ලෝක වාර්තාවට අත වනන ටෙන්ඩුල්කර් දියණියගේ සිහින තරුව




 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අග්‍රගණ්‍ය පිතිකරුවෝ එමටය. එවැනි බොහෝ පිතිකරුවන් විශිෂ්ටත්වයට පත් වී ඇත්තේ අත්දැකීම් තුළිනි. කැපී පෙනෙන ක්‍රිකට් තරු බවට පත් වූ වැඩි අත්දැකීමක් නැති කෝඩුකාරයෝ ද නැත්තේ නොවේ. ඒ අතුරින් 24 හැවිරිදි ෂුබ්මාන් ගිල්ට හිමි වන්නේ සුවිශේෂී තැනකි.


විශේෂත්වය වන්නේ වසර 2019 ජනවාරියේදී ඉන්දීය ජාතික පිලේ හිස්වැස්මට හිමිකම් කී මේ දකුණත් පිතිකරුවාට ක්‍රිකට් පිටිය දිග්විජය කිරීමට වැඩි කාලයක් වැය නොවීමය. හෙතෙම පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත් වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයට ලක් වූ අතර, එහි උණුසුම මැකී යෑමටත් පෙර ඔස්ට්‍රේලියානු පිලේ ඉන්දීය සංචාරයේ දෙවැනි එක්දින තරගයේදී ශතකයකට හිමිකම් කියමින් තවත් වාර්තාවකට හිමිකම් කීවේ ඉන්දීය ක්‍රිකට් අඹරේ දිදුලන තරුව බවට පත් වෙමිනි.


ඔස්ට්‍රේලියාවට එරෙහිව මොහාලි නුවර පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 74ක් රැස් කළ ෂුබ්මාන් වාර්තාගත ශතකය රැස් කළේ ඉන්ඩෝර් හි පැවැති දෙවැනි එක්දින තරගයේදීය. එය ෂුබ්මාන් මේ වසරේදී රැස් කළ පස්වැනි එක්දින ශතකය වන අතර, එදා ඔහු රැස් කළ ලකුණු 104 වාර්තාපොතට එක් වූයේ කැලැන්ඩර් වසරක එක්දින ශතක 5 සම්පූර්ණ කළ 7 වැනි ඉන්දීය පිතිකරුවා ලෙසිනි. ‍කැලැන්ඩර් වසරක එක්දින ශතක 5 සම්පූර්ණ කළ සෙසු ඉන්දීය පිතිකරුවන් ලෙස ඉතිහාසයට එක් වූයේ සචින් තෙන්ඩුල්කර්, විරාට් කෝලි, රාහුල් ඩ්‍රාවිඩ්, සෞරව් ගැන්ගුලි, ශිකර් ධවාන් සහ රෝහිත් ෂර්මාය. ෂුබ්මාන් ද මේ විශිෂ්ටයෝ ගොන්නට එක්වීමෙන් ඉන්දීය ක්‍රිකට් අනාගතයට කදිම ආයෝජනයක් බවට පත්වී සිටී.


ෂුබ්මාන් ගිල් 1999 සැප්තැම්බරයේදී පන්ජාබයේ ෆසිල්කා නුවර සීක් ජාතික පවුලක උපත ලැබුවේ නිවුන් දරුවන් ලෙසිනි. ඔහුගේ නිවුන් සොහොයුරිය ශානීල් එකට හැදී වැඩුණු මේ කඩවසම් ඉලන්දාරියා ක්‍රිකට් ක්‍රීඩකයකු වූයේ ඔහුගේ පියාගේ බලපෑම් නිසාය. ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය තිබුණේ ගොවියකු වූ ලක්ෂ්වින්දර් සිං ගේ සිත තුළය. එහෙත් ඔහුට ඒ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි විය. සිය පුත්‍රයා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කිරීමට ඔහු තීරණය කළේ එබැවිනි. අවුරුදු තුනේදීම පිත්ත අතට ගත් ෂුබ්මාන්ගේ ක්‍රිකට් හැකියාව දුටු ලක්ෂ්වින්දර් ඔහුට සිය ගොවිපොලේම ක්‍රිකට් පිටියක් සහ ‘ටර්ෆ්‘ විකට්ටුවක් තනා දුන්නේය. ඔහුට පිතිහරඹය පුහුණු කළේ සිය ගොවිපොළේ රැකියාව කළ සේවකයන් පන්දු යවන්නෝ බවට පත් කරමිනි. ඒ සඳහා ඔහු සේවකයන්ට වෙනම ගෙවීමක් කළ බව ද කියැවේ. පසුව ෂුබ්මාන් සමඟ ගොවිපොළේ ක්‍රිකට් ගැසීමට ගමේ කොල්ලොත් එක් වූහ. හැකිනම් තමන්ගේ කඩුල්ල දවා ගන්නා ලෙසත්, එසේ කඩුල්ල දවාගන්නේ නම් රුපියල් සියයක් දෙන බවටත් ඔහු ගමේ කොල්ලන් හා ඔට්ටු තැබුවේය.


පුත්‍රයාගේ පිතිහරඹයේ තරම බලා සිටි ලක්ෂ්වින්දර් අනතුරුව උපන් ගම හැර දමා මොහාලි නුවර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසළ නිවෙසක් කුලියට ගෙන එහි පදිංචියට ගියේ සිය පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩකයකු නොකර ආපසු ගමට නොයන බවට අදිටන් කරගනිමිනි.


පියාගේ අනුමානය වැරදුණේ නැත. විජේ මර්චන්ට් කුසලානය සඳහා වූ අවුරුදු 16න් පහළ ප්‍රාන්ත තරගාවලියේදී පන්ජාබ් ප්‍රාන්තය වෙනුවෙන් සිය කුලුඳුල් තරගයට පිවිසි ෂුබ්මාන් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කරමින් පියාගේ සිහිනය සැබෑ කිරීමේ පළමු අඩිතාලම දැමුවේය. ෂුබ්මාන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සේන්දු වූයේ එලෙසිනි. ඔහු දැන් කාගෙත් අවධානයට ලක්වූ පිතිකරුවෙකි. ක්‍රිකට් විචාරකයන් කියන්නේ ෂුබ්මාන් යනු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ නැඟී එන තරුව කියාය. ඔහු ඉන්දීය ක්‍රිකට් කරළියේ මීළඟ විරාට් කෝලි බව හිටපු ක්‍රීඩක සුරේෂ් රයිනා දැනටමත් අනාවැකි පළ කර තිබේ. ෂුබ්මාන්ගේ පිතිහරඹ තාක්ෂණය කෝලිට වඩා වෙනස්ය. ඔහුගේ මුළු ක්‍රීඩා රටාවම පදනම් වී ඇත්තේ පසුපාදය කේන්ද්‍ර කරගනිමිනි. එය හැම අතින්ම සමාන වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු හා කඩුලු රකින්නකු වූ බ්‍රෙන්ඩන් කුරුප්පුගේ පිතිහරඹ රටාවටය.


ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි එක්දින තරගය අවසන් වෙද්දී ඔහු මේ වසරේදී එක්දින තරග 20කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1230 කි. ඊට ශතක 5කි. අර්ධ ශතක ද 5කි. දෙපිල අතර තුන්වැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ 27 වැනිදාය. මේ සටහන ඊට පෙර ලියැවෙන බැවින් ඒ තරගයේදී ෂුබ්මාන්ගේ පිත්තෙන් රැස්වන ලකුණු ප්‍රමාණය ගැන අනුමාන කළ නොහැකිය.


එය කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ ලෝක වාර්තාවක් අබියෙස සිටින බව නම් ඉඳුරාම කිව හැකිය. එය එතෙක් මෙතෙක් එක්දින තරග බිමේ වසරකදී පිතිකරුවකු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවය. එම වාර්තාව තබනු ලැබුවේ අන් කිසිවකු හෝ නොව ෂුබ්මාන්ගේ අනාගත මාමණ්ඩිය වනු ඇතැයි කවුරුත් කියන ලෝක පූජිත ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කර්ය. ෂුබ්මාන් යනු සචින්ගේ එකම දියණිය සාරාගේ සිහින කුමරු බවට ඉන්දියාවේ ක්‍රීඩාලෝලීන් අතර පැතිරී ඇති කතාව තවමත් තහවුරු වී නැත. එය කෙසේ වුවත් තවමත් නොබිඳී පවතින සචින් 1998 කැලැන්ඩර් වසරේදී ලකුණු 1894ක් රැස් කරමින් තැබූ ලෝක වාර්තාව මේ වසරේදී බිඳ දැමීමට ෂුබ්මාන්ට වැඩි අවස්ථාවක් ඇති බව නම් සහතිකය.


ඒ සඳහා ඔහුට අවශ්‍ය තවත් ලකුණු 665ක් පමණි. ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තුන්වැනි තරගයට අමතරව ෂුබ්මාන්ට ඒ සඳහා තවත් එක්දින තරග ගණනාවක්ම ඉතිරිව තිබේ. එළැඹෙන එක්දින ලෝක කුසලානයේදී ඉන්දියාව මූලික වටයේ තරග 9කට ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන්දියාව අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට ගියහොත් එතැනම තවත් තරග දෙකකි. ඉන්දීය පිල දකුණු අප්‍රිකාව සමඟත් එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය.


ෂුබ්මාන් ආබාධයකට ලක් නොවන්නේ නම් හෝ ඉන්දියාව ඔහු තරග කිහිපයකින් විවේක ගැන්වීමට නොසිතන්නේ නම් හෝ සචින්ගේ ලෝක වාර්තාව බිඳ දැමීමට ඔහුට තවත් එක්දින තරග 13ක්ම ඉතිරිව තිබේ.


ෆවුස් මොහොමඩ්





Previous Post Next Post