රංගනයට මාව ගයිඩ් කරන්නේ තුමිඳු- කළණි ‍දොඩන්තැන්න

 


මේ වන තෙක් දායක වූ නිර්මාණ සංඛ්‍යාව සීමිත වුවද තමා සතු වූ  භාවාත්මක හැඟීම් ප්‍රකාශනයේ සුහුරු බව නිසාම එම සෑම නිර්මාණයක් හරහා ම ප්‍රේක්ෂක හදවත්හි නොමැකෙනා සටහනක් තැබීමට ඇයට හැකි විය. අවිහිංක පෙනුමත්, රංගනය විෂයෙහි පවතින්නා වූ හැකියාවත් එක්ව කලින් කලට මතු වෙමින් සබුද්ධික ප්‍රේක්ෂකයාව මතක දාමයක අතරමං කර සැඟව යන්නී ඇය නමින් කළණි ‍ෙදාඩන්තැන්නය. දීර්ඝ කාලයකින් අනතුරුව ජීවිතයේ එක් දවසක් වත්සලාගේ චරිතය හරහා රසිකයන් හමුවට එන ඇගේ තොරතුරු කිහිපයක් ඔබ සමඟ බෙදා ගන්නට අපි තීරණය කළා. 


මේ දිනවල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දිනවල සාමාන්‍ය විධියට මමයි, අපූර්වයි, තුමිඳුයි අපි තුන්දෙනා, තුමිඳුගේ අධ්‍යාපන කටයුතුත් සිදු වෙන අතරෙම හරිම සතුටින් ජීවත් වෙනවා.


ජීවිතයේ එක් දවසක් වත්සලාට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?


මේ වෙලාවේ මම ලංකාවේ ජීවත් නොවෙන නිසා ලැබෙන ප්‍රතිචාර සජීවීව විඳින්න අවස්ථාවක් නැහැ. නමුත් සමාජ මාධ්‍ය හරහා මගේ රසිකයන් බොහෝමයක් ඔවුන්ගේ අදහස් ලියලා එවනවා. මම ඒවා සියල්ලම වගේ කියවනවා. ඒ වගේම මේ රටේ ජීවත්වෙන ලාංකිකයන් නාට්‍යය නරඹලා ඔවුන්ගේ අදහස් මට කියනවා. මේ ලැබෙන ප්‍රතිචාර පිළිබඳව මට නිහතමානි සතුටක් තිබෙන්නේ.


ඔබ දායක වූ නිර්මාණ සංඛ්‍යාව දායක වූ සෑම නිර්මාණයක් හරහාම ඔබ අතිශය ජනප්‍රිය වුණා, එයට හේතුව මොකක්ද?


 එහෙම කියන එකත් මට ලොකු සතුටක්. ඇත්තටම මම වැඩ කළේ අපේ රටේ දක්ෂ නිර්මාණකරුවෝ සමඟ. මම සම්බන්ධ වුණු නිර්මාණ සාර්ථක වුණා නම් හරි එම නිර්මාණවල මගේ රංගනය සාර්ථක වුණා නම් මම හිතන්නේ ඒ වටිනාකම හිමි වෙන්න ඕනි ඒවාහි නිර්මාණකරුවන්ට.


චරිතයක් තෝරා ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වන කරුණු මොනවා ද?


මට චරිතයක් ලැබුණම මුලින්ම බලන්නේ ඒ චරිතය මට ගැළපෙනවා ද කියන දේ. ඒ වගේම ඒ පිටපත ඇතුළේ මගේ චරිතය හරහා මට කරන්න දෙයක් තිබෙනවාද කියන දේ ගැනත් මම සැලකිලිමත් වෙනවා.


ඔබේ වෘත්තීය රංගනය නොවෙයි, ඉතින් මෙතරම් අතිදක්ෂ හා භාවාත්මක ලෙස රංගනයේ යෙදෙන්නේ කොහොම ද?


මම පොඩි කාලේ සිටම පල්ලියේ නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේ ම මගේ පළමු උපාධිය Performing Arts සම්බන්ධව. එතැනදී මගේ විශ්වවිද්‍යාල ජීවිතය හරහා රංගනය පිළිබඳව යම් තාක් දුරකට ඉගෙන ගන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව වුණත් මම නාමල් ජයසිංහ මහත්මයාගේ රංගන වැඩමුළුවලට සම්බන්ධ වුණා. මගේ නාට්‍ය ගුරුවරයා තමයි නාමල් ජයසිංහ මහත්මයා.


ඒ වගේම තුමිඳු තමයි නාට්‍යවල මගේ රංගනය සම්බන්ධයෙන් මාව ගයිඩ් කරන්නේ, ඔහු මගේ අඩුපාඩුත් පෙන්නලා දෙනවා. ඊට අමතරම මගේ රංගනයේ යම් තරම හෝ සාර්ථකත්වයක් තිබෙනවා නම් ඒකට  මම සම්බන්ධ වුණු නාට්‍යවල හිටපු අනෙකුත් ශිල්පීන්ගෙන් මට ලැබුණු සහයෝගයත් හේතුවක්.


ආර්ට් හා ඇක්ටිංග් අතර තිබෙන සම්බන්ධය මොන වගේ ද?


ඇක්ටිංග් කියන්නෙම ආර්ට් එකක් කියලා තමයි මම හිතන්නේ විදෙස් රටක ජීවත් වෙන ගමන්.


ලංකාවේ නිර්මාණවලට දායකත්වය ලබා දීමේදී මතු වන අපහසුතා ගැනත් කතා කරමු?


අපි මේ වෙලාවේ මේ රටේ ඉන්නේ තුමිඳුගේ පී. එච්.ඩී. එක නිසා. ඉතිං නිර්මාණවලට ආරාධනා ලැබුණ ම මම ලංකාවට ඇවිත් ඒවට දායක වෙනවා. පසුගිය කාලෙත් ඒ වගේ නිර්මාණ කිහිපයකට ම දායක වුණා. ඒ වගේ වෙලාවට අපේ පුතාව බලාගන්නේ තුමිඳු. ඒ දෙන්නගෙන්ම ලැබෙන සහයෝගය නිසා තමයි මට මෙහෙම නිර්මාණවලට දායක වෙන්න හැකි වෙලා තිබෙන්නේ.


මේ තරම් හොඳ තිර පිටපත්, නිර්මාණ ලැබෙන්න විශේෂ හේතුවක් තිබෙනව ද?


මම හැමවෙලාවෙම මට ගැළපෙන චරිත තෝරගන්නවා. ඒ වගේම ඒ චරිත ඇතුළේ තිබෙන ‘ජීවිතය’ හොයාගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඒක තමයි ගැළපෙනම පිළිතුර.


රංගනයේදී සැමියාගෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු?


තුමිඳු තමයි මගේ හැම දේකටම උදවු කරන්නේ. රංගනය වගේම මගේ අනෙකුත් රැකියාවන්, අධ්‍යාපනය, පවුල මේ සියල්ලටම මට ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම තුමිඳුට මේ ක්ෂේත්‍ර ගැන වගේම රංගනය ගැන ඔහුට තිබෙන දැනුම මාත් එක්ක බෙදා ගන්නවා. ඒක මට මගේ වැඩකටයුතුවල ලොකු පහසුවක්. ඒ වගේම ඔහු මගේ මානසික නිදහස ගැන හැම මොහොතක හිතන කෙනෙක්. මට මානසික නිදහසකින් මම කරන වැඩ කටයුතු කරගන්න ඔහුගෙන් විශාල සහයෝගයක් හිමි වෙනවා.


ඉදිරි වැඩ කටයුතු ගැනත් දැනගන්න කැමැතියි?


මම රංගනයෙන් දායක වුණු කෝරළගේ සමන් අධ්‍යක්ෂණය කළ ‘අමුතු ‍ෙදාස්තර’ ටෙලි නාට්‍යය ඉදිරියේදී විකාශනය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව එංගලන්තයේදී මම සම්බන්ධ වුණු ‘සිලෝන්’  කියන කෙටි චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල සිද්ධ වෙනවා. ඒක බි්‍රතාන්‍ය නිෂ්පාදනයක්. ඒ වගේම මම සම්බන්ධ වුණු මියුසික් වීඩියෝ කිහිපයකුත් ඉදිරියේදී නිකුත් වීමට තිබෙනවා. ඒ දේවල් තමයි කලා කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී එන්න තිබෙන්නේ.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post