හැමෝම ආදරේ කරන්නෙ මගේ ඇස් දෙකට- දිල්කි දිසානායක




දීර්ඝ කාලයක් තිස්සේ දෙරණ නාළිකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලි නිර්මාණයක් වන දෙවෙනි ඉනිමේ ලිහිණිගේ බෝඩිමේ යෙහෙළිය ඔබට තවමත් අමතක නැතුව ඇති. ඇය අමතක නොවෙන්න හේතුව ඇගේ දිලිසෙන ඇස් දෙක කිවුවත් හරි. කෙනෙකුට ලේසියෙන් අමතක නොවන ආකර්ෂණීය ඇස් දෙකක් හිමි ඇය නව පරපුරේ රංගන ශිල්පිනී දිල්කි දිසානායකයි. සියත නාළිකාවේ විකාශය වන ‘ඇතුල්වීම තහනම්’ ටෙලි නිර්මාණයේ නර්තන ගුරුවරිය ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඇය සමඟයි මේ කතාබහ.


දෙවෙනි ඉනිම කියන්නෙ වසර ගණනාවක්.තිස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ටෙලි නිර්මාණයක්. ඔබ එහි පවනි. පවනි මේ දවස්වල පේන්න නෑ නේද?


පවනිගෙ චරිතය නිමාවට පත්වෙලා දැන් ටික දවසක් වෙනවා. ඒත් බොහෝ දෙනා මට තාමත් කතා කරන්නේ පවනි කියලා. ඒ ගැන දැනෙන්නෙ ලොකු සතුටක්. දෙවෙනි ඉනිම කියන්නෙ වසර 7කටත් වඩා දිගහැරුණූ ටෙලි නාට්‍යයක්. දැන් ඒක ප්‍රේක්ෂකයන්ට තමන්ගෙ පවුලෙ දෙයක් වගේ වෙලා. මගේ පළමුවෙනි රංගන අත්දැකීම විදිහට අදටත් පවනිට ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.


දෙවෙනි ඉනිමෙන් පස්සෙ ඔබට වෙන නිර්මාණ සඳහා ආරාධනා ලැබුණ ද?


ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ගේ ‘ඇතුල්වීම තහනම්’ ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. තව එකක වැඩ නිමා කරලා විකාශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. තවත් අලුත් නිර්මාණ දෙකක වැඩ කරගෙන යනවා. ඊට අමතරව ටීවී නාළිකාවක ප්‍රසන්ටර් කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. මේ දේවල් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ.


ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්මාණයකට දායක වුණු ඕනෑම කෙනෙක් කියන්නේ හරියට රංගන පාසලකට ගියා වගේ කියලා. ‘ඇතුල්වීම තහනම්‘ හරහා ඔබටත් ඒ අත්දැකීම ලැබුණ ද?


ඒක ඇත්තක්. සිවගුරුනාදන් සර් එක්ක වැඩ කරද්දි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. නවකයෙක් විදිහට මට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. මං හරිම කැමැත්තෙන්, ආසාවෙන් සහභාගී වුණු නිර්මාණයක්. ඒකෙ මං ගමක නර්තන ගුරුවරියක්. මමත් බදුල්ලෙ. අධ්‍යාපන කටයුතුයි, රංගන කටයුතුයි නිසා තමයි දැන් කොළඹ නතර වෙලා ඉන්නේ.


එතකොට ඔබ ක්ෂේත්‍රයට එන්නෙ?


හිරු නාළිකාවේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් පස් දෙනා අතරට එන්න ලැබුණා. මිනි ටයිට්ල් එකක් දිනුවා. ඒ 2019 දි. ඊට පස්සෙ තමයි මට දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒක මගේ කුලුඳුල් රංගන අත්දැකීම. ඒකෙ අපිත් එක්ක එකට හිටිය ඔක්කොම වගේ නවක අය. හරිම සහයෝගයෙන් විනෝදයෙන් තමයි ෂූටින්වලට සහභාගි වුණේ. මුලින්ම මං දෙව්මිගෙ යාළුව විදිහට ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ටික කාලයක් මං රංගනයෙන් ඈත්වෙලත් හිටියා. ඊට පස්සෙ ආයෙමත් ලිහිණිගෙ කැම්පස් එකේ යාළුවෙක් විදිහට එයාගෙ බෝඩිමට එනවා. අවුරුදු 3ක් විතර දිගටම දෙවෙනි ඉනිමට දායක වුණා.


ඒකෙන් පස්සෙ තව නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙන්නේ. ඊට අමතරව සිනමාපටයකට දායක වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකෙ වැඩකටයුතුත් මේ දිනවල සිද්ධ වෙනවා. වරින් වර නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වුණා. අදටත් ඉඳල හිටලා සම්බන්ධ වෙනවා. ඉදිරියෙදි නිරූපණය ගැන වැඩිදුර හැදෑරීමක් කරලා ඒ පැත්තෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.


පවනිගෙ විශේෂත්වය ඇස් දෙක කිවුවොත්. ඔය ඇස් දෙකට පෙම් බඳින අය ඕන තරම් ඇති නේද?


මගෙ ඇස් දෙකට ගොඩක් අය කැමැතියි කියනවා. ඒ වගේම හිනාවටත්. කොණ්ඩෙට කැමැති අයත් ඉන්නවා. ආදරණීය ආරාධනා නම් ඕන තරම් එනවා. ක්ෂේත්‍රයේ අයගෙනුත් යෝජනා එනවා. හැමෝම කියන්නෙ ඔයාගෙ ඇස් දෙක හරි ලස්සනයි කියලා. හිනාව ලස්සනයි කියන අයත් ඉන්නවා. දැන් මට ආදරවන්තයෙක් ඉන්නවා. එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඔහුගෙන් මට රංගනයට බාධාවක් නෑ.


ඔහු කැමැති වුණෙත් දිල්කිගෙ ඇස් දෙකට ද?


ඇස් දෙකට, හිනාවට වගේම මගේ කොණ්ඩෙටත් එයා ගොඩක් කැමැතියි.


නාමලී ගමගේ




Previous Post Next Post