට මනසින් අවතීර්ණ වෙලා එතන හිටියොත් තමයි කඳුළක් එන්නේ. ඉතින් ඒකට ඇත්තටම අධ්‍යක්ෂවරයාගේ සහයෝගය අවශ්‍යයි. අධ්‍යක්ෂවරයා එක්ක බොහෝ දේ කතාකරන්න ඕන. මේ චරිතය කොහොමද ඩිවලොප් වෙන්නේ කියලා. අපි චරිතයකට යන්නේ මැද්දෙන්නේ. නමුත් මේ හැම චරිතයකටම අක්මුල් තිබෙනවා.චරිතය ගොඩනැගෙන විදිහක් තිබෙනවා. ඉතින් ඒකත් අහගන්න වෙන්නේ අධ්‍යක්ෂවරයාගෙන්ම තමයි. ඒක ඇත්තටම අහන්න ඕන තිරපිටපත ලියපු කෙනාගෙන්. තිර පිටපතක් ඔහුගේම නිසා අපි ඔහුගෙන් ඒ ටික අහන කොට සර් එහි අක්මුල් නෑර අපිට විග්‍රහ කරනවා.


දේවයානි මෙහෙම කෙනෙක්. එයාගේ අම්මා, තාත්තා මෙහෙමයි කියල සියල්ලම කියලා දෙනවා. ඇත්තටම දේවයානි චරිතය පිළිබඳ මිනිස්සුගෙන් ලොකු ප්‍රතිචාර තිබෙනවා. සමහරු ඒ චරිතය ගැන කවි හදලා මගේ ෆේස්බුක් එකට එවනවා. මගේ වාසනාවට මට ලැබුණු ඒ චරිතයේ, තිබුණු ආදරය, සංවේගජනක කාරණා වල්ලි සහ කදිර දිව්‍යරාජගේ ආදරය දිහා දේවයානි බලන විදිය, ආදරය කැප කරන ආකාරය කියන මේ සියල්ල ගැන කවි ලියල මිනිස්සු මට එවනවා. මට තිබෙන සතුට තමයි ඒ චරිතයට ඒ විදියට එන්න පුළුවන් වුණේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලොකු ගවේෂණයක් කරල, අධ්‍යයනයක් කරල තිබුණා. මම එතුමාගෙන් චරිතය ගැන අහද්දි මේ චරිතය ගැන ඔහු මුල ඉඳන්ම මට කියලා දෙනවා. එතකොට මම දන්නවා ඇයට සංවේදනා එන්න ඕන ආකාරය. කොහොමද එයාට කඳුළක් එන්න ඕන කියලා. එයා කඳුළු පෙරාගෙන අඬනවිට වඩා හැගීම් සමුදායක් හදවතේ තියාගෙන, කඩා වැටෙන්න කඳුළක් බැරිම තැනකදි එන කෙනෙක් කියලා මම දැනගෙන හිටියා. ඒ දේ මා තුළ ඇති කළේ අධ්‍යක්ෂවරයා ඒ වගේම මේ වෙලේ මතක් කරන්න ඕන කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය ඇතුළු මේ මුළු කණ්ඩායමෙන්ම ඉහළ සහයෝගය මට ලැබුණා. මේ සහයෝගය නිසා තමයි මට සාර්ථකව දේවයානි චරිතය කරන්න ලැබුණේ.


දේවායනිගේ චරිතය ඔබට අභියෝගයක් වුණාද?


ඔව්. දේවයානිගේ චරිතය මට අභියෝගයක් වුණා. මම චරිතය මුලින් දකින කොට ඒක අස්සේ නදීපා රණසිංහ නැහැ. එතැන ඉන්නේ දේවයානි විතරයි. ඒක වෙනම ආකාරයක දේව චරිතයක්. දේව චරිතයක් කිව්වම මිනිස්සු හැසිරෙන විදියට දඟලන කරන චරිතයක් නොවෙයි. දේව චරිතයක් වුණාම ඒ චරිතයට ආවේණික සුවිශේෂී ගුණංග තිබෙනවා. චිත්‍රපටය බලත්දි ඒවා මිනිස්සුන්ට දැනෙන්න ඕන. සිනමාව කියල කියන්නේ පේන දේ සහ කතා කරන දෙබස්ම නොවෙයි. සිනමාව කියල කියන්නේ පේන දේට එහා දෙයක් මිනිස්සුන්ට දැනෙන්න ඕන. දුක පෙන්නුම් කිරීමේදී ‘මට දුකයි’ කියන දෙබසට වඩා ඒ ස්වරය තුළ ඇත්තටම දුක තිබෙනවද? ඒක මිනිස්සුන්ට දැනෙනවාද? ඒක හරි වැදගත් සිනමාවේදි අපි දකිනදේට, අපි කතා කරන දේට වඩා දෙයක් දෙන්න. ඉතින් ඒක මට ඇත්තටම අභියෝගයක්. මොකද මට ලැබුණු චරිතය ඇතුළේ ඒක අභියෝගයක්. මම ගොඩක් මහන්සි වුණා. ස්ටඩි එකක් කරලා තමයි දේවයානි චරිතයට යම් කිසි සාධාරණයක් කළා නම් කළේ.


ඔබ කලාවට පිවිසෙන්නේ කොයි ආකාරයටද?


මම පුංචි කාලෙදිමයි කලාව පැත්තට යන්නේ. ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියෙන් තමයි මම මේ පැත්තට එන්න පටන් ගත්තේ. හරි විදිහට හොඳ අධ්‍යයනයකුත් එක්ක. අපි මහින්ද අල්ගම මහතා සහ සුනීතා වික්‍රමගේ මහත්මිය තමයි අපිට ඒ කාලේ පුහුණු කළේ. මහින්ද අල්ගම මහත්තයාට අපි කිව්වේ මහින්ද මාමා කියලා. එතුමා අද ජීවතුන් අතර නෑ. නමුත් මම හැම මොහොතකම ඔහුට පින් දෙනවා. මොකද මම නිකම්ම නිකං ගමක ඉඳලා ඇවිල්ලා ළමා පිටියේදි ඒ ලැබුණ පුහුණුව මට ලොකු දෙයක්. ඒ දවස්වල ගුවන් විදුලි රඟමඩල, පෝදා නාට්‍යය ළමා නාට්‍ය කළා. මම පුංචි ළමයෙක්ව ඉන්න කාලේ මම ලොකු ලොකු නාට්‍ය කළා. මට ලොකු අවස්ථාවන් දුන්නා. එහෙම වුණේ ලොකු අවස්ථාවන් දෙන්න හොඳ හදවතක් තිබුණ මිනිස්සු. දක්ෂතාවයට තැන දෙන මිනිස්සු ඒ නිසි වයසේදි හම්බ වුණ නිසා. ඒ වාසනා ගුණයත් එක්ක ගුවන් විදුලියෙන් පස්සේ රූපවාහිනි සංස්ථාවේ ටයිටස් තොටවත්තයන් සමඟ හඬ කැවීම් සඳහා පුහුණු වුණා. විශේෂයෙන් අතුල රන්සිරිලාල් මහත්තයාව මතක් කරන්න ඕන. එහෙම තමයි මගේ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිවේදනය, මුතුහර ළමා සමාජය, ස්වර්ණවාහිනියේ ඉන්න කාලේ මට ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ආවා. ඒක මම බාර ගත්තා. නමුත් ඒ වනවිට මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබනවා. එතකොට මට තරාදියකට දාලා කිරන්න වුණා. මට තේරුණා ඒක අධ්‍යයනයක් එක්ක කරන්න අමාරුයි කියලා. ඒ නිසා ඒ වගේ ලැබුණු චාන්ස් මගේ අධ්‍යාපනයත් එක්ක මට අතහරින්න සිද්ධ වුණා. මම හරි ආසයි රඟපාන්න. පොඩි කාලේ ඉඳලම ඒකට දක්ෂතාවයකුත් තිබුණා. නමුත් මගේ අධ්‍යාපනයත් එක්ක ඒක මට සමබර කරගන්න බැරි වුණා. නමුත් නීතිඥ වෘත්තිය තුළ හමුවුණ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මිසිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ තමයි මේ කැප කිරීම කරන්න මට පුළුවන් වුණේ. ඉස්සරහට වුණත් චිත්‍රපටයක් කළාත් එය ඉවරවෙන තුරු මම ඒකේ ඉන්න ඕන. මම දේවයානි චරිතය කළෙත් ඒකටම කැපවෙලා. ඒක නිසා වෙන්න ඇති මට ඒ චරිතයට මේ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක මම හීනෙක්වත් නොසිතූ දෙයක්.


මේ දවස්වල මම ජීවත්වෙන්නේ මැලේෂියාවේ. මගේ හස්බන්ඩ් මේ දවස්වල මෙහේ ඉන්නේ. අපි හිතාගෙන ඉන්නවා මෙහෙත් මොනව හරි වැඩක් කරන්න. කලාව අපිට කවදාවත් අතහරින්න බෑ.


සිනමා රංගනය ඔබ දීර්ඝව කරගෙන යනවද?.


රඟපෑමට මම පුංචි කාලේ ඉඳලම හරිම ආසයි. ඉස්සරහට අපි මැලේෂියාවෙදි කෙටි චිත්‍රපටයක් කරන්න ඉන්නේ. මේ රට ඇතුළේ හරි ලස්සන තැන් තියෙනවා. මට අවුරුද්දට මාස තුනයි නිවාඩු තියෙන්නේ. අපේ‍්‍රල්, අගෝස්තු, දෙසැම්බර් කියන මාස. මම හොඳ චිත්‍රපටයක් බාර ගත්තොත් මට මේ වැඩ නවත්තලා එන්න විදිහක් නෑ. මොකද ඒ තියෙන නිවාඩු හැර වෙන නිවාඩු ගන්න විදහක් නෑ. මම දැන් හිරවෙලා ඉන්නවා ‘මායා දොරටුව‘ කියන වැඩසටහනට. ඒක මගේ වැඩසටහනක්. ඒකත් කරගෙන යන අතරතුර මගේ වැඩිදුර අධ්‍යාපනයත් මෙහේ කරගෙන යනවා. මම මොනවහරි දෙයක් කරනවා නම් ඒ ඔක්කොම නවත්තලා ලංකාවට ඇවිත් කරන්න ඕන. ඉතින් ඒක ලේසි දෙයක් නොවෙයි. නමුත් මම රඟපාන්න නැහැ කියනවා නම් ඒක මගේ හදවතට එකඟව කියන දෙයක් නොවෙයි. මම කදිර දිව්‍ය රාජ කළේ අන්තිම චිත්‍රපටය කියල හිතාගෙන. නමුත් දැන් ලැබෙන ප්‍රතිචාර එක්ක, ඉඳල හිටලා හරි කරන්න ඉඩ තියෙනවා. රඟපෑම අත හරිනවා කියල කියන්න බෑ. ඒක අනාගතයට බාර දෙනවා.


දැන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේ ද?


ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට හිතාගන්නවත් බෑ. මගේ කුමක්දෝ භාග්‍යයකට ලැබුණ දෙයක්. ‘දේවයානි’ මිනිස්සු පුදුම විදියට වැලඳගෙන තිබෙනවා කියලා. මිනිස්සු එවන කවිවලින් තේරෙනවා. ඒක මට හිතාගන්න බැරි දෙයක්. පුංචි දරුවෝ පවා කතා කරනවා. තරාතිරමක් නොමැතිව, වයස් භේදයක් නොමැතිව මේ චරිතයට ආදරයක් ලැබෙනවා.


ඉදිරියටත් කලාවේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවද?


කලාව කියන්නේ ලෝකෙටම අයිති දෙයක්. ඒක මට විතරක් අයිති දෙයක් නොවෙයි. අනිවාර්යෙන්ම කලාවේ රැඳෙනවා.


ඔබේ පවුල් පසුබිම කොයි වගේද?


මම නීතිඥවරියක්. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් විදියට දිවිරුම් දීලා සෑහෙන කාලයක් නීතිඥවරියක් විදිහට වැඩ කරනවා. නමුත් ඊට පස්සේ මගේ ආසාවක් තිබුණ මනෝ විද්‍යා පැත්තට. ඒක නිසා ඒක කරන්න මම යොමු වෙනවා. විවිධ භාවනා ක්‍රම, විශේෂයෙන් ආධ්‍යාත්මික ජීවිතයකට මම නැඹුරු වෙනවා. මීට අවුරුදු ගාණකට කලින්. බෞද්ධ දර්ශනය විතරක් නොවෙයි විවිධ දර්ශන හදාරන්න යොමු වෙනවා. මම MIndfulness   ඉගෙන ගන්නවා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හරහා. මැලේසියාවේදිත් මම මනෝවිද්‍යා සම්බන්ධ වැඩිදුර අධ්‍යයනයේ නියුතු වෙනවා. දැන් මම වෘත්තියෙන් Life Couch කෙනෙක්. ඒ කියන්නේ පුද්ගල පරිවර්තන උපදේශිකාවක්. මට පුළුවන් කෙනෙක්ව පරිවර්තනය කරන්න ඔහුගේ හෝ ඇයගේ හොඳම Version  එකට. මම ඉගෙන ගෙන තිබෙන්නේ එහෙම.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?


එහෙම ලැබෙන්න දැන් තමයි මම කරළියට ආවේ. තවම ලැබිලා නම් නෑ. දේවයානි චරිතයෙන් පස්සේ ටෙලි නාට්‍යවලට දායක වෙන්න නම් අදහසක් නෑ. සිනමාවට තමයි මගේ වැඩි කැමැත්ත තිබෙන්නේ. මම දීපා මෙහෙතා අධ්‍යක්ෂණය කළ Funy Boys  චිත්‍රපටයේ කුඩා චරිතයකට දායක වුණා. ඇයම තමයි මාව සම්මුඛ පරීක්ෂණයෙන් පස්සේ ගත්තේ. ඇත්තටම ඒක තමයි මගේ පළමු සිනමා අත්දැකීම, ඊට පස්සේ මම ‘ගුරු පඬුරු’ කියලා කෙටි චිත්‍රපටයක රඟපෑවා. චමත් පරණවිදාන අධ්‍යක්ෂණය කළ ‘ක්ලේෂ්’ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ කෙටි චිත්‍රපටයට අන්තර්ජාතික සම්මාන 13ක් ලැබුණා. ඒ 13න් එකක් තමයි ඕඥඵබ චජබධප කැටගිරි එකේ තිබෙන  Outstanding Performing Actress Award එක මගේ චරිතයට ලැබෙනවා. ඒකත් මට ලොකු ආශිර්වාදයක් වුණා.


චිත්‍රපටය තිරගත වන මොහොතේ ඔබ විදේශගතව සිටීම ඔබේ සිනමා ගමන් මඟට පාඩුවක් නොවෙයිද?


මේ කතාබහ කරන්නෙත් මැලේෂියාවේ ඉඳලා චිත්‍රපටය තිරගත වන වෙලාවෙත් මැලේෂියාවේ ඉඳලා චිත්‍රපටය තිරගත වන වෙලාවෙත් මැලේෂියාවේ හිටියේ මොකද මගේ විභාග කටයුතු නිසා එන්න විදිහක් නෑ. මගේ විශ්ව විද්‍යාලයේ ඉන්න විදේශිකයන් බලාගෙන ඉන්නවා මේ චිත්‍රපටය බලන්න. මට කිසිම බාධාවක් වුණේ නෑ මං ගැන තොරතුරු ලංකාවට කියනවා. එහෙම මාධ්‍ය තියනතුරු අපිව තනිවෙන්නේ නෑ. මිනිස්සුව සුවපත් කරන කෙනෙක් විදිහට මට විභාගය හරි වැදගත්. නැතිනම් මම හරිම ආසයි නිළියෝ විදියට එතැනට ඇවිත් ඉන්න.






 

Previous Post Next Post