කෑකෝ ගහන අය කියන ඒවා මට ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ-රවීන් කනිශ්ක




ගායකයෙක් ලෙසින් රසික හදවත් දිනා ගනිමින් කලාවට පය තැබූ ඔහු අවසානයේ මෙරට ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා සම්මානයද කිහිප වරක් දිනා ගන්නට සමත් වූවේය. ඇතැමෙක් ඔහුගේ හඬට හා විශිෂ්ට ගායන පෞරුෂයට ප්‍රිය කරද්දී තවත් අයෙක් ඔහුගේ නළු භූමිකාව ප්‍රිය කළෝය. මේ වන විට රංගන හා ගායන භූමිකාවලින් ඔබ්බට පූරකයෙක් ලෙසින්ද ඔබ හමුවට එන ඔහු රවීන් කනිශ්කයි. 


අලුත් තොරතුරු කියලම ඉමු?


මේ දවස්වල දෙවෙනි ඉනිම දෙවැනි සීසන් එකේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව චිත්‍රපටයක වැඩ කටයුතු කරගෙන යනවා. තව අලුත් ගීත  වගයක් කරමින් පවතිනවා. ඒ අතර විදෙස් සංචාර යනවා, ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. ඔය දේවල් එක්ක තමයි මේ දවස් ගත වෙන්නේ.


ඔබේ අතින් රවීන් කනිශ්ක කියන ගායකයාට අපරාධයක් සිදුවුණා කිව්වොත්?


අපරාධයක් නෙවෙයි වුණේ. රවීන් කනිශ්ක කියන ගායකයාට දේවල් ඉගෙන ගන්න, අත්දැකීම් ගන්න කාලයක් දුන්නා පමණයි. 


ගායකයෙක් විධියට කරළියට ඇවිත් නළුවෙක් වූ අයෙක් ඔබ, මේ වෙද්දි වැඩි රුචිකත්වය කුමක් සඳහාද?


මුලදි නම් මට රඟපාන්න හිතකවත් තිබුණු කෙනෙක් නෙවෙයි. හැබැයි පස්සේ කාලෙක රඟපාන්න ආවා සහ ඒ නිසා ගොඩක් දේ හිමි වුණා. තාමත් ලැබෙනවා. ඉදිරියටත් ලැබෙයි. නමුත් මම පෞද්ගලිකවම ආසා කළේ සංගීතයට. හැබැයි දැන් වෙද්දි දෙකටම ගොඩක් ආසයි. දෙකම ගැන හොයනවා, ඉගෙන ගන්නවා, ස්වයං අධ්‍යයනයන් කරනවා. අභ්‍යාසයන් කරනවා සහ පර්යේෂණාත්මක නිර්මාණ කරන්න පටන් ගෙන තිබෙනවා. මේ වෙද්දි දෙකටම එක වගේ ආදරෙයි. හැබැයි දශමයක වගේ වැඩි කැමැත්තක් තිබෙනවා සංගීතයට.


මේ වෙද්දි ඔබ රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා තිබෙනවද?


මගේ ගුරුවරයා අද වෙනතුරු මම. මේ වෙනකම් කිසිම දේකට මට ගුරුවරයෙක් ඉඳලා නැහැ. සංගීතයේදී, රංගනයේදී සෑම දේකදීම ස්වයං අධ්‍යයනයන් කළේ. අදටත් ඒ දේවල් කරගෙන යන්නේ මම විසින්මයි. මගේ අත්දැකීම් සහ මම තනියම කරන ගවේෂණ හරහා තමයි ඒ දේවල් මගේ දැනුමට එකතු කරගන්නේ සහ නිර්මාණයක් කරද්දි ප්‍රායෝගිකව යොදා ගන්නේ, අත්හදා බලන්නේ. සංගීතය සහ රංගනය තනියම හදාරන්න තීරණය කළේ ගොඩක් කාලෙකට කලින්.  ඒක ඉදිරියටත් එහෙම වෙයි.


වසර ගණනක් එකම නාට්‍යයකට කොටුවී සිටීම චරිතාංග නළුවෙක් ලෙස ඉදිරියට ඒමට බාධාවක් නොවේද?


චරිතාංග නළුවෙක් විධියට මට ලැබෙන අවස්ථාවන් මඟහරින්නේ නැහැ. ළඟම  උදාහරණය ලෙස ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපටය ගන්න පුළුවන්. එහි හිටියේ අනුහස්වත් රවීන්වත් නෙවෙයි. වෙනම කෙනෙක්. ඒ වගේම ලැබෙන අවස්ථාවලදි සහ එවැනි නිර්මාණවලදි  ඒ වගේ  දේවල් අත්හදා බලනවා ඇරෙන්න කෙනෙක් චරිතාංග නළුවෙක් විය යුතුමයි. චරිතාංග නළුවෙක් මෙගාවල ඉන්න හොඳ නැහැ, මෙගා නළුවෝ චරිතාංග කරන්න හොඳ නැහැ වගේ අදහස්වල මම නැහැ. අවස්ථාව අනුව ගැළපෙන දේවල් බාරගෙන කරනවා. එහෙම නැතිව එවැනි දේවල් ගැන මම ලොකුවට හිතන්නේ නැහැ.


එහෙමනම්  චරිත තෝරා ගනිද්දි සැලකිලිමත් වෙන්නේ මොන වගේ කරුණු සම්බන්ධයෙන්ද?


දෙයක් කරන්න පුළුවන් නම් සහ ඒ කරන දේවල්වලට රසික ප්‍රජාවක් ඉන්නවා නම්, ඒවගෙන් අපිට හැම අතින්ම ලාබ ප්‍රයෝජන තිබෙනවා නම්, ගොඩක් ලොකුවට සංකීර්ණ කරගන්න අවශ්‍ය නෑ. තිබෙන විධියට කරගෙන යන්නයි තිබෙන්නේ. ජීවිතය අපිව තැන් තැන්වලට අරගෙන යයි. ඒ යන අතර දේවල් කරගෙන පාඩුවේ යනවා. ඔය දේවල් ගැන මම ලොකුවට සිතන්නේ නැහැ. අනුහස් නිසා මට කවදාවත් නරකක් වෙලා නැහැ. වුණු තරමක් වුණේ හොඳ. වාර්තාවලට අනුව ඒ මෙගා නාට්‍යය ගත්තොත් ඒක තමයි ලංකාවේ අදටත් වැඩිම පිරිසක් නරඹන අඩ හෝරාව. ඒකම ඇති ඉතිං. ඔය කෑකෝ ගහන සුළුතරය කියන දේවල් මට ඇහෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ. සාමාජ මාධ්‍යවල කැරකෙන්නේ බහුතර මතය නෙවෙයි. එළියට බැහැලා බලන්න අවශ්‍යයි සැබෑ තත්ත්වය. දත්ත වාර්තා අරගෙන බැලුවම කලබල වෙන්න දෙයක් නැහැ.


සමාජයේ බොහෝ පිරිසක් ඔබගෙන් අලුත් වැඩක් බලාපොරොත්තු වෙද්දි ඇයි එහි දෙවන කොටසටත් සම්බන්ධ වෙන්න හිතුවේ?


මම කවදාවත් කාටවත් වග කියපු කෙනෙක් නෙවෙයි. මම මගේ හිත කියපු දේ කරපු, මට හරියි කියලා හිතෙන දේ කරපු කෙනෙක් මිසක් කවුරුත් කියන දේවල් අහපු කෙනෙක් නෙවෙයි. තව කෙනෙක්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරුත් කියපු පළියට අපේ වැඩසටහන් වෙනස් කරන්න විධියට නැහැ. අනෙක ඔය දේවල් මට මට ඇහෙන්න, පෙනෙන්න මම සමාජ මාධ්‍යවල නැහැ. එහෙම එක එක්කෙනා කියන කියන විධියට වැඩ කරන්න අමාරුයි. මෙච්චර කල් එහෙම කරලත් නැහැ. ඉස්සරහටත් එහෙම කරන්න අමාරුයි.


සහායට හිටපු  සියල්ලම නැතුව දෙවනි ඉනිම තනියම ජය ගන්න පුළුවන් වෙයිද?


මට සහතික කරලා කියන්න පුළුවන් පළවෙනි සීසන් එකටත් වඩා, ජනාදරයක්, ජනප්‍රියත්වයක්, හයිප් එකක් දෙවන කොටසට එනවා. ඒක මට සහතික කරලා කියන්න පුළුවන්. නුදුරු අනාගතයේදී ඒක බලාගන්න පුළුවන්. කලින් කතාවටත් වඩා ජනප්‍රිය වෙන කතාවක් මේක. ඒක එහෙම වෙනවාට කිසිදු සැකයක් නැහැ. දැන් දැන් මට තේරෙනවා අර කෑකෝ ගහපු පිරිසත් නාට්‍ය බලන්න යොමු වෙලා.


කදිර දිව්‍යරාජ සමඟින් ඔබ සිනමා පසුබිම් ගායනයට යොමු වුණා. ඒ ගැනත් මතක් කරමු.?


ඒක මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. සුනිල් ආරියරත්න කියන මගේ ජීවිතයේ වීරයා මට හමුවෙන්නේ කදිර දිව්‍ය රාජ චිත්‍රපටය  හරහා. ඔහු මට ඇමතුමක් දීලා අහනවා නිරෝෂා විරාජිනි සමඟ ගීතයක් කියන්න තිබෙනවා කීයක් අවශ්‍යද කියලා. මගේ පළමු සිනමා ගායන අත්දැකීම ලැබෙන්නේ ඒ සමඟ. සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ නිරෝෂා වීරාජිනි වගේ දැවැන්තයන් සමඟ වැඩ කරන්න ලැබීමම වටිනා අවස්ථාවක්. එයින් ඇති වූ හිතවත්කම මත තමයි ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයට ආරධනා ලැබෙන්නේ. එතැනදි මතක් කරන්න ඕනි විශේෂයෙන් ක්ෂීර සාගරය කැලඹිණ හරහා මට හැකිවුණා ජැක්සන් ඇන්තනී කියන විශිෂ්ටයාගේ ඇසුරේ දිනයක් දෙකක් ගත කරන්න. මේ වෙලාවේ ඔහුව ආදරයෙන් සිහිපත් කරනවා වගේම නිවනම ප්‍රාර්ථනා කරනවා.


ඔබ ඔබේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා නොකරන තරම්?


මට කිසිවකුගේ පෞද්ගලික ජීවිතයෙන් වැඩක් නැහැ. ඉතිං අනෙකුත් අයත් මම ගැන එසේ සිතිය යුතුයි කියන හිතුවක්කාර තීරණය මම අරගෙන තිබෙනවා. මාධ්‍ය හරහා මගේ කලා කටයුත්තක් දකිනවා ඇරෙන්න එතැනින් එහාට දේවල් දැනගන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ. මොකද මට අනෙකුත් අයගේ දේවල් වැඩක් නැහැ. එයාලටත් මගේ දේවල් වැඩක්  තිබෙන්න විධියක්  නැහැ කියලයි මම හිතන්නේ. ඒක මගේ විධිය. මගේ කලා කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දක්වන කැමැත්ත සහ විරුද්ධත්වය මම බොහොම මැදිහත් සිතින් බාරගන්නවා. එතැනින් එහාට මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්.


ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කරලම කතාව අවසන් කරමු?


ඉදිරියේදී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විධියට ලෝකයේ ලස්සන ස්ථාන කිහිපයක ගිහින් කරපු ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වගයක් එනවා. ඒ වගේම ගීත නිර්මාණ කිහිපයක් සහ අලුත් චිත්‍රපට කිහිපයක් සම්බන්ධයෙනුත් සාකච්ඡා කරමින් පවතිනවා.




Previous Post Next Post