ඒ කාලේ මම සෙල්ලක්කාරයෙක් - මංජු මුදලිගේ



 මංජු... මේ දිනවල මොකද කරන්නේ...?


මේ දවස්වල ''බේකරි ගෙදර'' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව මම ''Live Horizon'' සංගීත කණ්ඩායමේ නියාමක ගායක ශිල්පියා සහ නිවේදකයා ලෙසිනුත් වැඩකරනවා. ඒ නිසා ඒ වැඩ ටික කරගෙන හොඳින් ඉන්නවා.


ඉදිරියේදී සංගීත කණ්ඩායම්වලට කාර්යබහුල කාලයක්. වසර අවසාන සහ වසර මුල ප්‍රසංග බොහොමයක් පැවැත්වෙනවා. ඒ නිසා මංජුත් ඒ කාර්යබහුලකමට සූදානමින් ඇති...?


ඔව්. ප්‍රසංගවලට නම් ආරාධනා ලැබෙමින් පවතිනවා. නමුත් මේ වෙනකොට බජට්වලට ප්‍රසංග සංවිධායකවරුන් පොඩ්ඩක් මැලිවෙන වෙලාවල් තිබෙනවා. ඒක අපේ සංගීත කණ්ඩායමට විතරක් නෙවෙයි, බොහෝ සංගීත කණ්ඩායම් මුහුණ දෙන ගැටලුවක්. අද රටේ පවතින ආර්ථිකයත් එක්ක වැඩ කිරීමේ අපහසුවක් තිබෙනවා. අද ප්‍රසංගයකදී ශබ්ද සැපයුම්වලට විතරක් ලක්ෂ එකහමාරක් විතර මුදලක් වැයවෙනවා. ඉතින් ප්‍රසංගවලට ආරාධනා ලැබුණත් මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට තමයි අපි හැමෝටම මුහුණ දෙන්නට සිදුවෙලා තියෙන්නේ.


දැන් ඔබ නළුවෙක්. මංජු වැඩිපුරම කැමැති නළුවාටද? ගායකයාටද? වාදකයාටද?


ඇත්තටම දැන් මට නළුවා සහ ගායකයා කියන දෙන්නා මගේ ඇස් දෙක වගේ තමයි. ඒ දෙකටම මම කැමැතියි. ඒ නිසා ඒ දෙන්නගෙන් වැඩිපුරම කැමැති කාටද කියලා ඇත්තටම මට උත්තර දෙන්න අමාරුයි. ඉස්සර නම් මම ඩ්‍රම්ස්, ඔක්ටර් පෑඩ් වාදනය කළා. නමුත් වර්තමානයේදී ගායනයේදී සහ රංගනයේදී තමයි මම යෙදිලා ඉන්නේ. නමුත් ඒ අංශ දෙකෙන් වැඩිපුරම කැමැති අංශය නම් මට කියන්න අමාරුයි.




මේ දිනවල මංජු සහභාගි වුණ, විකාශනය වන නිර්මාණ මොනවාද?


මේ දිනවල ''බේකරි ගෙදර'' විකාශනය වෙනවා. ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ජී. නන්දසේන මහතායි. ඔහු ඉතා ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක්. බේකරි ගෙදර අධ්‍යක්ෂණය කරන්නේත් එතුමායි. ඔහුව ඉතා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ''කළු රෝස'' ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ''අකුරට යන වෙලාවේ'' නාට්‍යයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ලබන මාසයේදී ඒ නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මංජු සංගීත ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?


ඒක නම් පුංචි කාලේ ඉඳන්ම තිබුණ ආසාවක්. අපි ඒ කාලේ මත්තේගොඩ කුලියට තමයි ඉඳලා තියෙන්නේ. මම කළුබෝවිල රෝහලේදී තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි මම ඉස්කෝලේ යන වයසේදී තාත්තලා කිතුල්ගල ප්‍රදේශයේ නිවාස හදාගෙන ඇවිත් තිබෙනවා. ඒ නිසා එතැන් සිට මගේ ළමා කාලය කිතුල්ගල ප්‍රදේශයේ ගෙවුණා. පුංචි කාලේ ඉඳන්ම මම සංගීතයට හරි ආසයි. ඉස්කෝලේ යන කාලේදී කවකටු පෙට්ටියට තට්ටු කරපු ඒ සුන්දර කාලය මට හරියට මතක් වෙනවා. මගේ තාත්තාත් සංගීතයට හරි කැමැතියි. මම ගායකයෙක් වෙනවා දකින්න තාත්තා ආස කළා. තාත්තා ව්‍යාපාරිකයෙක්. මට තාම මතකයි මම එක ප්‍රසංගයක සිංදු කියන්න දෙන්නම් කියලා අවසානයේදී මට ඒ අවස්ථාව ඒ කට්ටිය දුන්නේ නැහැ. මට හරියට දුක හිතුණා. මට තාම මතකයි තාත්තා එයාගේ අතින් වියදම් කරලා ගමට බෑන්ඩ් එකක් ගෙනැල්ලා ගමේ ප්‍රසංගයක් පවත්වලා එදා මට සිදු දෙක තුනක් කියන්න අවස්ථාව හදලා දුන්නා. කොහොම හරි අපි ගමේ පොඩි සංගීත කණ්ඩායමක් හදාගත්තා. ටිකින් ටික සංගීත කණ්ඩායම් කිහිපයකටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. කොහොම හරි මට ප්‍රේක්ෂකයෝ ආදරය කරන්නට, මාව ජනප්‍රිය වෙන්න අවස්ථාව ලැබුණේ චාමක රණවක ප්‍රධාන ''ආයුබෝවන් ශ්‍රී ලංකා'' සංගීත කණ්ඩායම හරහායි. ඒ ඔස්සේ ''මංජු මුදලිගේ'' කියන කෙනාට ප්‍රසංග වේදිකාවේ තැනක් ලැබුණා. අද මම ජනිත් රාජමන්ත්‍රී ප්‍රධාන ''Live Horizon'' සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙලා ඉන්නවා.


පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද...?


ඇත්තම කිව්වොත් පුංචි කාලේ තිබුණ මුල්ම හීනය ගායකයෙකු වීමයි. ඒක මට හැබෑ කරගන්න පුළුවන් වුණා... එක දවසක් ප්‍රසංග වේදිකාවක් බලන්න ධම්මික තිසේරා ඇවිත් හිටියා. අද වෙද්දී ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. නමුත් ඒ කාලේ ඔහු සහාය අධ්‍යක්ෂවරයෙක්. මාව දැකපු එතුමා ''රඟපාන්න කැමැතිද?'' කියලා ඇහුවා. ඒ ඔස්සේ තමයි ඔහු හරහා රංගනයට පිවිසෙන්නට මට අවස්ථාව ලැබුණා. මුලින්ම මම මොහාන් නියාස් මහතාගේ ටෙලිනාට්‍යයකට තමයි සම්බන්ධ වුණේ.


 පාසැලේදී මොන වගේ චරිතයක්ද...?


ඇත්තම කිව්වොත් පාසලේදී නම් එහෙම හොඳ නමක් තිබුණ චරිතයක් නෙවෙයි. දැන් බලද්දී ඒ කරපු දේවල් වැරදි නෙමෙයි කියලත් හිතෙනවා. ඒ කාලේ හරි සෙල්ලක්කාරයි. වර්තමානයේදී පාසැල් දරුවන් කරන වැරදි එක්ක අපි ඒ කාලේ වැරදි කරලා නැහැ කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ කාලේ මම කොයි වෙලෙත් %ප්‍රින්සිපල්ගේ ඔෆිස්^ එකේ තමයි හිටියේ. ඒ තරමට දඟ වැඩ කළේ. මම ඉගෙන ගත්තේ කළුගල මහ විදුහලෙයි. ඒක ගිනිගත්හේන සහ කිතුල්ගල අතර තිබුණ බොහෝම සාමාන්‍ය පාසලක්. මම උසස් පෙළ කළේ නැහැ. අධ්‍යාපනයට මගේ ලොකු හැකියාවක් තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ පළමු පාර මම අසමත් වුණා. දෙවැනි පාරත් අසමත් වුණා. තුන්වැනි පාර මම ඉස්කෝලේ නොගිහින් ටික දවසකින් ''මට විභාගය ලියන්න ඕනේ'' කියලා තනියම හිතුණා. දවසක් මම මගේ ඇඳ යට පෙට්ටි තුනක දාලා තිබුණ පොත් ටික එළියට අරගෙන එක ක්ලාස් එකකටවත් නොගිහින් තනියම පාඩම් කරලා විභාගය ලියලා උසස්පෙළ කරන්න පුළුවන් විදිහට විභාගය සමත් වුණා. හැබැයි පාසැලෙන් මාව පෙර වැරදි නිසාම වෙන්නත් ඇති උසස් පෙළ පන්තිවලට ගත්තේ නැහැ. එතනින් මගේ අධ්‍යාපනය නතර වුණා. නමුත් පොත පතේ අධ්‍යාපනයට වඩා අද මට සමාජයෙන් ලැබුණ ඉගෙනීම වැඩියි කියලයි හිතෙන්නේ. ඒ දේවල් පොතපතින් ගන්න බැහැ.


 මංජුගේ මුල්ම රැකියාව වුණේ මොකක්ද?


කලාවෙන් හැර වෙනත් රැකියාවක් මම කරලා නැහැ. මගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට මම සහයෝගය ලබලා දීලා තිබෙනවා. ඒ හැර මම කාගෙවත් යටතේ ඉඳල රැකියාවක් කරලා නැහැ. අද මම විවාහකයි. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ ජීවිතේ ආර්ථික අපහසුකම් තිබුණත් මාව, මගේ ආසාව මගේ දෙමව්පියෝ තේරුම් ගත්තා. මගේ බිරිඳ තේරුම් ගත්තා. මට කලා කටයුතු නිදහසේ කරගෙන යන්න ඒ අයගෙන් ලොකු  සහයෝගයක් වගේම නිදහසක් ලබලා දීලා තිබෙනවා. ඒකට ස්තූති කරන්නම ඕනේ.


මංජුගේ... ඊළඟට තිබෙන බලාපොරොත්තු මොනවාද..?


මම කලාවට හරියට ආදරේ කරන කෙනෙක්. සංගීත ක්ෂේත්‍රයේ වගේම රංගනයේදීත් නව නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැතියි. ඒ සම්බන්ධයෙන් මම බොහෝ දේවල් ඉගෙනගන්න තිබෙනවා. මෑතකදී මම ගීතයක් කළා. ''ඇස් තෙමාලා'' නමින් ඒක නම් කළා. මේ දිනවල ඒ ගීතය You Tube ඔස්සේ අහන්නට දකින්නට පුළුවන්. ඉතින්... මේ ලැබෙන ප්‍රතිචාර, ආශීර්වාදය, ආදරය එක්ක කලාවේ තව ඉදිරි ගමනක් යන්න කැමැතියි.


I දිශානි




Previous Post Next Post