දිවි රඟ මඩලට සමුදුන් නර්තන රැජින




දෙස් විදෙස් කීර්තිය දිනු කලාසූරී රැජිනි සෙල්වනායගම් පසුගියදා සිය දිවි ගමන නිමා කළාය. කලක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳී ඇය දිවි ගමන නිමා කරන විට හැත්තෑ එක්වැනි වියේ පසුවූවාය.බළන්ගොඩ උපන් ඇය දස දෙනෙකුගෙන් යුත් පවුලේ තුන් වැන්නා විය. ඇගේ මව එස්. ඒ චන්ද්‍රා සිංහල ගොවි පවුලක කාන්තාවක් වූ අතර වෘත්තියෙන් මැහුම් ගුරුවරියක වුවාය.


දෙමළ ජාතිකයෙක් වූ පියා සභාපති සෙල්වනායගම්. වෘත්තියෙන් රජයේ ලිපිකරුවෙක් වූ ඔහු යාපනයේ මාවට්ටපුරම් ග්‍රාමයේ උපත ලැබූවෙක්. එකිනෙකට සමීප සංස්කෘති දෙකක අත්දැකීම් ලැබූ එතුමියට සහෝදරයෙක් සමඟ සහෝදරියන් නවදෙනෙකු සිටීමත් විශේෂත්වයක්.


1989 දී යුගදිවිය ඇරඹූ රැජිනිගේ සහකරුවා වූයේ, හරීන්ද්‍ර රොද්‍රිගු ය. ගල්කිස්ස, බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ, රැජිනිට නර්තන දිවියට ඇළුම් කිරීමට සිතක් පහළ වූයේ, පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වී,කෙටි කාලයක් ගතවීමෙන්. ඒ වන විට ඇගේ වයස අවුරුදු දොළහකි. එම විද්‍යාලයේ නර්තන ගුරුවරයා ලෙස කටයුතු කළේ, සරත් ලාල් පනාවලයන්ය. රැජිනිගේ නර්තන දිවියේ මූලාරම්භයට බොහෝ දේ එකතු වී තිබෙන්නේත්, පනාවල ගුරුවරයාගේ මඟපෙන්වීම් තුළින්. නිවසේ ආලෝකය නොමැති තැන, දල්වන පහන් එළිය ආධාරයෙන් මැවෙන සෙවණැලි අතර චමත්කාරයක් ගෙන දෙන එතුමියගේ නර්තන අංග එදා නිවැසියන්ට ප්‍රිය උපදවන දසුන් විය.


පාසල් අධ්‍යාපනයනේ අනතුරුව ඇය යොමු වන්නේ, රජයේ ලලිත කලා ආයතනය වෙතටයි. එහිදී වසර පහක නර්තනය පිළිබඳව ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළ ඇය, ලබාගත් ශිල්ප ඥානය අපතේ නොහැරියේ ය. 1974 වර්ෂයේදී ඇය රාජ්‍ය නර්තන කණ්ඩායමට සම්බන්ධ වීම ඊට හොඳ නිදසුනකි. එමෙන්ම එතුමිය චාමර කලා නිකේතනය ආරම්භ කළේ, වර්ෂ 1975 දී ය. පාසල් ගුරුවරියක් ලෙසත්, වසර 18 ක් සේවය කළ එතුමිය, අඩසියවසකට ආසන්න කාලයක් තම ශිල්පීය ඥානය ප්‍රදානය කරනු ලැබූවාය. කලාසූරී රැජිනි සේල්වනායගම් හෙළ නර්තන සම්ප්‍රදායන් නඟා සිටුවන්නට ලබා දුන් දායකත්වය ප්‍රසංසනීය වේ. පළපුරුදු නර්තන ශිල්පිණියක් ලෙස මෙරටදී පමණක් නොව, විදෙස් රටවලදීත් නිර්මාණාත්මක නර්තන වින්‍යාසයන් ඉදිරිපත් කළ ඇයට කලාසූරී, කලාකීර්ති සහ විශ්ව කලා කීර්ති යන ගෞරව නාමයන්ගෙන්ද පිදුම් දී තිබේ.


එලෙසින්ම කලා ලොවේදී නිරතුරුවම ගෞරවයට පාත්‍රවූ ඇය වැඩිම වාර ගණනක් නර්තන තරග සඳහා සහභාගීවූ විනිසුරුවරියක ලෙසද ප්‍රකට වේ. කලාසූරී රැජිනි සේල්වනායගම් වෙනුවෙන් උපහාර ගීත නිර්මාණය වී තිබීමද විශේෂත්වයක්. ඒ අතුරින් සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න මහතාගේ ගේය පද රචනයකට, විශාරද නිහාල් ගම්හේවාගේ සංගීතයට එතුමියගේම ශිෂ්‍යයකු වූ චන්දන හේරත් විසින් ගායනා කරන “නන්දන වින්දන කර අභිවන්දන කරළිය රඟදෙන නර්තන රැජිනිය” උපහාර ගීතයත්, දිනේෂ් විජයසිංහගේ ගේය පද රචනයට කලාශිල්පී ජනනාත් වරකාගොඩ සංගීතය නිර්මාණය කරමින් ගායනා කරන “රැජිනී නර්තන දේ සොබා” උපහාර ගීතයත්, දිවි ගමනට සමුදුන් එතුමියට සැබවින්ම උපහාරයක්ම වනු ඇත.


අභාවප්‍රාප්ත කලාසූරි රැජිනි සෙල්වනායගම් මහත්මියගේ අවසන් කටයුතු පසුගිය 25 දා බොරැල්ල පොදු සුසාන භුමියේදි සිදුකැරිණි.


අනුෂාද් වෙදගේ




Previous Post Next Post