ඔහු, මට කලාවෙන් ඈත් වෙන්න කියන්නේ නෑ - රූමලී ගමගේ




නිරුපිකාවක් ලෙස වෙළඳ දැන්වීම් රැසකටම පෙනී සිටීමෙන් කලාවේ ඇයගේ ගමන ආරම්භ වුවාය. මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් (Miss Sri Lanka World)තරඟයේ අවසන් වටයෙන් පසුව ටෙලි නාට්‍ය රංගනයටද අවස්ථාව උදා වුවාය. ඒ දෙරණ රුපවාහිනී සේවය මඟින් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයක් තුළිනි. මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවෙන්ම ඈ අපේ ආලින්දය සරසන්නීය. ඒ සතියේ දිනවල රාත්‍රී 08.30 ට විකාශය වන ජනප්‍රියම යොවුන් ටෙලි නාට්‍යය වන දෙවෙනි ඉනිමේ දිලුක්ෂි හෙවත් රදීෂ්ගේ අක්කා වන බටහිර පන්නයට හැඩගැසුණු, එවන් සිතුම් පැතුම් ආකල්ප වලින්යුත්, එවන් රටක ජීවිතේ වැඩි කාලයක් ජීවත් වූ යුවතියක් ලෙසිනි. නිරූපණයෙන්, රංගනයෙන් ඉහළ ජනප්‍රියත්වයක් මේ වන විටත් ලබාගෙන ඇති ඇය යොවුන් රංගන ශිල්පිණී රූමලී ගමගේ නම් වන්නීය


මුලින්ම පවුලේ විස්තර කිව්වොත්.


අම්මයි, තාත්තයි, මමයි, නංගියි, මල්ලියි තමා පවුලෙ ඉන්නෙ. අපි පදිංචි වෙලා ඉන්නේ හැව්ලොක් ටවුන් වල.


රූමලී පාසල් ගියේ


Royal Institute International School


කලාවේ ගමන ආරම්භ වුණේ කොහොමද?


2018 වසරේදී මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් (Miss Sri Lanka World)  තරඟයට ඉදිරිපත් වෙනවා. අනතුරුව මට වෙළඳ දැන්වීම්වලට පෙනී සිටින්නට අවස්ථාව ලැබුණා. ඒ අයුරින් තමා කලාවේ මගේ ගමන ආරම්භ වෙන්නේ.


ගෙදර අය රූමලී කලාවට එනවට කැමති වුණාද?


ඉගෙන ගන්න කාලේ ඒවාට යොමු වෙන්න මට ගෙදරින් ඉඩ දුන්නේ නෑ. උසස් පෙළින් (A/L) පස්සේ තමා මේ සඳහා මගෙ තාත්තාගෙන් අවසර ලැබුණේ.


දැන් එතකොට පූර්ණ කාලීනව කලාවට කැප වෙලාද ඉන්නේ?


කලාවට පූර්ණ කාලීනව නම් යොමු වෙලා නෑ. මේ වනවිට මම නීතිඥවරියක් වීමට අදාළ හැදෑරීම් කටයුතු සිදු කරගෙන යනවා. එල්. එල්. බී. (LLB - RIC)  එකේ.


රූමලී ගමගේ කියන නීතිඥවරිය කරළියට එන්නෙ කවද්ද?


ම්.. තව අවරුදු දෙක තුනකින් (2-3) විතර වගේ


ඒ කියන්නේ අපිට අනාගතේ රූමලී ගමගේ කියන රංගන ශිල්පිනිය නැති වෙලා ඇය නීතිඥවරියක් ලෙස ඉස්මතු වෙයිද?


එහෙම වෙන එකක් නෑ අයියෙ, මම මේ දෙකම ඉදිරියටත් සමබරව කරගෙන යාවි.


මේ දවස්වල දෙවෙනි ඉනිමේ දිලුක්ෂි හෙවත් රදීශ්ගෙ අක්කා හරිම ජනප්‍රිය වෙලා නේද?


ඔව් ගොඩක් දෙනාගෙන් එයට ප්‍රතිචාර රැසක්ම ලැබෙනවා අයියෙ. සමහර අය අහනවා ඒ ඔයාමද අනේ අපිට හිතාගන්නවත් බැ කියලා. ඒ ප්‍රතිචාර දිහා බලනකොට මම පුදුම විදිහේ සතුටක් ලබනවා.


රූමලී ගමගේ දෙරණටම කොටු වෙලා ඒකෙ නාට්‍යය වල විතරමයි දකින්න ලැබෙන්නේ කියලා ප්‍රේක්ෂකයෝ කියනවා.


මම බිහි කළ තැන තමා එතැන. අනිවාර්යයෙන්ම මම එයට ගරු කළ යුතුයිනේ. ඉතින් මම කාලෙක ඉඳලම දෙරණත් එක්ක රැඳීලා ඉන්නවා.


මේ රාමුවෙන් එළියට එන්නේ කවද්ද?


දැනටමත් මට විවිධ නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙන්නෙ. මේ දිනවල ඒවා ගැන අධ්‍යනය කරමින් සාකච්ඡා කරගෙන යනවා. ඉදිරියට මාව වෙනත් නාලිකා වල නිර්මාණවලිනුත් දකින්න ලැබේවි. චිත්‍රපට දෙකකුත් ඒවා අතර තියෙනවා.


දෙවෙනි ඉනිම සඳහා රූමලීට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


සමන් එදිරිමුණි අයියා (දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රචක) තමා මට ඒ සඳහා කතා කරන්නෙ.


මෙහි ඔබ රඟපාන චරිතය ගැන සඳහන් කළොත්.


රදීශ්ගෙ අක්කා දිලුක්ෂි එයා වැඩි හරියක්ම පිට රටක ජීවත් වුණු, එහි ජීවිකාවට හැඩ ගැසුණු කෙනෙක්. ඒ රටට, එහි ජීවන රටාවට තමා ඇය වඩා කැමති. තමන්ගේ මල්ලි මේ රටේ මේ ගොඩේ කෙල්ලෙක් යාළු කර ගැනීමට විරුද්ධව ඇය විවිධ දේවල් කියනවා. එයට අකමැති කෙනෙක් මෙන්ම ටිකක් අමුතු විදිහෙ අයෙක්. හැබැයි ඇය තම මල්ලිට ගොඩක් ආදරේ කෙනෙක්. ඒකයි ඒ විරුද්ධ වෙන්නෙත්.


රංගනයේදී ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය කොහොමද?


එහි මගෙ තාත්තට ඉන්න සුදත් ඇන්තනී අංකල්, ඒ වගේම අංජුලා අක්කා ඇතුළු ප්‍රවීණ සියලුම දෙනා මෙන්ම සෙට් එකේ හැම දෙනාම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ප්‍රවීණයන්ගෙන් විවිධ දේවල් ඉගෙන ගනිමින් මම මෙහි වැඩ කටයුතු කරගෙන යනවා.


මෙහි රූගත කිරීම් වලදී විශේෂ සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද?


මාත් එක්ක මගේ අම්මා හැමවිටම රූගත කිරීම් වලට එනවා යනවා. මගේ අම්මත් එක්ක මටත් වඩා හොඳ යාළුවෙක් විදිහට ඉන්නෙ අංජුලා අක්කි. (දෙවෙනි ඉනිමේ අවන්තගේ මව ලෙස රංගනයේ යෙදෙන ජනප්‍රිය රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂ මහත්මිය) මම ආපු ගමන් ඇය අහනවා “කෝ අම්මා ආවේ නැද්ද” කියලා.


රූමලී මේ වෙනකොට පෙම්වතියක්ද?


දැන් වසර ගාණක ඉඳලා මං පෙම්වතියක්. ඒක පාසල් කාලයේ ඉඳලම තමා ආරම්භ වුණේ.


ඔහු ගැන විස්තර කිව්වොත්.


ම්.. පස්සෙ ඔහු ගැන විස්තර කියන්නම්. දැන්ම ඒ ගැන මාධ්‍යයට කියන්න බැ.


දෙන්නගේ විවාහය සිදු වෙන්නේ කවද්ද?


ඒක තවම අපි හරියටම තීරණය කරලා නැහැ.


වෙඩින් එක අපිටත් කියනවා නේද?


අනිවාර්යනේම ෂුවර්. නොකියා කොහොමද.


මේ විවාහයෙන් පස්සේ මහත්තයා ඔයාට කලාවෙන් ඈත් වෙන්න කියයිද?


නැ එයා මුල ඉඳලම මට සපෝට් එක දුන්නා මේ වැඩ වලට. මුලින්ම මම මේ ක්ෂේත්‍රයට එන්න හිටපු කාලයේ ගෙදරින් අම්මා, තාත්තා පවා විරුද්ධ වෙද්දි ඔහු තමයි මට හැම දේකටම පිහිටට හිටියේ. විටෙක වැඩිහිටියෙක්, යාළුවෙක් ලෙසින් මගේ ළඟින් දිගටම ඉන්නවා. අදත් හෙටත් එහෙමයි. මට ෂුවර් ඔහු මට කලාවෙන් ඈත් වෙන්න කියන්නෙ නැ කියලා.






 


Previous Post Next Post