ලැබුණු හැම චරිතෙම ගැළපුණු නිසා තෝර තෝර හිටියෙ නෑ-කැළුම් ශ්‍රී

 


තරුණ පරම්පරාවේ රසික රසිකාවියන් පමණක් නොව වැඩිහිටි පරපුරේ රසික රසිකාවියන්ගේ ආදරයද නොමඳව හිමිවන ඔහු නමින් කැළුම් ශ්‍රී. කලා කෞශල්‍යයෙන් හෙබි කඩවසම් තරුණයකු වන මොහු නිහතමානී තරුණ රංගන ශිල්පියෙකි. මේ දිනවල විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යය තුළින් ‘විශාල්’ ලෙසත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සික්ස්පැක් ටෙලි නාට්‍යය තුළිනුත් ඔබ හමුවට එන ඔහු රංගනයට දක්ෂයෙකි. 


කොහොමද ඉතින් ජීවිතේ?


මේ දවස්වල සතුටින්, හොඳින් ඉන්නවා. නමුත් දාගෙන තිබෙන වැඩත් එක්ක ටිකක් කාර්යබහුලයි.


මේ දිනවල නිරත වන කලා කටයුතු ගැන කතා කළොත්?


මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් සිදුවෙනවා. එකක් හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍ය. අනෙක් එක ස්වාධීන රූපවාහිනියේ මෑතකදී විකාශය වීමට පටන් ගත් සික්ස්පැක් ටෙලි නාට්‍ය. තවත් අලුත් ටෙලි නාට්‍ය දෙකකටම ආරාධනා ලැබිලා තිබෙනවා. මම දැනට ඒවායේ ස්ක්‍රිප්ට් කියවමිනුයි ඉන්නේ. නමුත් එකපාර භාරගෙන කරන්න වෙන්නේ වැඩ තුනක් වගේ තමයි. මොකද දින ලබාදෙන එකේ ගැටලුවක් ඇති වෙනවා.


ඔබ අලුතින් භාරගන්න චරිත මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස්ද?


වෙනස් චරිතත් තිබෙනවා. නමුත් මෙතෙක් කළ අහිංසක චරිතත් මට ආයෙම කරන්න ලැබුණා. ලැබෙන චරිත ඒ රාමුවෙන් වෙනස් කරගන්න එක මගේ වගකීමක්.


ඔබව බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක් වූයේ දිවිතුරා ටෙලි නාට්‍යයේ විශාල්ගේ චරිතයෙන් නේද?


මම ෆීල්ඩ් එකේ කලින් වැඩ කරලා තිබෙනවා. නමුත් මම ප්‍රධාන චරිතයක් ලෙස රංගනයට එන්නේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයෙන්. ඒ චරිතයත් එක්ක මම ප්‍රේක්ෂකයන් අතරට යනවා. නමුත් මාව බොහෝ දෙනෙක් දන්න හ¾දුනන ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වන්නේ දිවිතුරා ටෙලි නාට්‍යයේ විශාල්්ගේ චරිතයට පණපෙවීමත් සමඟයි.


දිවිතුරා ටෙලි නාට්‍යයේ විශාල් කියන චරිතය ඔබට ඒ තරම්ම සමීපද?


ඇත්තටම ඔව්. ස්ක්‍රිප්ට් එක කියවද්දී ඇතැම් තැන්වල මේ විශාල් කියන චරිතය මගේ ජීවිතයට බොහොම සමීපයි කියා දැනුණා. නමුත් චරිතයට බැහැලා ඒ චරිතය කරගෙන යද්දී මට දැන් හිතෙනවා මගෙන් ඒ චරිතය බොහොම වෙනස් කියලා. කොහොම වුණත් මට හිතෙනවා චරිතයක් තමන්ගේ වගේ දැනෙන එක සාර්ථක රංගනයකට අපහසු දෙයක් කියලා.


රිදී තිරයට යොමු වීමට බලාපොරොත්තුවක් නැද්ද?


ඇත්තටම බලාපොරොත්තුවක් තිබෙනවා. දැනටමත් ආරාධනයක් ලැබිලා තිබෙනවා ආකාශ් නම් අධ්‍යක්ෂවරයකුගෙන්. ඇත්තටම තිර පිටපත ගොඩාක් හොඳයි. අලුත් කතා මාලාවක්. හොඳ නිර්මාණයක් කියලා මම හිතනවා.


ඔබ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?


පාසල් කාලයේ ඉඳලම ජනප්‍රිය වෙන්න වුවමනාවක් තිබුණත් නළුවෙක් වෙන්න හිතලා තිබුණේ නැහැ. මගේ පෙනුම සහ නර්තන හැකියාව නිසා මගේ පවුලේ අය මාව එක්තරා රියැලිටි ෂෝ එකකට යොමු කරනවා. තරගයේ ඉදිරියට යනවිට විනිශ්චය මණ්ඩලයේ සිටි චන්දන වික්‍රමසිංහ සර් එක් අවස්ථාවක මට කියනවා නළුවෙක් වගේ පෙනුමක් තියෙනවා කියලා. ඒත් එක්ක මම නළුවෙක් වෙන්න හිතුවා.


මම මුලින්ම රංගනයට එන්නේ වෙළෙඳ දැන්වීම්වලින්. පස්සේ මම මියුසික් වීඩියෝ කළා. මිහිඳු ආරියරත්නගේ චකිතය කියන මියුසික් වීඩියෝ එක තමයි මගේ මුල්ම මියුසික් වීඩියෝ එක. ගොඩක් කල් මම ෆීල්ඩ් එකට ඇවිත්. නමුත් රංගනයට ඇවිත් අවුරුදු අටකින් වගේ තමයි මට ප්‍රධාන චරිතයකට පණපොවන්නට ලැබෙන්නේ.


නවක කලාකරුවකු ලෙස ඔබ මෙතෙක් පැමිණි ගමන්මඟේදී ඔබ මුහුණදුන් අභියෝග මොනවාද?


මම අභියෝග කියලා දකින්නේ මටම තිබෙන අභියෝග. අභියෝග ඉතින් තවමත් තිබෙනවා. මගේ ගම නුවර. නුවර ඉඳන් ෂූටින්වලට කොළඹ එන තැන ඉඳලම තියෙන්නෙ අභියෝග. රංගනය නිසා ජීවිතය මඟහැරෙයිද? වෙන රැකියාවකට යොමුවන්නටත් නොහැකිවෙයිද? වගේ ගැටලු, අභියෝග මගේ ජීවිතයට ආවා. මම සාර්ථක නළුවෙක් වෙනවා කියන ටාගට් එකට වැඩ කරන නිසා බොහෝ අභියෝග මඟහැරුණා. බොහෝදුරට මම මාවම අභියෝගයට ගන්නවා.


රංගන ජීවිතය තුළ ඔබට අමතක නොවන සිදුවීමක් ගැන කතා කළොත්?


එහෙම සිදුවීමක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේදී වුණා. මේ ටෙලි නාට්‍යයේ කන්ථක අශ්වයාට සුදු අශ්වයෙක් ගත්තා. මේ ශොට් එකේ තිබ්බේ වෙල මැද්දේ ඇති පාරකින් කන්ථක අශ්වයා පිටේ එන්න. නමුත් හදිසියේම මේ ශොට් එක ගද්දී සුදු වසු පැටියෙක් අපි එන ගමන්මඟට පැන්නා. මේ නිසා අශ්වයා බය වුණා. අශ්වයා අනෙක් පැත්ත හැරිලා පුදුම වේගයෙන් දුවන්න පටන් ගත්තා. මම කිසිම දවසක ඒ තරම් වේගයෙන් අශ්වයෝ පැදලා නැහැ. අශ්වයා කුලප්පු වෙලා එකපාරටම නතර කළොත් මාව උඩින් විසිකරන බව මං දැන්ගෙන හිටියා. ඒ නිසා මං උෟව නවත්තන්න උත්සාහ කළේ නෑ.


අශ්වයා වෙල  පහුකරගෙන ගම මැදින් දුවන්න පටන් ගත්තා. මම රජ ඇ¾දුම් ඇඳගෙන උගේ පිටේ ගම මැදින් යනවා. අශ්වයා මහ හයියෙන් දුවනවා. ගමේ මිනිස්සු පාර දෙපැත්තට වෙලා බලාගෙන ඉන්නවා. බල්ලොත් බුරමින් අශ්වයා පස්සෙන් එන්න ගත්තා. උෟ තවත් බය වෙලා තවත් වේගයෙන් දුවන්න පටන් ගත්තා. පස්සේ හිස් භූමියක අශ්වයාට කතා කරලා, කතා කරලා නවත්ත ගත්තා. පාරේ යන මනුස්සයකුට කතා කරලා ෂූටින්  එක තියෙන තැන කියලා මේ අශ්වයාගේ අයිතිකාරයට එන්න කියලා පණිවුඩයක් යවලා තමයි අශ්වයාව භාරදුන්නේ. ඒ සිදුවීම නම් මට කිසිම දවසක අමතක වෙන එකක් නැහැ.


ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණු විට ඔබ චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?


මට ලැබෙන චරිත එකක්වත් මම තෝරා ගත්තේ නැහැ. ඒ චරිත මට ගැළපෙන විධියටම ලැබුණා. ඇත්තටම මට ප්‍රතික්ෂේප කරන්න තරම් චරිත  ලැබිලා නැහැ. මම එහෙම චරිත ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.


තරුණයෙක් ලෙස කලාකරුවන්ට සුදුසු පරිසරයක් නොමැති වීම ගැන ඔබ මොකද හිතන්නේ?


ඇත්තටම අපේ නිර්මාණ ඉදිරියට එන්නේ නැත්තේ අපේම වැරදි නිසා. හොඳ නිෂ්පාදකයෙක් නිර්මාණයකට මුදල් යොදවනවා නම් එතැන ඉන්න අතරමැදියෝ හිතන්නේ ඒ සල්ලි සාක්කුවට දාගන්න විධියක් ගැන. කෑම එකෙන් හෝ වුවත් රුපියල් විස්සක් හරි සාක්කුවට දාගන්නයි ඔවුන් හිතන්නේ. ඉතින් නිර්මාණයක හරි කොලිටි එක එන්නේ නැහැ. වෙනත් රටවල නිර්මාණය පස්සෙයි  මුදල් යන්නේ. නමුත් ලංකාවේ මුදල් පස්සෙයි නිර්මාණ යන්නේ. ඒ නිසා කලාකරුවකුට ඇත්තෙන්ම වෙනත් ව්‍යාපාරයක් අවශ්‍යයි.


ඔබ දැන් වෙළෙඳ දැන්වීම්වල රඟපාන්නේ නැද්ද?


කරනවා. නමුත් ගොඩක් කෙරෙනවා අඩුයි. ඉස්සර අවුරුද්දටම දහයක් වගේ කළත් දැන්නම් දෙකක් වගේ තමයි වෙළෙඳ දැන්වීම්වල රඟපාන්නේ.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


කලා ක්ෂේත්‍රයට හොඳ වැඩක් කරන්නත්, මිනිසුන් අතර හැමදාම ඉන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ෆැමිලි ලයිෆ් එක හොඳින් පවත්වා ගන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ





Previous Post Next Post