ලොකු දේවල් නෙවේ හරි දේවල් කරන්න-චූලා පද්මේන්ද්‍ර




ලංකාවේ පළමුවැනි වතාවට නීතිඥ කණ්ඩායමක් පමණක් සහභාගි වන විලාසිතා දැක්මක් ඔක්තෝබර් මස 6 වැනි දින සවස 7.00ට කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. උසාවියෙන් දඩ නියම වී එය ගෙවාගත නොහැකිව අසරණ වූ කාන්තාවන් හා දරුවන් එයින් ගලවා ගැනීම සඳහා චූලා පද්මේන්ද්‍ර ප්‍රමුඛ amor සංවිධානය තමා මේ කටයුත්තට දායක වෙන්නේ. Fashion for Freedom (පැෂන් ෆෝ ෆ්‍රීඩම්) යනුවෙන් නම් කළ මේ අමුතුම විලාසිතා දැක්ම ගැන කතා කරන්න මෙවර අපි චූලා පද්මේන්ද්‍ර සමග එකතු වුණා.



Fashion for Freedom විලාසිතා දැක්ම ගැන පැහැදිලි කිරීමක් කරමුද...



උසාවියෙන් දඩ නියම වෙලත් දඩ ගෙවාගන්න බැරි කාන්තාවන් සහ මවුවරු විශාල ප්‍රමාණයක් බන්ධනාගාරවල ඉන්නවා. ඒ වගේම අම්මා සිරගත වුණාම පුංචි දරුවෝ ඉන්නවා නම් ඒ අයත් බන්ධනාගාරය තුළම ඉන්නවා. මේ අයගේ සුබසාධනය වෙනුවෙන් යමක් කිරීම වැදගත්. මේ විලාසිතා දැක්මෙන් ලැබෙන සෑම මුදලක්ම මේ අයව එළියට ගන්න සහ ඔවුන්ගේ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කරනවා.


මේ විලාසිතා දැක්මේ ඇති විශේෂත්වය මොකක්ද?




මේ විලාසිතා දැක්ම වෙනුවෙන් එකතු වෙන්නේ වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පීන් නොවේ. නීතිඥවරු තමා විලාසිතා දැක්ම වෙනුවෙන් එකතු වෙන්නේ. නීතිඥයන් 40ක් පමණ විලාසිතා දැක්ම වෙනුවෙන් එකතු වෙනවා.




නීතිඥවරුන්ද, නීතිඥවරියන්ද වැඩි වශයෙන් සහභාගි වෙන්නේ.




පිරිමි අය අටක් විතර ඉන්නවා. අනිත් සේරම නීතිඥවරියන්.




කලින් මෙවැනි විලාසිතා දැක්මවල් පවත්වලා තියෙනවද?




ලංකාවේ නම් මෙවැනි විලාසිතා දැක්මවල් පවත්වලා නැහැ. නමුත් ලෝකයේ වෛද්‍යවරු සහභාගි වෙන විලාසිතා දැක්මවල් තිබිලා තියෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි සම්පූර්ණයෙන්ම නීතිඥයන් සහභාගි වෙන විලාසිතා දැක්මක් පැවැත්වෙන්නේ.




ඇයි ඔබ මේ සඳහා නීතිඥයන්ව තෝරගත්තේ?




ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ලොකු කඩාවැටීමක් තියෙනවා. මොකද මේ ක්ෂේත්‍රයට එන උගත් අය ප්‍රමාණය අඩුවෙලා. ඒ නිසා තමා පැජන්ට්වල පවා මේ තරම් ප්‍රශ්න ඇති වෙන්නේ. මට අවශ්‍ය වුණා නිරූපණ ක්ෂේත්‍රයට උගත්, එහෙම නැත්නම් ප්‍රොපෙෂනල් අය සම්බන්ධ කරගන්න. ඒ නිසා තමා නීතිඥයන් ප්‍රසංගය සඳහා සම්බන්ධ කරගත්තේ.




නීතිඥයන් මෙවැනි කටයුතු සඳහා සංවේදීකමක් දක්වනවද?




අන්න ඒ මතය බිඳින්නත් මට අවශ්‍ය වුණා. හුඟක් වෙලාවට බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ නීතිඥවරු හරිම රළුයි කියලා. මේ මතය බිඳින්න මට අවශ්‍ය වුණා. ඔය කියන තරම් නීතිඥවරු රළු නැහැ. ඔවුන් ළඟත් සංවේදීකම තියෙනවා. අසරණ අය වෙනුවෙන් ඔවුන් අනන්තවත් නොමිලේ නඩුවලට පෙනී සිටිනවා. අපි සංවේදියි කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට වඩා නීතිඥයන් සංවේදියි. මේ විලාසිතා දැක්ම සහ අරමුණෙන් ඒ බව හොඳටම පැහැදිලි වෙනවා.




ඔබේ සංවිධානය නම් කරලා තියෙන්නේ amor කියලා...


අමෝර් (amor) කියන්නේ ආදරය. අපි කරන්න හදන්නේ දඩයක් ගෙවාගන්න බැරිව සිරගත වෙලා ඉන්න කාන්තාවන්ව එළියට ගන්න. හිරගෙදර ඇතුළේ ඉන්න දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කරන්න. මේ බෙදාගන්න හදන්නේ ආදරය. මේ හරහා අපි ළෙන්ගතුකමයි ගොඩනගන්නේ.



නීතිඥයන්ව මෝස්තර නිරූපණයට යොමුකරන්න අමාරු වුණේ නැද්ද?



උගත් අයව ඕනම දේකට ඉතා ඉක්මනින් පුහුණු කරලා ගන්න පුළුවන්. සතියකට එක දවසක් විතර පුහුණු වුණේ, මාස දෙකක් වැනි කෙටි කාලයකින් ඔවුන් වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පීන්ගේ මට්ටමට අරගන්න පුළුවන් වුණා.


පුහුණුවීම් කරනකොට කේන්ති යන්නෙ නැද්ද? මොකද සමහරු කියනවා චූලාට ටිකක් කේන්ති යනවා කියලා...




චූලාට කේන්ති යන්නේ අසාධාරණයක් දැක්කාම විතරයි. එහෙම නැතුව මට කේන්ති යන්නේ නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කෙනෙක්. හැබැයි අසාධාරණය දැක්කාම කට වහගෙන නොදැක්කා වගේ ඉන්නෙ නැහැ.




 එතකොට මේ පැතිරෙන කතා බොරුද?




එක් සිදුවීමක් නිසා තමයි ඔය කතාව කියන්නේ. අසාධාරණයට විරුද්ධ වෙනවා මිසක් මම බොහොම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්. පසුගිය දවස්වල DSI පැෂන් ෂෝ එක කළා. ඒකේ වැඩ කරන ළමයි පුහුණු කරලා පැෂන් ෂෝ එක කළේ. එයාලා දන්නවා චූලා කියන්නේ මොන තරම් සංවේදී කෙනෙක්ද කියලා. මාව දන්න අය දන්නවා මම ගැන. හැබැයි අසාධාරණය ඉස්සරහා ආවේගශීලී වෙනවා.




මේ විලාසිතා දැක්ම සඳහා කලාකරුවන් සම්බන්ධ කරගත්තේ නැද්ද?




සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ ගීතයෙන් සම්බන්ධ වෙනවා. ඒ හැරුණාම නිරූපණය කරන්නේ නීතිඥයන් පමණයි.




කොහොමද ලැබෙන ප්‍රතිචාර...




ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. හැම අවුරුද්දකම මේ විලාසිතා දැක්ම කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.




ඇයි මේ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ...




ලංකාවේ සුබසාධනය වෙනුවෙන් පැෂන් ෂෝ කරනවා අඩුයි. පැෂන් ෂෝ සහ පැජන්ට් වැඩි වශයෙන් කරන්නේ මුදල් උපයා ගැනී‍මේ අරමුණින්. නමුත් අපි මේ කරන්නේ අනිත් අයගේ නිදහස හා සතුට වෙනුවෙන් මුදල් හොයලා දෙන වැඩක්.




පැෂන් කියන්නේ ආර්ට් එකක් නේද? ඒ ආර්ට් එක දැන් නැහැ නේද?




විලාසිතා දැක්මක් නිර්මාණය වෙන් වෙන් තේමාවක් ඔස්සේ. නමුත් අද මේ දේවල්වලට තේමාවක් නැහැ. පැජන්ට්වල ක්‍රවුන් එක සල්ලිවලට විකිණෙනවා. නැෂනල් ඩිරෙක්ටර්ස්ලා මුදල් හම්බ කරගන්නවා. පැජන්ට් හා පැෂන් මාෆියාවක් වෙලා තියෙන්නේ. මම උත්සාහ කරනවා මේ තුළ ඇති ආර්ට් එක එළියට අරගන්න.




නමුත් අද දැවැන්ත විලාසිතා දැක්මවල් සහ දැවැන්ත පැජන්ට් තියෙනවා නේද?




දැවැන්ත වැඩ කරලා, දැවැන්ත මුදලක් හොයලා සාක්කුවේ දාගන්නවා. ඔය දැවැන්ත වැඩවලින් එළියට ආපු එක මෝස්තර නිරූපිකාවක් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවද? කිසිම කෙනෙක් නැහැ. ලොකු වැඩ කරලා සුබසාධනයක් නැහැ. රූ රැජිනියන් බිහි වුණාම ඇය සුබසාධනය වෙනුවෙන් යමක් කළ යුතුයි. බලන්න, ඓශ්වර්යා රායි, සුස්මිතා සෙන් වගේ අය තාමත් වැඩ කරනවා. ලංකාවේ සුබසාධන වැඩකට තියෙන්නේ කැරොලයින්ගේ ජටා වැඩසටහන විතරයි. ලොකු දේවල් නෙවේ කරන්න ඕනේ, හරි දේවල්.




චූලා ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?




මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු දහසයේදි. දැන් මම ක්ෂේත්‍රයේ වැඩ කරන්න අරගෙන අවුරුදු විසි පහක් විතර වෙනවා.




ඇයි ඔබ මෝස්තර නිරූපිකාවක් වෙන්නේ...




මගේ තාත්තා ෆොටෝ ග්‍රැෆර් කෙනෙක්. ඔහු හිටියේ ඉතාලියේ. ඔහු තුළ තිබූ හැඟීම් තමා මාව නිරූපිකාවක් කරන්න ඇත්තේ. මමත් පුංචි කාලේ ඉඳලා නයෝමි කැම්බල් වැනි නිරූපිකාවන්ට ආදරේ කළා.




ඔබ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන කාලේ ස්වභාවය ගැන මතක් කරමුද?




ඒ කාලේ මෝස්තර නිරූපණය කොළඹට පමණක් සීමාවෙලා තිබුණේ. නමුත් අද ෂෝසල් මීඩියා හරහා ඕනෑම කෙනෙක්ට ක්ෂේත්‍රයට එන්න පුළුවන්. හැබැයි අපේ කාලේ ටැලන්ට් අය විතරයි ක්ෂේත්‍රයේ රැඳුණේ. නමුත් අද ෂෝෂල් මීඩියා නිසා බොරුකාරයොත් රඟපෑම් ඉදිරිපත් කරනවා. අද පැජන්ට්වලින් නිරූපිකාවෝ එනවා, නමුත් මේ අයට ස්ටේජ් එකක ඇවිදගන්න බැහැ. මෝස්තර නිරූපණය ගමට විවෘත වුණත් ස්ටේජ් එකක හීල් දාලා ඇවිදින්න පුළුවන් අය ඉන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි. අද ටොප් මොඩල් කියන එක හොඳටම බාල වෙලා.



මොඩලින් සහ පැජන්ට් කියන්නේ එකක්ද?



පැහැදිලිවම දෙකක්. නිරූපිකාවක් කියන්නේ ඉදිරිපත් කරන්නියක්. ඇය විවිධ ඉරියව්වලින් ඇවිදින්න ඕන. නිරූපණය කරන්න ඕනේ. පැජන්ට් එකක් කියන්නේ ටයිටල් එකක්. මොඩ්ල් කෙනෙක් වුණොත් තමා නමක් හදාගන්න පුළුවන්. පැජන්ට්වලදි නම් එහෙම ප්‍රමිතියක් නැහැ. කොහෙත්ම මේ දෙක පටලවා ගන්න එපා. පැජන්ට් කියන ඒවා අද ඉතා අඩු මුදලට විකිණෙන ඉවෙන්ට් බවට පත්වෙලා. මේ දේවල් නිසා සමස්ත කර්මාන්තයම විනාශ වෙමින් යනවා.



නිරූපිකාවක් වෙන්න සල්ලි තියෙන්න ඕනෙ කියලද ඔබ කියන්නේ?


ටැලන්ට් එක තියෙනවා නම් සල්ලි මොකටද... පැජන්ට් එකක නම් වියදම් ටිකක් තියෙනවා. නමුත් මෝස්තර නිරූපිකාවක් වෙන්න එහෙම අවශ්‍ය නැහැ. හොඳ ට්‍රේනර් කෙනෙක් ළඟ පුහුණුවීම් කළොත් හොඳ නිරූපිකාවක් වෙන්න පුළුවන්.



කොහොමද කෙනෙක් මේ රැවටිලිවලට හසු නොවී ක්ෂේත්‍රයේ ඉන්නේ?



තමන් මෝස්තර නිරූපණය කරන්නේ කුමන තැනකින්ද කියලා හොයලා බලන්න. එක එක නම්වලින් පැජන්ට් එනවා. සමහරු ජාත්‍යන්තරයේ නම් විකුණලා හම්බ කරනවා. හොඳ නමක් තියෙන තැනක් තෝරගන්න කියලා තමයි මම කියන්නේ.



චූලා කාලයක් දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළා නේද?



දැන් නම් නර්තන කටයුතු සඳහා මට කාලයක් නැහැ. ලංකාවේ ප්‍රධාන නර්තන තරගවලින් මම අවසානය දක්වා ආවා. පහුගිය දවසක ගයාන් ශ්‍රීමාල්ගේ තාන හැන්දෑවේ නර්තනය කළා.


ඒ තරම් කාර්ය බහුලද?



ඇත්තටම මම, මගේ පුතා වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරලා තියෙන්නේ. එයාගේ අනාගතය වෙනුවෙන් මම එයා ළඟ ඉන්න ඕනේ.


රඟපාන්න ආරාධනා නැද්ද?



රඟපාන්න ආරාධනා එනවා. ගැළපෙන දෙයක් බලලා තමයි මම තෝරගන්නේ. අශාන්තිගේ, නන්දා මාලනීගේ මියුසික් වීඩියෝවල රඟපෑවා. මට ගැළපෙන හොඳ දෙයක් ආවොත් බාර ගන්නවා.


පුතත් මේ ක්ෂේත්‍රය තෝරාගනීවිද?


මම පුතාට කිසිම ක්ෂේත්‍රයක් තෝරගන්න කියලා බල කරලා නැහැ. එයා විද්‍යාඥයෙක් වුණත්, චෙෆ් කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ පුතා සතුටින් ඉන්න ඕනේ. දෙමාපියන්ගේ ආසාවන් ඉෂ්ට කරන දරුවෙක් නොවී සමාජයට සේවයක් කළ හැකි හොඳ දරුවෙක් නිර්මාණය විය යුතුයි.


අනාගත සැලසුම් මොනවාද?



ලොකු සැලසුම් නැහැ. අනාගතයේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට හොඳ දැනුමක්, බුද්ධියක් තියෙන දරුවන් පිරිසක් නිර්මාණය කළ යුතුයි. එතකොට මේ ඇනකොටාගන්නා තත්ත්වය නැතිවෙයි. බුද්ධිමත් අය ක්ෂේත්‍රයට ආවොත් තමයි ක්ෂේත්‍රය රැකෙන්නේ.



චූලා පද්මේන්ද්‍ර කියන්නේ සිංහල කෙනෙක් නෙවේ කියලා සමහරු කියනවා...



මම හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්. හැබැයි මම ආගම දහම ඔළුවෙ තියාගෙන අන්තගාමී වෙලා නැහැ. හැම ආගමකටම ජාතියකටම ගරු කරනවා. මට නම තිබ්වේ අජන්තා රණසිංහ මහත්මයා. චූල් කියන්නේ පාලියෙන් පොඩි කියන එකට. පත්මේන්ද්‍රා කියන්නේ නෙළුම් මල. මගේ නමේ තේරුම පොඩි නෙළුම් මල කියන එක. මම ඉගෙන ගත්තේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ. මම විශ්වාස කරනවා අද මම ගැන හරියටම දැනගත්තා කියලා.



ජීවිතේ ගැන මොහොතක් ආපසු හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ....


සතුටු වෙන්න පුළුවන්. දුක හිතෙන දේවල් නැතුවාම නෙවේ. නමුත් හැමදාම ඉන්න නෙවෙයිිනේ අපි ඇවිත් ඉන්නේ. දුක හිතෙන තැන්වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒ තුළින් තමා සතුට ළඟාකර ගන්නේ. 






Previous Post Next Post