සුනිල් වගේ තැන්පත් චරිතයක් මීට කලින් කරලම නෑ-ජෙනට් ඇන්තනී




ඔහු එකිනෙකට වෙනස් චරිත එකම ටෙලිනාට්‍යයක් තුළ රඟදැක්වීමට තරම් ප්‍රබල ශක්‍යතාවක් හිමි රංගන ශිල්පියෙකි. මේ දිනවල විකාශය වන ‘කොඩි ගහ යට’ ටෙලිනාට්‍යයේ ඔහු මෙතෙක් නොදුටු ඉතා වෙනස් ආකාරයක රංගනයකින් ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගනිමිනි. ‘කොළඹ ඉතාලිය’ නම් ටෙලිනාට්‍ය තුළ ඔහු දැක්වූ රංගනය පිළිබඳව ප්‍රේක්ෂකයා අතර ඉමහත් කතාබහකට ලක්විණි. අද  එක්වන්නේ රංගන ශිල්පී ජෙනට් ඇන්තනී. 


මේ දවස්වල වැඩ කටයුතු ගැන කතා කරමු?


කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණා. මේ දවස්වල ලක්මිණි අමරදේව අධ්‍යක්ෂණය කරන ‘මේක තමයි ජීවිතේ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කරන ‘ඇතුල්වීම තහනම්’ සහ ‘සර්කස්කාරයෝ’ කියන ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒ වගේම යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටයට තෝරා ගත් නාට්‍යයකට සම්බන්ධ වුණා. තවත් වේදිකා නාට්‍ය කිහිපයක් සමඟ මේ දවස්වල වැඩ කරනවා.


වේදිකාව තුළින් රංගන ශිල්පියෙක්ට ලැබෙන පන්නරය ගැන කතා කරමු?


වේදිකාව තමයි අපේ තිඹිරිගෙය. මම පාසල් කාලයේ පටන්ම වේදිකා නාට්‍ය තුළ රඟපා තිබෙනවා. මගේ පාසල වුණු දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය තුළ තමයි මම රංගනය මුලින්ම හැදෑරුවේ. වේදිකාව තුළින් අපිට විශාල හික්මීමක් සහ පුහුණුවීමක් ලැබෙනවා. අපිට චරිත පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කරන්න පුහුණුව ලැබෙන්නෙ වේදිකාවෙන්. යම් චරිතයක හැසිරීම වගේම ඉතිහාසය පිළිබඳව හදාරන්න අපි පෙලඹෙන්නෙ වේදිකාවෙන්. මට අනුව වේදිකාව තමයි රංගන ශිල්පියෙක්ට ගොඩනැඟෙන්නෙ හොඳම තැන. නමුත් වේදිකාව තුළින් පැමිණියේ නැති වුණත් ඉතා විශිෂ්ට අයුරින් රංගනයට දායක වන රංගන ශිල්පීන් ඕනෑ තරම් සිටිනවා. වේදිකාව කියන්නෙ එක් මාධ්‍යයක්. සිනමාව කියන්නෙ තවත් මාධ්‍යයක්. ටෙලිනාට්‍ය කියන්නෙ වෙනත් මාධ්‍යයක්. මේ තුන මාධ්‍යයන් තුනක්. මේ මාධ්‍යයන් තුන තුළම රංගන ශිල්පියෙක්ට හැදෑරිය යුතු බොහෝ දේ තිබෙනවා. මට වේදිකා නාට්‍යයක් නොකර ඉන්න බැහැ.


කොළඹ ඉතාලිය ටෙලිනාට්‍යයට ඔබ සිදු කළ රංගන දායකත්වය පිළිබඳ විශාල කතාබහක් ඇති වුණා ඒ ගැන කතා කරමු?


මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. එය රචනා කළේ චාලක රණසූරිය. මෙය නිෂ්පාදනය කළේ සුදර්මා නෙත්ති කුමාරි. මට මේ කතාව තුළ මුලින්ම පණපොවන්න තිබුණෙ කුලී ඝාතනයේ යෙදෙන තරුණයෙක්ගෙ චරිතයකට. නමුත් චාලක රණසූරිය මගේ චරිතය ඉතා විශිෂ්ට විධියට කතාව තුළ වෙනත් දිශාවකට හැරවූවා. අධ්‍යක්ෂවරයා මට නිතර කියපු දෙයක් තමයි මේ චරිතයට පණපොවන විට ගැහැනු චරිතය රඟ දක්වන විට පිරිමි චරිතය එම මොහොතේදී ඉස්මතු වී යටපත් වී යන ආකාරයකට රඟ දක්වන්න කියන දෙය. එකම නාට්‍යයක චරිත තුනක් කරනවා කියන දෙය විශාල අභියෝගයක්. පිටපත් රචකයා සහ නාට්‍ය කණ්ඩායමේ අනෙක් පිරිස මට මේ සඳහා විශාල සහයෝගයක් ලබාදුන්නා. විශේෂයෙන් ප්‍රසන්න ඉත්තෑපාන, රජිව් ෆර්නෑන්ඩු, ජනක අත්තානායක සිහිපත් කළ යුතුයි. ඔවුන් මේ චරිතයට පණපොවන්න මට විශාල ලෙස සහයෝගය ලබාදුන්නා.


කොඩි ගහ යට සුනිල් කියන්නෙ කවුද?


සුනිල් කියන්නෙ කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ මහේෂ්ට හිරේදි මුණගැසෙන චරිතයක්. ඒක ඉතා සුළු වාර ගණනක් නාට්‍යයේ පෙනී සිටි චරිතයක්. සේවියර් කණිෂ්ක තමයි මට මේ චරිතය රඟපාන්න කතා කළේ. මේ කතාවෙ එක් තැනකදි ඔහු අතුරුදන් වෙනවා. නමුත් මෙහි තිරපිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා ඉතා ශූර විධියට මෙම චරිතය නැවතත් කතාව තුළට කපු මහත්තයෙක් ලෙස රැගෙන එනවා. ජගත් අයියා සමඟ මම මේ චරිතය පිළිබඳව බොහෝ වාර ගණනාවක් කතා කළා. මම මේ වගේ ඉතා තැන්පත් චරිතයක් රඟපාලා තිබුණෙ නැහැ. මේක මම රංගනයෙන් දායක වුණු වෙනස්ම චරිතයක්.


සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වන නව නිර්මාණ පිළිබඳව සිතෙන්නෙ මොකක්ද?


සමාජ මාධ්‍ය තුළ බිහිවෙන නිර්මාණවලට රංගන ශිල්පියෙක් ලෙස එක්වීමේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තිබෙනවා. අපිට යම් දක්ෂතාවක් තිබෙනවා නම් සමාජ මාධ්‍ය හරහා එය ඉතා පහසුවෙන් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න පුළුවන්. රංගන ශිල්පියෙක් ලෙස මම සමාජ මාධ්‍ය තුළ වැඩ කරන්නෙ ඉතා අඩුවෙන්. නමුත් ජෑම්, කොලොම්බියා වැනි වැඩවල  ලොකු රහක් සහ වෙනසක් තිබෙනවා. ඒ නිසා තමයි මම ඒ වැඩවලට මගේ රංගන දායකත්වය සැපයුවේ.


කලාකරුවා සහ දේශපාලනය පිළිබඳව ඔබේ කියවීම කොහොමද?


මිනිසාට දේශපාලන අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම රංගන ශිල්පියෙක්ට සහ කලාකරුවෙක්ට දේශපාලන දැනුම කියන්නෙ අනිවාර්ය දෙයක්. රංගන ශිල්පියෙක්ට දේශපාලන දැනුම සහ අවබෝධය තිබිය යුතුමයි. නමුත් මම යම් ලෙසකින් දේශපාලනයෙන් අෑත් වී සිටිනවා. ඒ මම තවමත් දේශපාලනය පිළිබඳව හදාරමින් සිටින නිසා. අද ගොඩක් දේවල් තීරණය වෙන්නෙ පක්ෂ දේශපාලනයෙන්. නමුත් දේශාපාලනය කියන්නෙ ඊට වඩා පුළුල් වපසරියක ව්‍යාප්ත වුණු දෙයක්.


මෙගා ටෙලිනාට්‍ය තුළින් රංගන ශිල්පියෙක්ට කරන්නෙ කවර බලපෑමක්ද?


මම රංගන ශිල්පියෙක් විධියට දකින දෙයක් තමයි අපිට සෑම දෙයකින්ම ඉගෙන ගන්න පුළුවන්. මෙගා නාට්‍යයද කොටස් පනහ, හැට යන නාට්‍යද කියන එක ගැන මම වැඩිය හිතන්නෙ නැහැ. මට වැඩකට ආරාධනාවක් ලැබුණම මම හිතන්නෙ මේ චරිතය තුළ මොන විධියෙ වැඩක් කරන්න පුළුවන්ද කියන දෙය ගැන විතරයි. මම ගොඩක් වෙලාවට වැඩක් කරන්න භාරගන්නාවිට සිතන්නෙ මෙහි කතාව මොනතරම් ප්‍රබලද? ඒ කතාව තුළ තිබෙන රසය මොනවගේද? එයින් ප්‍රේක්ෂකයාට කළ හැකි බලපෑම මොනවගේද? කියන දේ පිළිබඳව. 


ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?


කාර්යබහුලත්වය සමඟ මම වේදිකාවෙන් මඳක් අෑත් වී සිටියා. එයින් මම වේදිකාව අතහැරියා කියන එක අදහස් වෙන්නෙ නැහැ. යළිත් මට වේදිකාව සමඟ වැඩ කරන්න ඕනෑ කියලා සිතුණා. මම ඒ අනුව රාජිත දිසානායකගෙ ‘වීරයා මැරිලා’ නාට්‍යයට සහ චාමික හත්ලහවත්ත අධ්‍යක්ෂණය කරන නව නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒ වගේම පූජිත දි මෙල්ගේ ‘අසිනිමාලි’ කියන නාට්‍යයටත් මම එක් වුණා.


කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ ඔබ දමිළ බසින් කතා කරමින් රංගනයෙහි යෙදෙනවා මේ ගැන කියනවා නම්?


ජගත් මනුවර්ණ සහෝදරයා තමයි මට මේ වටිනා අවස්ථාව ලබා දුන්නෙ. ඔහුට නළු වරණය (Casting) පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙනවා. ඔහු තමයි කොටස් කිහිපයකින් අවසන් වුණු මගේ චරිතය නැවතත් නාට්‍යයට රැගෙන එන්නෙ. ඔහු දැනගෙන සිටියා මගේ පියා දමිළ ජාතිකයෙක් කියන එක. මම මගේ පවුල තුළ දමිළ බස හසුරනවා කියන එක ඔහුගේ ඔළුවෙ තිබුණා. මම යොවුන් නාට්‍ය උළෙලේ දමිළ නාට්‍යයක් වුණු බාස්කර් ක්‍රිශාන් අධ්‍යක්ෂණය කළ ‘පාල්’ කියන කෙටි නාට්‍ය රඟ දක්වපු අයුරු ඔහු දුටුවා. මේ අනුව තමයි මේ ටෙලිනාට්‍යයට දමිළ බසින් කතා කරන සංවාද ඇතුළත් වුණේ.


ගිහාන් සචින්ත




Previous Post Next Post