කාංචි කවදාවත් එයාට මාව නැතිවෙයි කියලා රණ්ඩු කරලා -වරුණ මධුශංක




රියැලිටිකරණය ශ්‍රී ලංකාව තුළ ඇරඹි යුගයේ එහි මුල් පුරුකේ සාමාජිකයෙක් වීමට වාසනාව හිමි කර ගත් ඔහු වරුණ මධුශංක. තරුණියන් උන්මාදයෙන් මෙන් සිරස සුපර් ස්ටාර් තරුවලට ඇලුම් කරන කාලේ ඔහුටත් ඒ ආකර්ෂණයම හිමි වුණා. එලෙසින් ආදරය හිමි කර ගත් වරුණ දැන් දෙදරු පියෙක්. ආදරණීය පිය පදවිය එක්ක වගේම සංගීතයත් එක්කත් ගනු දෙනු කරන ඔහු ගැන විස්තර මේ විදිහට රසඳුන අතරට ගෙන එන්න හිතුවා.


අලුත් ගායකයෝ බිහිවෙද්දී රියැලිටිකරණයෙන් බිහි වෙලා ජනප්‍රිය වුණු වරුණ මොකද දැන් නිහඬ වෙලා..?


ඇත්තටම මම නිහඬ වෙලා නැහැ, මේ දවස්වල මම කාර්‍යබහුල වෙලා ලෙජන්ඩ්ස් මගේ සංගීත කණ්ඩායම එක්ක. ජොබ් එකත් කරන ගමන් වැඩි කාලයක් බෑන්ඩ් එකේ වැඩවලට යොදවමින් කාලය ගත කරනවා. විවාහ උත්සව හෝ වෙන ඉවෙන්ට්ස්වලට මගේ සංගිත කණ්ඩායමේ දායකත්වය ලබා ගන්න පුළුවන් කියලත් මම මතක් කරනවා.


අලුත් ගීත කරන්න අදහසක් නැත්තේ ඒවා එළිදක්වන්න හරි ප්ලැට්ෆෝම් එකක් නැති නිසා ද..?


ඔබයි මමයි කියන ඇල්බම් එකෙන් පස්සේ මගේ දෙවැනි ඇල්බම් එකේ වැඩ කරලා තියෙන්නේ. ගීත 30ක් නිර්මාණය කළා. ඒ ගීත ඇල්බම් එකක් විදිහට එළියට දැම්මේ නැහැ. ඒ නිසා ඉන් ගීත පහක් විතර වරුණ මධුශංක කියන මගේ යූටියුබ් චැනල් එකේ සහා මගේ ෆේක්බුක් පේජ් එකේ රිලීස් කරා. ඉස්සර වගේ ටීවි චැනල් හා එෆ් එම් පස්සේ දැන් දුවන්න ඕන නැහැ, අපි හැමෝටම ෆෑන් බේස් එකක් තියෙනවා. ඒ අය අපි මොන ප්ලැට්ෆෝම් එකක සිංදු රිලීස් කළත් රස විඳිනවා. ඒ වගේම තමයි ඉස්සර හරියට සිංදුවක් රිලීස් කරන්න ප්ලැට්ෆෝම් එකක් නොතිබ්බත් දැන් එහෙම තත්ත්වයක් නැහැ. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේම යූටියුබ් නාලිකාවකින් සිංදු රිලීස් කළත් ඒවා රසවිඳිනවා. මගේ සිංදුව කොලිටී නම් මොන ප්ලැට්ෆෝම් එකක වුණත් ඒවා දාන්න මම පසුබට වෙන්නේ නැහැ.


ගීත අඩුවෙන් එළිදක්වන්නේ ප්‍රතිලාභ නැති නිසා ද, එහෙමත් නැත්තම් විශාල මුදලක් වියදම් කරන්න වෙන නිසාද ..?


ඉස්සර ගීතයක් කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ‍ පොඩි මුදලකින් අපිට අවශ්‍ය ගීත නිර්මාණය කරන්න අවකාශය තියෙනවා. ඒත් දැන් එහෙම නැහැ ගීතයක් කරන්න ලක්ෂ 10ක් වත් ඕන. නමුත් මට ගීතයක් කරන්න ඕන නම් මම මුදල බලන්නේ නැහැ කරනවා. ඇත්තටම නිර්මාණ කරන්න ප්‍රමාද වෙන්න හේතුව ඒක නෙමෙයි. සිංදුවක් හරියට කරන්න නම් වචන, හොඳ මෙලඩි එකක්, කොලිටි රූප රචකයෙක් කරන්න ඕන. ඒකට ලොකු කාලයක් යනවා. මට තියෙන්නේ කාලයේ ප්‍රශ්නයක්, ඒ වගේම මගේ හිතට දැනෙන පද, තනුවක් තියෙන්න ඕන. එහෙම තිබුණොත් වියදම් කරලා ගීතයක් කළත් පාඩු නැහැ. ලාභය හොයන්න පුළුවන්. ඉදිරියේ දි බලනවා හොඳ වැඩක් කරන්න.


කොහොමද ප්‍රසංග වේදිකාවට ලැබෙන ඉඩ..?


ආරාධනා ලැබෙනවා. දැන් වැඩිපුර ආරාධනා ලැබෙන්නේ මගේ සංගීත කණ්ඩායම එක්ක එකතු වෙන්න. ඒ ගැන මට සතුටුයි. අපට පුළුවන් එතකොට රසිකයින්ට අවුට් පුට් එකක්


බොහෝ තරු රටේ ආර්ථික ප්‍රශ්න එක්ක කලාව කරන්න බැරි නිසා ව්‍යාපාර පැත්තට යොමු වෙනවා, වරුණත් එහෙම ද..?


මම මේ තීරණය ගන්නේ අවුරුදු 14කට කලින්. මම එහෙම තීරණයක් ගත්තේ අපි වයසට යනවා, කටහඬ වෙනස් වෙනවා ඒ වගේම අපට තියෙන ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ලංකාව වගේ රටක ගායකයෙක් විදිහට විතරක් හම්බ කරලා යැපෙන්න බැහැ. බොහෝ කලාකරුවෝ ගත්තම එක එක්කෙනාට එක එක බලාපොරොත්තු ඉලක්ක තියෙන්නේ, මම නිතරම නිර්මාණ කරමින් මෙය රැකියාව කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. නිතරම මම හිතන්නේ මගේ ආත්ම තෘප්තිය කොහොමද මම සංසිඳුවා ගන්නේ කියලා. නිර්මාණ කරන්නෙත් ආත්ම තෘප්තිය උදෙසා. මට සංගීතයෙන් තොර ජීවිතයක් නැහැ කියලා නැහැ, නමුත් මම සංගීතය ට ආදරෙයි. ජීවිතේ එක කොටසක් තමයි සංගීතය කියන්නේ. ඉතිං මම මගේ රැකියාව කරන ගමන් සංගීතයට මුල් තැනක් දෙනවා. ආර්ථිකයත් එතකොට ශක්තිමත්. කලාව විතරක් රස්සාව කර ගත් බොහෝ දෙනෙකුට කොරෝනා වගේ කාලය අපහසුතාවට මුහුණ දෙන්න සිදු වුණේ ඒකයි. ඒ කාලේ මම සතුටු වුණා මම මුලින්ම ගත් තීරණවලට. ව්‍යාපාර කටයුතුත් කරගෙන ජීවිතේ විඳිනවා.


දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්, වගකීම් වැඩිපුර දැනෙනවා ඇති..?


මගේ ලොකු දුව නතාරා. එයාගේ වයස අවුරුදු නවයක්. මගේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඇය අයත්‍රා. දෙන්නම දුවලා නිසා ලොකු වගකීමක් තියෙනවා. මේ වගකීම්වලින් නිදහස් වෙන්න බැහැ. කොහොම නමුත් එයාලටත් දෙමාපියන් විදිහට සැපවත් ජීවිතයක් ලබා දෙමින් බිරිඳ එක්ක සතුටින් ජීවත් වෙනවා.


පවුලක හයිය රැ‍ෙඳන්න බිරිඳ ගේ උදව් අවශ්‍යයි, කොහොමද ඔබේ බිරිඳගෙන් ඔබට ලැබෙන සහය..?


එයා තමයි පවුලේ සියලු වැඩකටයුතු ගැන හොයලා බලන්නේ. මම මගේ සංගීත කණ්ඩායම එක්ක නිතරම උත්සව අවස්ථා සඳහා සම්බන්ධ වෙනවා. එතකොට එයා තමයි දරුවෝ ගැන ගෙදර වැඩ ගැන බලන්නේ. මගේ බිරිඳ කාංචනා. එයා ලෝයර් කෙනෙක්. එයා රැකියාවත් කරගෙන ජීවිතේ ගෙනියන්න මට හයියක් වෙලා ඉන්නවා.


සිරස සුපර් ස්ටාර් තරගය නියෝජනය කරන කාලේ නෙමෙයි ඔබට ඇයව මුණගැහෙන්නේ, ඉන් වසර කිහිපයකට පසුව?


මම සිරස සුපර් ස්ටාර් තරගයට සම්බන්ධ වෙද්දී මගේ වයස 21යි. එයාව මුණ ගැහෙන්නේ මට අවුරුදු 28දී. අවුරුදු හතකට පස්සේ. අපි දෙන්නගෙත් අවුරුදු අටක ගැප් එකක් තියෙනවා. මට කාංචිව මුණගැහෙන්නේ පාටි එකකදි. එහෙම දැකලා මම එයත් එක්ක කතාබහ කරලා ඇති වුණු හිතවත්කමත් එක්ක තමයි අපි එකිනෙකාට ආදරේ කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ විවාහ වුණා. ජීවිතේ ගෙනියන්න පුළුවන් කෙනෙක් කියලා දැණුන නිසා ඇය ජීවන සහකාරිය කර ගත්තා.


ඇය ඔබේ ප්‍රසිද්ධියට ළං වුණා කියලා හිතෙන්නේ නැද්ද ..?


එයා සුපර් ස්ටාර් නරඹපු කෙනෙක්. නමුත් ඒ කාලේ එයා හරි පුංචි ළමයෙක්. ඇය මගේ රසිකාවියක් නෙමෙයි, නමුත් මම ගායකයෙක් වුණේ කොහොමද කියලා දන්නවා. ඒ කාලේ මට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි මගේ ප්‍රසිද්ධ ජීවිතේට ඇලුම් කරන කෙනෙක් ලැබුණොත් මට ආදරේ කරන කෙනෙක් නොවි ඒක මගේ ජීවිතේ ට බලපායි කියලා, ඒ කාලේ අපි පීක් එකේ හිටපු කාලයක්. නමුත් ඇයව ඊට අවුරුදු අටකට පස්සේ මුනගැහෙන්නේ. එයා මගේ සාමාන්‍ය ජීවිතේට ආදරේ කරපු කෙනෙක්, ඒකයි මම එයාව විවාහ ජීවිතේට තෝරා ගත්තේ.


ඒ කාලේ තරුණියන්ගෙන් ලැබුණු ආකර්ෂණයට ඇය ඔබත් එක්ක රණ්ඩු කරලත් ඇති..?


කොහෙත්ම නැහැ. මගේ පීක්ම කාලේ නෙමෙයි අපි මුණගැහෙන්නේ, ඒ නිසා නිදහසේ ජීවත් වුණා. ඒ කාලේ රණ්ඩු කරන්න කවුරුත් හිටියේ නැහැ. කාංචි කවදාවත් රසික ප්‍රතිචාර එක්ක එයාට මාව නැති වෙයි කියලා රණ්ඩු කරලා නැහැ. ඒකට හෙතුව එයා සැබෑ ජීවිතයේ වරුණට ආදරේ කිරීම වෙන්න ඇති. අනිත් හේතුව අදටත් මට කතා කරන රසිකයින් ඉන්නවා. ඔවුන් මට විතරක් නෙමෙයි කතා කරන්නේ මගේ බිරියටත්. ඒ වගේම හොඳ තෙරුම් ගැනීමක් තියෙනවා මගේ කලා ජීවිතේ ගැන.


ඔබව අවිශ්වාස කරපු තැන් තිබ්බද..?


කවදාවත් මම එයාගේ ෆෝන් එකවත් එයා මගේ ෆෝන් එකවත් බල බලා රහස් හොයලා නැහැ, විශ්වාසය තියෙන්නේ රැදෙන්නේ එතැන කියලයි මම හිතන්නේ. පවුලක් හැටියට ප්‍රශ්න නැති පවුල් නැහැ. අපි අතරත් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඒවා කතාබහ කරලා විසඳ ගන්නවා. කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ, නොගැළපෙන දේ ගළපගෙන අපි දෙන්නා මේ ජීවිතේ ඉදිරියට අරගෙන යනවා. එකට ජීවත් වෙන්න විශ්වාසය ඕන. ඒක අපි අතර තියෙනවා. ඒක හිතට ලොකු සහනයක්.


බොහෝ ජනප්‍රිය තරු සේම ජනප්‍රියත්වය එක සේ රඳවාගෙන යන්න සමාජ මාධ්‍ය තුරුම්පුවක් කරගත් කෙනෙක් නේද ඔබත් කියලම මේ කතාබහට සමු දෙමු..?


නැහැ, මම මගේ නිර්මාණ අප්ඩේට් කරන්න, මගේ රසිකයින්ට ඒ පණිවිඩ දෙන්න තමයි සමාජ මාධ්‍ය භාවිත කරන්නේ, මට ජනප්‍රියත්වය රඳවාගෙන යන්න ඒවා පාවිච්චි කරන්නෙ නැහැ. මම රූපවාහිනී වැඩසටහන්වල නැති තරම්. අඩු තරමින් මම ප්‍රෝගෑම් එකක් ඉල්ලගෙන යන්නෙ නැහැ. කලාකරුවන්ට වටිනාකමක් තියෙන්න ඕන. ලංකාවේ ඒවගේ තත්ත්වයක් නැහැ. නමුත් මට ආදරේ කරන රසිකයින් එක්ක ගනුදෙනු කරන්න සමාජ මාධ්‍ය භාවිත කරනවා. අපි සුපර් ස්ටාර් ගිය කාලේ මේ වගේ සමාජ මාධ්‍ය තිබුණේ නැහැ, එහෙම තිබුණා නම් ඒ කාලේ ඊට වඩා දෙයක් කරන්න තිබ්බා. අපිව දැක්කේ ටීවී එකෙන් විතරයි. එහෙම දැකලා ආදරේ කරපු හා ආදරේ කරන පිරිසක් ඉන්න එකත් වටිනවා. ඉතිං මම හිතනවා මට විතරක් නෙමෙයි ඕනෑම කලාකරුවෙකුට ජනප්‍රියත්වය මේන්ටේන් කරන්න සෝෂල් මීඩියා කියන්නේ හොඳ තුරුම්පුවක් තමයි.


හර්ෂණී වීරරත්න





Previous Post Next Post