මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙනකල් මම තැන තැන කතා කරන්නේ නෑ- මාධවී




තව වසර සියයක් ගත වුණද ඔහුගේ හිස් තැන පිරවීමට සමත් අයකු බිහි නොවනු ඇත. කලාවේ සියලු තැන්හි තම පිය සටහන් සලකුණු කළ ඒ අපූරු මිනිසා, ඒ තැන්හි ඇති රසවත් දෑ සියල්ල රස ගුලාවක ගිල්වා සමාජය වෙත බෙදාහැරියේය. ගෙවුණු සති කිහිපය මෙරට වැසියාට කිසිසේත්ම සුබදායක නොවුණේ එතැයි කියා මඟ බලා හුන් ඔහු නොකියාම ගිය නිසාය. ශ්‍රී ලාංකික කලාව සතුවූ වටිනාම වස්තුව එලෙස ගිලිහෙද්දී, ජැක්සන් ඇන්තනී නම් වූ ඔහු සතුව තිබූ වටිනාම වස්තුවක් වූ දියණිය මාධවී ඇන්තනී තම පියාගේ වියෝවෙන් අනතුරුව හදගැස්ම සමඟින් අදහස් දැක්වූයේ මෙලෙසයි. මේ දිනවල කාලය ගෙවාගන්නේ කොහොමද?


තනි වෙන හැම තැනකම මොකක්‍ෙදා් හිස්කමක් දැනෙන නිසා, දවසම නිදාගන්නවා. නැත්තන් අප්පච්චිගෙ වීඩියෝ බලනවා. ඒකත් මට සැනසීමක්. ඒ නිසා පුළුවන් හැම මොහොතේම ඉන්නේ රංචුව එකට. අපේ අසල්වැසි යාළුමිත්‍රයෝත් නිරන්තරයෙන් ගෙදර එනවා. මොකද අවමංගල්‍ය කටයුතු අහවර වෙලා හැමෝම තමුන්ගෙ ජීවිතවලට ගියාට පස්සෙ තමයි අපට තනිකම වැඩියෙන්ම දැනෙන්න ගත්තේ. අප්පච්චිගෙ කටහඬ සද්දෙට ඇහෙන්න දාගෙන අපි රෑ එළිවෙනකන් අප්පච්චි ගැන කතා කර කර ඉන්නවා. එතකොට එයා ඉන්නවා වගේ. අප්පච්චි රෝහලේ ඉද්දි පුළුවන්


හැමදාම අප්පච්චිට ඇහෙන්න කතා කරන්න යන පුරුද්දක් තිබ්බා. එයා එක්ක අපේ කටයුතු ගැන විස්තර බෙදාගද්දි අප්පච්චි හිනා වෙන හැටි, ඔළුව අතගාද්දි ඇස් හෙමීට පියාගෙන හිනාවෙලා කට චුට්ටක් ඇරගෙන සතුටින් ඒක විඳින හැටි, යනවා කියද්දි නෝක්කාඩු බැල්මෙන් කට ඇද කරගන්න හැටි දැකලා බලාපොරොත්තු දල්වාගෙන අපි කාලය ගෙව්වා. හැමෝගේම නින්දා, අපහාස ඉවසාගෙන අපි අප්පච්චි බේරගන්න හැමදේම කළා. දැන් ඒ බලාපොරොත්තුවත් අපට නැහැ. ජීවිතේ සාමාන්‍ය කරගන්න මට තාම තේරුමක් නැහැ.


ඔබ ඔබේ පියාව කියවාගත් ආකාරය මොනවගේද?


අප්පච්චි තරම් ඉවසපු කෙනෙක් මම දැකලා නැහැ. අප්පච්චි සංස්කෘතික රස්තියාදුකාරයෙක් කියලා එයාම කියනවා. උපතින් ආගම කතෝලික වුණාට අප්පච්චි අපටත් කියාදුන්නේ අපේ සංස්කෘතිය බෞද්ධ කියලයි. බෞද්ධ සංස්කෘතියෙන් තොරව මේ බිමේ ජීවත් වෙන්න බෑ. ඉතින් අප්පච්චි සංසාරය, ධී ශක්තිය විශ්වාස කළා. අප්පච්චි මොනතරම් දැවැන්ත පෞරුෂයක් වුණත් ඔහුව ළඟින් ඇසුරු කරපු සියල්ලෝම දන්නවා ඔහු මොනතරම් මෘදු හිතැති සුන්දර මිනිහෙක්ද කියලා. අවසාන කාලයේදී අප්පච්චි සමහරක් වෛරී දේශපාලනික පහරගැසීම්, උසිගැන්වීම් සහ වැරැදි අර්ථ නිරූපණයන් නිසා හිත් කලකිරීමෙන් පසු වුණා. එයා නිතරම කිව්වා ‘මට තව අවුරුදු 5යි තිබෙන්නෙ. ඊට වඩා හිටියොත් බෝනස්’ කියලා. මතක බණට දේශනා කළා වගේ සාමාන්‍ය කෙනෙක් අවුරුදු 100කදී කරන තරම් වැඩ කොටසක් කරලා අප්පච්චි 65න් ගියා.


බොහෝ පිරිසක් මෙම මරණය සැකසහිත බවට අදහස් ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස දැනගන්න කැමැතියි?


අපි කළේ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ව විශ්වාස කරලා ඔවුන්ට අප්පච්චිව භාර කරලා ඔවුන් ගේන්න කියූ දේවල් සපයමින් බලන් හිටපු එක තමයි. අප්පච්චි වුණත් කිව්වෙ ‘මට විශ්වාසයි මම ඉන්නෙ හරිම තැන කියලා පුතා. මේ වෛද්‍යවරුන්ව විශ්වාස කරන්න’ කියලා. අපි එතැනදි 100%ක් අසරණයි. බොහෝ අය වෙච්ච දේ ගැන හොයනවා. ආදරේ නිසා අප්පච්චි ගැන එහෙම කැක්කුමක් තියෙන එක ගැන නම් අපිට සතුටුයි. ඒත් වෙනත් යටි අරමුණු, දේශපාලනික ගුණ්ඩු සහ සමාජයේ කැපීපෙනීම තකා මගෙ අප්පච්චිගේ වෛද්‍ය කරුණු දඩමීමා කරගන්න එක ගැන අපේ පැහැදීමක් නැහැ. කොහොම වෙතත් දැන් මගෙ අප්පච්චි ආයේ එන්නෙ නැහැ. ඔහුගේ මතකය සුන්දරව සහ ඵලදායීව ඉතුරු කරන්න විතරයි අපට ඕනේ.


ඔහුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවාද?


කොහොමත් අප්පච්චිගෙ අධිකරණ මරණ පරීක්ෂණ වාර්තාව තවම අපිට ලැබිලා නැහැ. ඒ සඳහා අපි දන්නා දැකපු සියලු දේ ඒ අදාළ පාර්ශ්වයන්ට අපි දැනුම් දුන්නා. තව මාස දෙක තුනකින් ඒ වාර්තාව ලැබුණාම බලමු.


 ඔබ එක්තරා තැනක සඳහන් කරලා තිබුණා පියාගේ මරණය පිළිබඳව නුදුරේදීම සත්‍ය ප්‍රකාශ කරනවා කියලා?


මං කිව්වෙ සිද්ධිය ගැන මගේ ඇසින්දුටු සාක්ෂි ගැනයි. අදාළ වාර්තාව ලැබෙනකන් මං කැමැති නැහැ ඒ ගැන තැන තැන කතා කරන්න. එහෙම කළොත් ඒක නිල නොවන නිසා.


ඔබේ පවුලේ අය සමාජ මාධ්‍ය වෙත මුදාහරින ඇතැම් සුළු දේවල්වලට පවා අනවශ්‍ය ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන කතා කළොත්?


මට විතරක් නෙවෙයි. අප්පච්චිට ගෑවුණු කෙනෙක්ටවත් කිසිවක් බෙදාගන්න අමාරුයි. මෑතකදී අපේ ලොකු අප්පච්චිගේ (සේනක ටයිටස්) පුංචි මිනිපිරි, හේළි ආරධ්‍යා දුව ඇඳපු චිත්‍රයක් මම මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළා ඒ චිත්‍රයට අදාළ ලොකු අයියාගේත් මගේත් වට්ස්ඇප් සංවාදයත් එක්කම. හේළි අප්පච්චි වගේම චිත්‍ර අඳින්න සූරයි. ඒ චිත්‍රය බොහොම දියුණු රේඛා රටාවලින් හෙබි එකක් නිසා ඒක දුටු සැණින් මමත් පුදුම වුණා. සාමාන්‍යයෙන් හේළි අඳින චිත්‍ර බොහොම වර්ණවත් වුණත් මේ චිත්‍රය පාට කරලා තිබ්බෙ නෑ. ඒ ගැන ඇහුවම එයා කිව්වලු මළගෙදර අවර්ණ නිසා එයා එහෙම ඇන්දා කියලා. ඒ පෝස්ටුවට බොහෝ අය ඉතාම උපහාසාත්මක කෙමෙන්ට් එකතු කළා. ඇන්තනී නම තිබුණු නිසාම ඉරිසියාකාර පිරිස් දරුවාව අමු අමුවේ වයස නොතකාම වාචික හිංසනයට ලක්කළා. අපචාරයට ලක්කළා. ඒ අයගෙන් දරුවව බේරගන්න ඕනෑ නිසා මම ඒ පෝස්ටුව ඉවත් කළා. දැන් ඒ අයට සැනසීමක් ඇති. අන්තර්ජාලය තුළත් හරිම නින්දිත විධියට ළමා අපයෝජනය කෙරෙනවා.


තව දවසක් ඉරේෂ්ගෙ උපන්දිනේට ගිය ජනවාරි මාසෙ ඒමි නංගියි අඛිලයි හදපු කේක් එකක් විෂය කරගෙන පේජ් පාතාලෙ ඇවිස්සුණා. මම ඒක දැක්කෙත් අවුරුද්දකටත් පස්සෙ මඩ පෝස්ට් එකකින්. මොකද ඒක ඉරේෂ් මල්ලිව පුදුම කරන්න කරපු දෙයක්ලු. ඒ කේක් එකෙන් හදලා තියෙන්නෙ අප්පච්චිව බේරගන්න අලියා ඉස්සරහට ආපු වීර ඉරේෂ්වලු. ඒක හරිම අහිංසක අදහසක් එහෙම බලද්දි. අහිතක් හිතන්න එපා පව්. ජැක්සන් ඇන්තනී නම් වූ ඒ මහා පුරුෂයාගේ අඩුව යම් තරමකින් හෝ පිරවීමට හැකි ඔහුගේම පුතුන් දෙදෙනාට කියනවා. අක්කා විධියට ඒ ගැන ඔබේ අදහස?


‘සකල කලා සක්විති’ කියන්නේ ඔහු බොහෝ ක්ෂේත්‍රයන් නියෝජනය කරපු නිසා. අප්පච්චි අපි තුන්දෙනාව හැදුවෙ එයාගෙ තුළ තිබෙන විවිධ හැකියා වෙන වෙනම ප්‍රගුණ කරලා පරතෙරට යන්නයි. මට ප්‍රධානකොට පැවරුණේ අධ්‍යාපනික පර්යේෂණ, චිත්‍ර කලා සහ ලේඛන කර්තව්‍යය. ඊට අමතරව පූරකවරය, ගායනය සහ රංගනයද මගේ කර්තව්‍යයන් අතර වුණා. අඛිල ගැන අප්පච්චි හැමදාම කිව්වෙ ‘මම වෙන්න ආස කෙනා තමයි අඛිල’ කියලා. මනා දේහදධාරී රූපකාය, රංගනය සහ මානවහිතවාදය අඛිලගේ ප්‍රධාන වටිනාකම් ලෙස මම දකිනවා. සජිත ගැන අප්පච්චි කිව්වෙ ‘මම හිටපු විධිය මට මතක් වෙන්නෙ සජිත ගෙන්’ කියලා. වේදිකාව, ආකර්ෂණීය කතා වහර, ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම, ගායනය, රංගනය වගේම අප්පච්චි තුළ නොතිබුණු සූර වෙළෙඳ වාණිජ ප්‍රවේශයත් සජිත දන්නවා. ඉතින් අපි තුන්දෙනාගේ එකතුව තමයි අප්පච්චි බලාපොරොත්තු වුණු ‘පරම්පරා අතික්‍රමණය’.


සජිතගේ ස්තූති කතාවෙදි ඇතැම් පුද්ගලයන්ට  ස්තූති නොකිරීම නිසා සමාජයේ එක්තරා පිරිසක් ජැක්සන් ඇන්තනී මහත්මයාගේ දරුවන් ගුණමකු බවට චෝදනා කරනවා?


මුලින් ඒ කතාව කරන්න මට පැවරුණත්, මම ඒ කතාවට සම්බන්ධ වුණේ නැත්තේ ඒ මොහොතේ ඒ කටයුත්ත කරන්න මට නම් හයියක් නොතිබුණු නිසා. චූටි මල්ලි සජිතට මමත්, ලොකු මල්ලි අඛිලත් ස්තූතිවන්ත වෙනවා එදා ඒ වගකීම භාරගත්තට. කෙසේ වෙතත් අපේ අප්පච්චි වගේ අප්පච්චි කෙනෙක් අහිමි වුණු වේදනාව, ඒ පීඩනය, ඒ ආත්මීය කම්පනයේ තරම දන්නා මානුෂීය වැඩිහිටියෙක්, කාගේ හෝ පරාර්තකාමී අප්පච්චි කෙනෙක් නම් කවදාවත් ඒ වගේ මොහොතක ඔහොම ඕලාරික චෝදනාවක් එල්ල කරලා අපිව තවත් අපහසුතාවට පත් කරන්නෙ නෑ.


සරලවම අපේ අප්පච්චි නම් කිසිදාක කිසිවකුට ඔහොම කරන්නෙ නෑ. ස්තූතියක් හෝ ප්‍රවර්ධනයක් බලාපොරොත්තුවෙන් යමක් කරපු යම් යම් ආයතන හෝ පුද්ගලයන්ගේ හිත් රිද්දන්න හිතාගෙන මල්ලි ඔය කතාව කළෙත් නෑ. මම දන්නා හැටියට ඒ සඳහා ඔහු කිසි සූදානමක් වුණෙත් නෑ. දිනූෂා අක්කා නම් ලැයිස්තුවක් ලියා දී තිබුණත් ක¾දුළින් බොඳ වූ ඇස් නිසා ඒක හරිහැටි කියවාගන්න බැරි වෙන්න ඇති. අන්තිමට ළඟ හිටපු ඉරේෂ් මල්ලිගෙ නමත් අපි ඒ මොහොතේ මතක් කරලායි කියෙව්වෙ. අනික සරලවම, ජැක්සන්ගේ දරුවන් කියලා මතක් කරපු හැම තැනකදීම මං ගැන සඳහන් කරන්න අමතක කරපු සමහරු මල්ලිගෙ කතාවේදී තමුන්ගේ නම නෑසීම ගැන අවධානය යොමු කිරීම උපහාසාත්මකයි. එයාට තුන් දෙනෙක් අතරින් මාව මිස් වුණා වගේ මල්ලිට දහසක් දෙනා අතරින් ඔහුව මිස් වෙන්න ඇති.


බහුතරයගේ මතය ජැක්සන් ඇන්තනී නම් වූ අප්පච්චිගේ නික්ම යෑමේ පාඩුව වැඩියෙම බලපාන්නේ මාධවීට කියන දේ, ඔහුගේ හිස්තැන ඔබට මොනතරම් බලපානවද?


ඒ හිස්තැන කවදාවත් පිරවෙන්නෙ නැහැ. දැන් අපි කරන්නෙ ඒ හිස්තැන ලස්සනට සරසන එක.


ඔබේ ජීවිතේ ඔබට සිටි ශක්තිය ඔහු, මින් ඉදිරියට?


අප්පච්චි මට ගයන්න ලියාදුන්නු ‘තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ’ ගී පද පෙළේ කිව්වා සේම වෙනවා කියලා. අප්පච්චිට බෑ මාව දාලා යන්න.


මේ සියල්ලම දරාගන්න කසුන්ගෙන් ලැබෙන සහාය ගැනත් මතක් කරමු?


මේ කම්පනය මට දැනෙනකොට ඒකෙ ප්‍රතිඵලය භුක්ති විඳින්නෙ ඉතින් කසුන් තමයි. මට මේ ටිකේ ඉක්මනින් කේන්ති යනවා. පුංචි දේවල් පවා අමතක වෙනවා, ඔහේ බලාගෙන ඉන්නවා, නොකා ඉන්නවා, එක්කො හුඟක් කෑම එකවර කනවා. මට එන දුරකථන ඇමතුමක්වත් මම ගන්න කැමැති නෑ. අන්තර්ජාලයට එන්නෙ අප්පච්චිව බලන්න. කසුන් ඒ හැමදේම තේරුම් ගැනීමෙන් දරාගන්නවා. මට උදවු කරනවා, ආස කෑමක් ගෙනැත් දෙනවා, කියවන ඒවා අහන් ඉන්නවා, පුළුවන් විධියට හිත හදනවා, අඬන්න උරහිස දෙනවා. ඔහුගේ අම්මා තාත්තා සහ අක්කාත් මට ලොකු හව්හරණක් දෙනවා. අපේ මල්ලිලාටත් කසුන් සහයෝගය දෙනවා. මං දන්නෙ නෑ මට මේ අ¾දුරු අගාධීය හැඟීමෙන් එළියට එන්න කොච්චර කල් යයිද කියලා. ඒත් ඒ කොච්චර කල් වුණත් ඔහු මං එක්ක අත නෑර ඉන්න බව නම් මම දන්නවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post