කාමදේවගේ චරිතයට මාවම තෝර ගත්ත එක ගැන මට හිනා යනවා-ධනංජය සිරිවර්ධන



ප්‍රේක්ෂක ආදරයට මල් හීසර විදිමින් නිරතුරු ව එකී ආදරය වෙනතකට යා නොදී රැක ගන්නට ධනංජය සිරිවර්ධනගේ රංග ප්‍රතිභාව සේ ම ඔහුගේ රූප ශෝභාවද හේතු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු රඟන සෑම චරිතයක් ම කතාබහට ලක් වන ආකර්ෂණීය චරිත නිරූපණයන් බවට පත් ව ඇත්තේ තමා වෙත ලැබෙන සෑම චරිතයකට ම කිඳා බසිමින් එයට ඔහු විසින් ඉටු කරනු ලබන සාධාරණය නිසා ම ය. මේ දිනවල ඔහු අමුතු චරිතයකට පණ පොවන්නේ සම්මානනි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “කදිර දිව්‍යරාජ” චිත්‍රපටයේ ය. ඒ ඔබ අප දන්නා කාලයේ පටන් හොඳින් අසා පුරුදු මල් සරා එහෙමත් නැත්නම් අනංගයා සුනිල් ආරියරත්නයන්ගේ දෘෂ්ටියෙනි.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අනංගයා එහෙම නැත්නම් කාම දේවගේ චරිතයට ඔබව ම තෝරා ගන්නට ඇත්තේ ඇයි........?


“කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ අනංගයා එහෙමත් නැත්නම් කාම දේවගේ චරිතයට මාවම තෝර ගත්ත එක ගැන මට හිනා යනවා. සුනිල් සර්ටත් ඒ ගැන හිනා යනවා. සුනිල් සර් එක්ක කලින් වැඩ කරලා තියෙන නිසා මං ගැන විශ්වාසයෙන් මේ චරිතයේදී සර්ට මාව මතක් වෙන්න ඇති.”


ඔබ අසා හුරු පුරුදු අනංගයාත්, සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණයේ කාමදේවත් ඔබට දැනුණේ කෙසේ ද...?


“අපි අහලා තියෙන විදිහට අනංගයා කියන්නේ හරි ම ආදරණීය චරිතයක් වගේම අන් අයටත් ආදරය බෙදා දෙන චරිතයක්. නමුත් අනංගයා, මල්සරා, කාමදේව


කියන මේ නම්වලින් හඳුන්වන චරිතය හා බැඳුණු පුරාවෘත්තය දැන ගත්තේ මේ චිත්‍රපටය හරහා යි. ලෝකය පවතින්නේ ප්‍රේමය මත නම් ප්‍රේමය ලොව පුරා පතුරවන්න මල් සරාගෙන් ඉටු වන්නේ මොනවගේ සුවිශේෂ කාර්යභාරයක් ද කියන දේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ කාම දේවගේ චරිතයෙන් හරි ම ලස්සනට සුනිල් සර් ඉස්මතු කර පෙන්වනවා.”


 ශිව පාර්වතී දෙදෙනාගේ දැහැන් බිඳ ඔවුනොවුන් ප්‍රේමයෙන් මුසපත් කර ස්කන්ධ දිව්‍ය රාජයාත්, ගනේෂ් දිව්‍ය රාජයාත් දෙව් ලොව බිහි කරවන්නට කාම දේවයන් මොනවගේ වටිනා කාර්යයක් ඉටු කළේ ද යන කතා පුවත ඔබ මුල් වරට දැන ගත්තේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයෙන් ද..?


“ඔව්. විවිධ කතා වෘත්තාන්ත අසා තිබුණත් ශිව පාර්වතී දෙදෙනාගේ ප්‍රේමයට කාමදේව මැදිහත් වූ පුරාවෘත්තය දැන ගත්තේ සුනිල් සර්ගෙනුයි. ඒ සම්බන්ධය ඇති නොවන්නට ස්කන්ධ දිව්‍ය රාජවත්, ගනේෂ් දිව්‍යරාජවත් බිහි වෙන්නේ නැහැ.”


 

කාමදේව නම් චරිතයට ඔබ සාධාරණය ඉටු කළා කියා සිතනවා ද....?‍


“පුරාවෘත්තවල මිනිස්සුන්ගේ මනසේ ජීවත් වුණු චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ලැබුණාම එය නිරූපණය කිරීම හරිම භයානක අවස්ථාවක්. මිනිස්සුන්ගේ හිත්වල ඉන්න චරිතයක් ජීවමාන කරද්දි මිනිස්සුන්ගේ සිතුවිලිවල මට්ටමට ම ඒ චරිතය ගේන්න ඕනේ. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න පටන් අරන් තවම ටික දවසයි. නමුත් බොහෝ පිරිසක් දැනටමත් මේ චිත්‍රපටය නරඹා තිබෙනවා. පවුලේ


චිත්‍රපටයක් නිසා සති අන්තයේ වැඩි දෙනෙක් නරඹනවා. තැන් තැන්වල එකතු වෙලා, මිශ්‍ර වෙලා, පැටලිලා තිබුණු කතා සමූහයක් අධ්‍යක්ෂවරයා හරි ලස්සනට එක තැනකට අරගෙන අපූරු නිර්මාණයක් කර තිබෙනවා. මේ ටික දවසට ලැබෙන ප්‍රතිචාරවලින් නම් පේන්නේ කාමදේව චරිතයට මම සාධාරණය ඉටු කර ඇති බව යි.”


 ඔබ පෞද්ගලික ව කතරගම දෙවියන් වැඳ පුදා ගන්න යන කෙනෙක් ද..?


“මම මගේ යාළුවෝ එක්ක කතරගම දේවාලයට ගිහින් තිබෙනවා. පෞද්ගලික ව මම මහා දේව භක්තිකයෙක් නෙවෙයි. මම ආධ්‍යාත්මික පැත්තක් ගැන හිතන කෙනෙක්. බෞද්ධ දර්ශනය හිස් මුඳුනින් තර්කාන්විත ව විශ්වාස කරන කෙනෙක්. දෙවියන් කෙරෙහි මගේ හිතේ තිබෙන්නේ ලොකු ගෞරවයක්.”


 

ඔබගේ සැබෑ ජීවිතයේදී ඔබ මල් සරා දැක තිබෙනවා ද...?


“මගේ ජීවිතයේ මම දැකපු මල්සරා තමයි සුනිල් ආරියරත්නයන්. මම එහෙම යන්නේ එතුමාගේ ප්‍රේමණීය ගීත අහලා කී දෙනෙක් නම් ප්‍රේමයෙන් වෙළෙන්න ඇත් ද, වෙන්වෙලා ගිය දෙන්නෙකුට වුණත් එතුමාගේ රුවල් ඉරී ගිය නෞකාවේ ගීතය අහලා නැවත එකතු වෙන්න හිතුණු අවස්ථා ඕනෑතරම් ඇති. දෙදෙනෙකු අතර ප්‍රේමයක් හට ගන්නට යම්කිසි සාහිත්‍යයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළා නම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමයි අපේ කාලේ මම දැකපු මල්සරා.”


 

ඔබ සැබෑ මල්සරා වී මල් දුනු හී ලැබුණේ නම් ඔබ කුමක් කරයි ද...?


“මම ඒ හීය විදින්න තෝරා ගන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ව යි.‍ මොකද එතුමාගේ නිර්මාණ සාහිත්‍ය මොනතරම් අයගේ හදවත් එකතු කළත් එතුමා තවමත් තනිකඩයි.”


 


මේ දිනවල රූගත කිරීම් නිසා යළිත් ඔබ තරමක් අවිවේකී වී සිටිනවා ද....?


“ටිකක් විතර අවිවේකීයි. චරිත් අබේසිංහගේ ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලි නිර්මාණයේ රූගත කිරීම් වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කෙරෙනවා. අනුරාධපුරය, රන්මිණිතැන්න, මිහින්තලය යන ප්‍රදේශවලත් එහි රූගත කිරීම කළා. ඒක අවුරුදු දෙසීයක විතර පැරණි කතාවක පොතක් ඇතුළේ හමුවන ‘උඩියන්කුලම’ කියන නිලමේගේ චරිතය මම රඟපානවා. ඊට අමතර ව තවත් නිර්මාණ කිහිපයකට ම මම මේ දවස්වල රංගනයෙන් දායක වී සිටිනවා. ඉදිරියේදී මගේ ම නිර්මාණයක් එළි දක්වන්නත් සූදානමක් තියෙනවා.”





Previous Post Next Post