දිනක්ෂි වේදිකාවට ගෙන්නුවම මම හිතුවා මට සම්මානය ලැබෙන එකක් නෑ කියලා-සාරංග දිසාසේකර




මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මෑත කාලයේ බිහිවූ ජනප්‍රියම තරුව ඔහු බව කිවහොත් වැරදි නැත. එක්තරා කාලවකවානුවකදී අවිහිංසක පෙම්වතා වෙමින් රසික හදවත් ප්‍රේමයෙන් පුරවාලූ ඔහු ඉන් වසර ගණනකට පසුවද විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් ඔවුන්ගේ හදවතේ ඉහළම ස්ථානය ලබා ගන්නට සමත්ව සිටින්නේය. ශ්‍රී ලාංකික කලාවේ දැවැන්ත වෘක්ෂයන් සෙවණේ හැදී වැඩෙමින් ක්‍රමයෙන් තමන්ට අනන්‍ය වූ මාවතක් සකසා ගත් ඔහු, ටෙලි නාට්‍යයෙන් ඔබ්බට, සිනමාව, වේදිකාව හරහා මෙන්ම, ගායක, පූරක වැනි භූමිකා හරහාද සිය දක්ෂතා පෙන්වමින් සිටියි. මේ අන් කිසිවකුත් නොව යුගයේ ජනප්‍රියම රංගන ශිල්පියා සාරංග දිසාසේකරය. 


කාලෙකට පස්සේ හිමිවුණු ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ගැන කියලා ඉමු නේද?


පළමුවැනි වතාවට පවත්වන්නට යෙදුණු බි්‍රටිෂ් වේ පොපියුලර් අවෝඩ්හි ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය හිමි වුණා. ඒක රසිකයන්ගේ එස්.එම්.එස්. මනාපය මත හිමි වන සම්මානයක්. මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය තුනක් විකාශනය වෙනවා සල්ලි පොකුරු, සංසාරණී සහ අළුපාට දේදුනු නමින්. ඒ චරිත තුනට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඉතින් මේ සම්මානය ඔවුන්ගේ ඒ ආදරය නිසා හිමි වුණු එකක්.


නවක නළුවන් අභිභවමින් නැවතත් ජනප්‍රියත්වයේ කිරුළ තමා සතු කරගන්න හැකි වීම ගැන මොනවගේ හැඟීමක්ද තිබෙන්නේ?


මමත් ඔය ගැන හිතලා බැලුවා. ක්ෂේත්‍රයට එන මුල් කාලේ තිබෙන නැවුම් බවත් එක්ක ජනප්‍රිය සම්මාන දිනාගැනීම පහසුයි. මමත් ඒ කාලේ කිහිප වතාවක්ම ජනප්‍රියම නළුවා සම්මානය අරගෙන තිබෙනවා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ තමයි නැවතත් මේ විධියට ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබෙන්නේ. මුල්ම කාලේ තිබෙන නැවුම් බව එක්ක ලැබෙන ආකර්ෂණය නිසා ප්‍රේක්ෂක මනාපය දිනාගැනීම පහසුයි. නමුත් කාලයත් සමඟ චරිතාංග නළුවෙක් බවට පත් වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ අවධානය හා ආදරය යොමු වෙන්නේ කරන චරිතය කොපමණ දැනෙනවද කියන කාරණයත් සමඟ. මම හිතනවා මේ සම්මානයත් ඒ හේතුවට ලැබුණු එකක් කියලා. ඉතින් අලුත් පරම්පරාවත් එක්ක තරගකාරී මට්ටමකින් වැඩ කරන්න පුළුවන් වෙලා තිබීම ගැන සතුටුයි.


ඔබට ඒ සම්මානය ලැබුණේ ආදරණීය බිරියගේ අතින්. ඒක මොනවගේ අත්දැකීමක්ද?


ඒ වෙලාවේ වේදිකාවේ සිටිය පූර්ණිකා සහ ධනංජයත් කිව්වේ ඉතිහාසයේ පළමු වතාවට. වෙන්න ඇති එහෙම දෙයක් වුණේ කියලා. දිනක්ෂිව වේදිකාවට ගෙන්නුවම මම හිතුවා මට ඒ සම්මානය නොලැබෙන නිසයි ඇයව වේදිකාවට කැ‍ෙ¾දව්වේ කියලා. ඉතින් සම්මානය ගැන අමතක කරලයි මම හිටියේ. දිනක්ෂිගේ අතින් සම්මානය ගන්න ලැබීම. අහම්බයක් වෙලා හෝ එය සිදුවීම ගැන සතුටුයි. මොකද මේ සියල්ලම පසුපස විශාල ශක්තියක් වෙලා ඇය සිටිනවා. ඉතිං ඇය තමයි සුදුසුම කෙනා කියලා සිතනවා.


එකම කාලවකවානුවක එකිනෙකට වෙනස් චරිත ලක්ෂණ ඇති භූමිකා හතරක් රඟදැක්වීම මොන වගේ අත්දැකීමක්ද?


ඒක ඇත්තටම අභියෝගාත්මකයි. මීට වසර කිහිපයකට කලින් එක විට මගේ නිර්මාණයන් කිහිපයක් විකාශය වුණු කාලයක් තිබුණා. ඒවාගෙත් වෙනස් විධියේ චරිත කරන්න අවස්ථාවක් හිමි වුණා. නමුත් දැන් සල්ලි පොකුරු නාට්‍ය ඇතුළේ ද්විත්්ව චරිත කරන්න ලැබිලා තිබෙනවා සහ ඒ චරිත දෙකත් අහසට පොළව වගේ  වෙනස් චරිත දෙකක්. එතැන තිබෙන අනිත් අභියෝගය තමයි ද්විත්ව චරිත කරද්දි වේශ නිරූපණයේ සහාය ලබා ගන්න හැකි වුණත් චූටියා සහ හේමක කියන චරිත දෙක බාහිර පෙනුමෙන් සමාන විය යුතු නිසා චරිතය වෙනස් කරගන්න වෙන්නේ රංගනයෙන්ම තමයි. ඉතිං වේශ නිරූපණය පැත්තෙන් චරිතය වෙනස් කරගන්න නොලැබෙන නිසා ඒක අලුත් අත්දැකීමක් වගේම අභියෝගයක්.


ඒ අභියෝග භාර ගන්න අභිප්‍රේරණයක් වුණේ කුමක්ද?


චූටියා හා හේමක ගත්තම, තිහස්වර කියන චරිතය එයට වඩා සැබැවින්ම වෙනස්. ඒ වගේම අළුපාට දේදුනු නාට්‍යය ගත්තම එහි චරිතය ඊටත් වඩා වෙනස්. ඉතිං ඒ චරිත එකිනෙකට බෙදා වෙන් කරගෙන. ඒවා එකිනෙකට එකක් මිශ්‍රකර නොගෙන, රංගනයේ යෙදෙන්න වග බලා ගන්නවා. මොකද ඉස්සරටත් වඩා දැන් ප්‍රේක්ෂකයෝ බොහොම විශ්ලේෂණාත්මකයි. දැන් වෙද්දි රසිකයන් පවා රංගනයේදී ශිල්පීන් ශිල්පිනියන් කරන කැපකිරීම් ගැන අවබෝධයකින් පසු වෙන්නේ. ඔවුන් සමාජ මාධ්‍ය හරහා විවිධාකාර නිර්මාණ හා චරිත වෙනුවෙන් සමූහයන් ගොඩනඟලා දිනපතා ඒවා ගැන කතා කරනවා. විචාර නිසදැස් ලියනවා. ඉතිං ඔවුන්ගේ ඒ ප්‍රතිචාරත් හොඳ උත්ප්‍රේරකයක් සපයනවා රංගනය ඒකාකාරී නොවෙන්න කරන්න. ඒ වගේම අධ්‍යක්ෂවරුන්ගෙනුත් විශාල සහායක් හිමි වෙනවා.


චරිත තෝරා ගැනීමේදී ඔබ සැලකිල්ලක් දක්වන්නේ කුමන කරුණු සම්බන්ධයෙන්ද?


මේ ආකාරයේ චරිත කරනවා, මෙවැනි ඒවා කරන්නේ නැහැ වගේ තීරණයක මම නැහැ. ඒ තීරණය මම ගත්තේ මීට බොහෝ කාලයකට කලින්. මට අවශ්‍ය නම් දිගටම අහිංසක පෙම්වතාගේ චරිතය ඇතුළේ කොටුවෙලා ඉන්න තිබුණා. නමුත් ශිවගුරුනාදන්  මහත්මයා යටතේ මම නෙගටිව් රෝල් ගොඩක් කළා. අපි හිතනවානේ ආදරණීය චරිත කළොත් පමණයි ජනප්‍රිය සම්මාන හිමි වෙන්නේ කියලා. එහෙම නැහැ දුෂ්ට චරිත කරලත් ඒ සම්මානය මට හිමි වුණා. එතැනදි මම වටහාගත් දෙයක් තමයි  චරිතාංග නළුවෙක් ලෙස ඒ චරිතයට සාධාරණයක් කරනවා නම් ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්නවා කියන දේ.


ඇතැම් නවක කලාකරුවන්ගේ වගකීම් විරහිතභාවය ගැන ඔබේ අදහස?


මට හිතෙනවා ඒක පුද්ගලානුබද්ධයි කියලා. මොකද අලුත් පරම්පරාවේ බොහොම වගකීමෙන් වැඩ කරන, තමා කරන දේට සාධාරණයක් ඉෂ්ට කරන, අන් අය ගැනත් හිතන අය ඉන්නවා. නමුත් ඉඳලා හිටලා වගකීම් විරහිත පුද්ගලයොත් මතු වෙනවා. තමන් නිර්මාණයකට දායක වුණාම ඒකට මූල්‍යමය දායකත්වය දෙන කෙනෙක්, නිර්මාණයට සම්බන්ධ වෙන තව පිරිසක් ඉන්නවා කියන දේ සිතිය යුතුයි. සමහරවිට එම නිර්මාණය  හරහා හැබෑ වෙන්නේ අධ්‍යක්ෂගේ හෝ නිෂ්පාදකවරයගේ දීර්ඝකාලීන සිහිනයක් වෙන්න පුළුවන්. අනිත් අතට ප්‍රේක්ෂකයන් නිර්මාණයට බැ‍ෙ¾දනවා. එතැනදි එක් අයෙක්ගේ වගකීම් විරහිත භාවය නිසා රසිකයන්ගේ විශ්වාසයත් කැඩෙනවා. සමහරවිට හදිසිම කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් එහෙම අවස්ථාවක් නොවෙයි නම් නිර්මාණය අතහැරලා යන එක සාධාරණීකරණය කරන්න බැහැ. ඒකෙන් පෙනෙන්නේ ඒ ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ මට්ටම.


ඔබ මේ වෙද්දි අධ්‍යක්ෂණයටත් යොමු වෙලා අවසන්?


ඇත්තටම දැනටමත් චිත්‍රපටයක්  අධ්‍යක්ෂණය කරලා එහි වැඩකටයුතු කරගෙන යනවා. ඒක ලොකුවට ප්‍රචාරය කරලා කළ දෙයක් නෙවෙයි. බලමු ඒක චිත්‍රපටයක් කරන්නම ඕනි කියලා  කාලයක් හිතේ තියාගෙන ඉඳලා කරපු දෙයක් නෙවෙයි. හිතට දැනුණු තිර පිටපතක් ලැබුණු නිසා  කණ්ඩායමක් එකතු කරගෙන කළ දෙයක්. ඒ හරහා අලුත් ශිල්පීන් කිහිපදෙනකුට හොඳ අවස්ථාවක් ලැබුණා සිනමාවට එක් වෙන්න. ඉදිරියේදී ඒ ගැන වැඩි විස්තර කියන්නම්.


අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්ගේ චරිතාපදානයක් ඇසුරෙන් ගොඩනැඟුණු සිනමා නිර්මාණයකට දායක වුණා. දැන්ම ඒකේ නම් ගම් නොකියා ඉන්නම්. ඒක ස’ප්‍රයිස් එකක්. තව සිනමා නිර්මාණ කිහිපයක්ම සාකච්ඡා මට්ටමේ  තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post