මට දැන් නිවේදන කලාවටත් ආරාධනා ලැබෙනවා - මිෂෙල් දිල්හාරා




ඇය අපට පසුගිය කාලයේ දකින්න ලැබුණේ වෙනස්ම නිර්මාණ තුළින්. සල්සපුනා” සුදු ඇඳගෙන කළු ඇවිදින්” කැන්යූ හියර් මී” ලෝකා” පොදූ සීසන් 2” පෝක් වීදිය” කාසි වැනි නිර්මාණවල එකිනෙකට වෙනස් චරිතය තුළින් තම රංගන ප්‍රතිභාව මනාවට පිළිබිඹු කළාය. ඒ නිසාම ඇයට මෙරට පැවැති සම්මාන උළෙලවලදී නිර්දේශිත නාම ගොන්නට වගේම සම්මානයන්වලට හිමිකම් කියන්නට හැකිවිය. නමින් මිෂෙල් දිල්හාරා වූ ඇයට අපට මේ දිනවල මුණගැසෙන්නේ සිදාදියේ සමනලියෝ හි මල්කි එහෙමත් නැතිනම් නර්ස් නෝනාගේ චරිතය හරහායි. හැබැයි මිෂෙල් පසුගිය දවස්වල අලුත්ම වැඩකට සම්බන්ධ වුණා කියලත් අපිට ආරංචියක් ලැබුණා. ඉතිං ඒ ආරංචියේ ඇත්ත නැත්ත දැනගන්න මිෂෙල්ට කතා කළා.


කොහොමද ඉතින්?


හොඳින් ඉන්නවා. මේ දවස්වල නාට්‍ය කිහිපයක සහ චිත්‍රපටයක රූගත කිරීම් කරගෙන යනවා. ඒ ඇරුණහම ව්‍යාපෘති කිහිපයක් කරන්න සූදානම වෙමින් ඉන්නවා.


 සිදාදියේ සමනලියෝ හි නර්ස් නෝනා ගැන කට්ටිය මොනවාද කියන්නේ?


මල්කිගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේත් එහෙමයි. ඒ වගේම මේ නාට්‍යයේ යශෝධා අක්කාටත්” තරින්දි” මනෝජා” සජිනි සහ වොෂිකා නිරූපණය කරන චරිත වන මංගලිකා අක්කා” දිස්නි” අනුරාධා” රේවතී සහ උමා කියන චරිත වලටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


පහුගිය දවස්වල අලුත් වැඩ කිහිපයක් භාරගත්තා නේද?


ඔව්. සිදාදියේ සමනලියෝ නාට්‍යයට අමතරව අලුත් නාට්‍යයකුයි” චිත්‍රපටයකුයි කරන්න භාරගත්තා.


මිෂෙල් දැන් නිවේදිකාවගේ භූමිකාවටත් අතතැබුවා කියන්නේ?


ඔව්. මට දැන් නිවේදන කලාවටත් ආරාධනා ලැබෙනවා.


පසුගිය දවස්වල Music Concerts ගොඩකින් ආරාධනා ලැබුණා නිවේදනය කරන්න. ඒ අතුරින් මෑතකදී ‘කප්තුරු ගී සර. Music Concerts එක නිවේදනය කළා. ඒකට සහභාගි වුණා දිනේෂ් සුබසිංහ” කසුන් කල්හාර” උරේෂා රවිහාරි” අමල් පෙරේරා සහ කුෂානි සඳරේඛා. මට එහිදී අතිවිශාල ප්‍රතිචාර රැසක් ලැබුණා.


කුලියාපිටියේ ගියා කියලත් ආරංචියි?


ඔව්. Glamour UCK 2023 වැඩසටහන: පසුගියදා කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතන භූමියේදීය පැවැත්වුණා. මම ඒ සඳහා සහභාගි වුණා.


මොකක්ද මේ fashion show එක?


කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනය” Cosmetology (අංගාර විද්‍යාව) අධ්‍යන අංශය විසින් ප්‍රථම වරට සංවිධානය කළ High fashion and prosthetic makeup විලාසිතා දැක්ම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මට සහ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී” කථිකාචාර්ය ඔෂාන් යාපා අමරසේකර මහතා සහභාගි වුණා. මෙහි මූලික සංවිධාන කටයුතු කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයයේ ප්‍රධාන විධායක නිලධාරි ටයිටස් පීරිස් මහතාගේ හා Cosmetology (අංගාර විද්‍යා) පාඨමාලා සම්බන්ධීකාරක ආයුර්වේද වෛද්‍ය අයේශා ගුණරත්න මහත්මිය” නිරූපක අමාලි හර්ෂිකා මිය හා සහකාර පුස්තකාලාධිපති දේශානි සියඹලාපිටිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර මෙහි සියලුම හැඩගැන්වීම් සහ ඉදිරිපත් කිරීම් අංගාර විද්‍යා උසස් ජාතික ඩිප්ලෝමාව හදාරන 2022” 2021” 2020 හා 2019 අධ්‍යයන අංශ වල සිසු සිසුවියන් විසිනුයි සිදුකළේ.


මිෂෙල්ට කොහොමද මේ ආරාධනාව ලැබුණේ?


කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ Glamour UCK 2023 වැඩසටහන සංවිධානය කරනු ලැබූ සංවිධායක මඬුල්ල විසින් තමයි මට ආරාධනා කරනු ලැබුවේ.


මොකක්ද මෙහි තිබුණ විශේෂත්වය?


කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතන මගින් සංවිධානය කරනු ලැබූ High fashion and prosthetic makeup විලාසිතා දැක්මෙහි ප්‍රධාන අරමුණ වූණේ Cosmetology (අංගාර විද්‍යාව) යනු හුදෙක් බාහිර රුව අලංකරණය” මනාලියන් හැඩ ගැන්වීම පමණක් නොව ඉන් ඔබ්බට පුළුල් ලෙස විහිදුණු ගැඹුරු විෂය ක්ෂේත්‍රයක් යන පණිවිඩය සමාජයට ලබා දීමයි. මීට අමතරව පාඨමාලාව හදාරන සිසුන්ගේ නව අදහස් හා හැකියාවන් එළිදැක්වීමත් කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමත් මෙහිදී සිදුවුණා.


ඇයි මිෂෙල් මේ වගේ වැඩකට දායක වෙන්න හිතුවේ?


මේ වැඩසටහන නියෝජනය කළේ අපේ රටේ ඊළඟ පරම්පරාව. එතැනට ගියහම තමයි මට තේරුණේ ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන්” අපේ රටට හොඳ නමක් ගේන්න පුළුවන්” හොඳ skills තියන අය හිටියා කියලා. ඉතින් ඒ සිසුන්ගේ හැකියාවන් වෙනුවෙන් මට පුළුවන් විදිහට දායකත්වයක් ලබා දෙන්න මම උත්සාහ කළා.


විලාසිතාවලට මිෂෙල් ගේ තියෙන නැඹුරුව?


විලාසිතා කියන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙන දෙයක්. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මට පහසු විදිහට ඉන්න. ඉතින් විශේෂයෙන් කියලා මම විලාසිතා වලට ගොඩක් නැඹුරු කෙනෙක් නෙමෙයි.


මේ වැඩේ ජාත්‍යන්තරයට අරගෙන යන්නත් අදහසක් තියෙනවාද?


ඒ සිසුන්ට ජාත්‍යන්තරය නියෝජනය කරන්න පුළුවන් මට්ටමේ දක්ෂතා සහ හැකියාව තිබුණා. මම විශ්වාස කරනවා ජාත්‍යන්තර දක්වා එයාලගේ skills ගෙනියන්න පුළුවන් වෙයි කියලා.


නිරෝෂන්





Previous Post Next Post