රස්තියාදුව තමයි මාව නළුවෙක් කළේ - චතුර එරංග රාජපක්ෂ



චතුර එරංග රාජපක්ෂ කියන නමට වඩා කොඩි ගහ යට නාට්‍යයේ ශානිගේ පස්සෙන් යන රොෂාන්ව බොහෝ දෙනෙක් දන්නවා. නිර්මාණ කිහිපයකින් දකින්න ලැබුණු චතුර ගැයි මේ තොරතුරු


රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයට ජූඩ් වුණු චතුර කොඩි ගහ යට නාට්‍යයට රොෂාන් වුණා මේ දවස්වල හොද ප්‍රතිචාර ඇති..?


හොඳ ප්‍රතිචාර නාට්‍ය දෙකටම ලැබෙනවා. කොඩි ගහ යට කියන්නේ මම ආසම නාට්‍යයක්. මේ නාට්‍යයට ජගා අයියා මට කතා කරා වරෙන් මල්ලී අපි වැඩ කරමු කියලා , ඉතිං හරිම ආසාවෙන් මම ඒකට සම්බන්ධ වුණේ. ගොඩක් අය අහනවා ඔයත් කොඩි ගහයට ඉන්නවා නේද කියලා. ඉස්සරහට මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. ඒ තරම් ඒ නාට්‍යයට ඇබ්බැහි වුණු පිරිසක් ඉන්නවා. පුද්ගලිකව මට ප්‍රතිචාර ලැබුණත් නැතත් මට ඒ නාට්‍යයයේ රඟපාන්න ලැබීමම සතුටක් කියලයි හිතන්නේ


හිතෙන්නේ නැද්ද ඒකාකාරි චරිත රාමුවකට චතුර කොටු වෙලා කියලා ..?


මම නාට්‍ය දෙකක වෙනස් චරිත කරා ප්‍රේම චරිත. ඒවා විකාශය වුණේ නැහැ තවම. ඉදිරියේ දි ආරාධනා ලැබිලා තියෙනවා වෙනස් චරිත කිහිපයක් කරන්න. නමුත් මේ දවස්වල දකින්නේ චණ්ඩි චරිත වලින් තමයි. මම ආසයි පොඩි චරිතයක් හරි වෙනස් විදිහට කරන්න. විශේෂයෙන්ම චරිතාංග නළුවෙක් වෙන්න ආසයි. ඉදිරියේ දි වෙනසක් වෙයි කියලා හිතනවා.


ඔබට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ තරුණියන්ගෙන් ද? ඒ අතරේ ආදරයට ඇරියුම් ලැබිලා නැද්ද ..?


තරුණියන්ම කියලා නැහැ. තරුණියන් වගේම වයස් භේදයකින් තොරව මට ප්‍රතිචාර ලැබෙනවා. මම දැකලා කතාබහ කරන අඳුර ගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේ ප්‍රතිචාර ලැබෙන කොට සතුටක් දැනෙනවා. ඔය අතරේ තරුණියන් මට ආදරේට යෝජනා කරපු අවස්ථාත් නැතුවම නෙවෙයි. එහෙම ආදරේ කරන්නේ අපි කරන චරිත හෝ අපි නළුවෝ කියලා හිතලනේ. ඒක අවංක ආදරයක් වෙන්නේ නැහැ


අලුතෙන් බිහිවෙන ජනප්‍රිය තරු ජනප්‍රියත්වය මිස්‍ යූස් කරලා තරුණියන්ට අනවශ්‍ය යෝජනා කරනවා කියනවා. එහෙම චෝදනා චතුරට නැද්ද ..?


මට එහෙම චෝදනාවක් ඇවිත් නැහැ. චෝදනා එන විදිහට මම වැඩ කරන්නෙත් නැහැ. මම නළුවෙක් වෙන්න ගොඩක් ආසා කරපු කෙනෙක්. අමාරුවෙන් ආපු ගමන අනවශ්‍ය දේවල් නිසා නැති කරගන්න මම කැමති නැහැ. මම නළුවෙක් කියලා නළුකම පාවිච්චි කරලා තරුණියන්ව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ .


රංගනයට ඔබ එන්නේ 2015 දි ෆෙල්ෆී නාට්‍යයෙන්, නමුත් ඔබ නළුවෙක් හැටියට ජනප්‍රිය වෙන්නේ රාවණා හි දූමරක්ක නිසා, දැන් මොකද හිතන්නේ ආ ගමන ගැන..?


පුංචි කාලේ ඉඳලම මට ඕන වුණේ නළුවෙක් වෙන්න. මගේ හිතේ තිබ්බ එකම හීනය ඒක. නළුකම නිසා මට ජීවිතේ ලොකු කැපකිරීමක් කරන්න වුණා. ඒ නිසා නැති කරගත්ත දේ බොහෝයි. කාපු කට්ට දන්නේ මම විතරයි. ඒ කාපු කට්ට නිසාම වෙන්න ඇති මට ඒ බලාපොරොත්තුවට යන්න පුළුවන් වුණේ. දරා ගන්න බැරි කට්ටක් කාලා හදා ගත්ත ජීවිතේ ගැන ලොකු සතුටක් දැනෙනවා. සෑහෙන කාලයක් රඟපෑවට පත්තු වුණේ දෙරණ ටිවි විකාශය වූ රාවණා නාට්‍යයේ මම රඟ පෑ දූමරක්ක චරිතය තමයි.


රඟපෑමට පෝෂණ ලැබෙන්නේ වේදිකා නාට්‍ය ඔස්සේ. දැන් පරම්පරාව මොනා හරි දෙයක් කරලා ජනප්‍රිය වෙන්න විතරයි හිතන්නේ. චතුරත් මොනා හරි දෙයක් කරලා ජනප්‍රිය වෙන්න දඟලන කෙනෙක් ද..?


ටෙලි නාට්‍ය හා වේදිකාව කියන්නේ මාධ්‍ය දෙකක්. වේදිකාව කියන්නේ නළුවෙකුට චරිත හදාගන්න හොඳ තැනක්. රිහසල්වලින් චරිත හැදෙනවා. නමුත් ටෙලි නාට්‍ය කියන්නේ තව පැත්තක්. මම ජනප්‍රිය වෙන්න මොනවා හරි කරන්න උත්සාහ කරන්නේ නැහැ , නමුත් මට ලැබුණු මේ අවස්ථාව මේන්ටේන් කරන්න උත්සාහ කරනවා. පවත්වාගෙන යන්න ඕන ලබෙන අවස්ථා නැති කරගන්නේ නැතුව.


රඟපෑමෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන් ද ..?


කාලා බීලා ඉන්න පුළුවන්. ඒත් ජීවිතේ ඉදිරියට යන්න රඟපෑමෙන් ලැබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. ආර්ථිකය දැනෙනවා. මේ ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ තමයි


චරිතවලට පේන රස්තියාදුකාර ජීවිතේ ඔබ සැබෑවට අත්විඳලා තියෙනවා ද ..?


ඔව්. මම රස්තියාදුකාර ජීවිතේ වඳලා තියෙනවා. මම ඉපදෙන්නේ හැඳි වැඩෙන්නේ මරදාන මාළිගාවත්තේ. ඊට පස්සේ මම බණ්ඩාරවෙල යනවා. මගේ තාත්තා වැඩ කරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. තාත්තා ස්ථාන මාරුවීම් අරන් යද්දී මටත් යන්න වුණා. ඊට පස්සේ ආයෙත් උසස් පෙළ කරන්න කොළඹ එනවා. මේ හැම තැනකම මම රස්තියාදු ජීවිතයක් ගත කරා. නැහැ කියන්නේ නැහැ. මම හිතන්නේ ඒ රස්තියාදු ජීවිතේ තමයි මාව නළුවෙක් කරේ.


නළුවෙක් වුණා වගේ නෙමෙයි ජීවිතේ මේන්ටේන් කරන්න අපහසුයි කියලා හිතිලා නැද්ද?


මම කාලා බීලා සතුටින් ජීවත් වෙන කෙනෙක්. අමුතුවෙන් මාව මේන්ටේන් කරන්න ඕන මම නළුවෙක් කියලා හිතන්නේ නැහැ. රටේ ප්‍රශ්න එක්ක ඇති වෙන ප්‍රශ්න තමයි දැනෙනවා නම් දැනෙන්නෙ. එතනින් එහාට හිතන්නේ නැහැ.





Previous Post Next Post