මම විවාහ වෙන්න කලින් ඉඳලම එයාගේ සින්දු ගොඩක් රස වින්දා-රොෂාන් පිලපිටිය




රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටියගේ පුංචි පවුල ලස්සනට ජීවත් වෙන නිසා බොහෝ දෙනෙක් ඒ පුංචි පවුලට ආදරණීය ප්‍රතිචාර දක්වනවා. රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ ගීතයක් කරලා කියලා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ නිසා ඇයත් එක්ක ඇය ගැන මේ විදිහට කතා කළා.


රිද්මා කොහොමද ජීවිතේ, මේ දවස්වල ගෙදර වැඩකටයුතු එක්ක කාර්‍යබහුලයි ද..?


මේ දවස්වල මම ගොඩක් ගෙදර වැඩ එක්ක කාර්‍යබහුල වෙලා. පුතා දැන් පෙර පාසල් යනවා. එයාගේ වැඩ ගෙදර වැඩ ඒ වගේම මම ගෙදර එළවළු, පලතුරු වගා කරනවා. ඒ වැඩවලටත් කාලේ යොදවනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර කටයුතු ගැනත් හොයලා බලනවා. අපි මේ දවස්වල අලුත් ගෙයක් හදනවා. ඉතිං ඒ වැඩ ගැනත් හොයලා බලනවා. රොෂාන් ෂූටිං වැඩ එක්ක බිසී වෙද්දී මම තමයි ඔක්කොම ප්ලෑන් කරලා වැඩ කරන්නේ, දවසට පැය තුන හතරක් විතර නිදා ගන්න විවේකය තමයි මට තියෙන්නේ දැන්.


රාහුල් දැන් ටික ටික ලොකු වෙද්දී මොකද හිතන්නේ ..?


පුතා ටික ටික ලොකු වෙද්දී සතුටක් තියෙනවා. ඒත් කාලේ ඉක්මනින් ගෙවිලා යද්දී දුකක් දැනෙනවා. එයා ළඟම දැවටෙන කාලේ නේද ඉක්මනින් ඉවර වෙන්නේ කියලා. පාසල් යන්න පටන් ගද්දි එයත් කාර්‍යබහුල වෙයි. එහෙම හිතෙද්දි එයාව මට මිස් වෙයි කියන හැඟීම එනවා.


ඒ නිසා මේ කාලේ එයත් එක්ක ගත කරනවා. එයත් එක්ක ජීවිතේ සුන්දර විදිහට ගෙවෙනවා. අම්මා කෙනෙක් වෙන එක ලේසි නැහැ. මම එයාට හොඳ ආදරණීය අම්මා කෙනෙක් වෙන්න තමයි නිතරම උත්සාහ ගන්නේ.


පුංචි පුතු රාහුල්ගෙන් රොෂාන්ගේ කුඩා කාලේ දකිනවා කියලා රොෂාන් ගේ මව කියලා නැද්ද ..?


අම්මා ජීවතුන් අතර ඉන්නකොට රාහුල් පුතාට කතා කළේ පොඩි රොෂාන් කියලා. රොෂාන් පොඩි කාලේ කරපු කියපු හැසිරුණු විදිහට තමයි රාහුල් හැසිරෙන්නේ කියලා අම්මා මට කියලා තියෙනවා. අම්මට ඕන වුණා රොෂාන් තාත්තා කෙනෙක් වෙනවා දකින්න. එයා ඒ හීනය රාහුල්ගෙන් සැබෑ කර ගත් නිසා අන්තිම කාලේ හරිම සතුටින් ජීවත් වුණේ. අම්මා රාහුල්ගෙන් එයාගේ චූටි පුතා රොෂාන්ව දකිනවා කියලා හරිම සතුටින් කතා කරලා තියෙනවා.


රිද්මා සමාජ මාධ්‍යයේ දැන් හොඳ ප්‍රතිචාර ලබන්නියක් වෙලා නේද ..?


මට ලැබෙන ප්‍රතිචාර එක්ක මටත් හිතෙනවා එහෙම. ඒකට හේතුව සමහරවිට මම ගෙදරට ලබාදෙන මූලිකත්වය වෙන්න ඇති. මම මල් එළවළු වගා කරන ඒවා සමාජ මාධ්‍යයේ පළකරනවා. ඒවා ආදර්ශයට අරන් ගෙදර වගා කරන අයත් ඉන්නවා. ඒ අය මට ප්‍රතිචාර දක්වනවා. මගේ යූටියුබ් නාළිකාව නරඹන අයත් ඉන්නවා. ගොඩක් කාන්තාවන් එකාකාරි ජීවිතයකට හුරු වෙලා ඉන්නේ. වේල් තුන උයලා ඉවර වෙද්දි කාන්තාවන්ගේ දවස ගෙවිල ඉවරයි. එයාලා විඩාවට පත් වෙලා ඉන්නේ. ඉතින් මම නිතරම ඒ ඒකාකාරී ගෘහ ජීවිතයෙන් ඉවත් වෙලා අලුත් දේවල් ජීවිතේට එකතු කරගන්නේ කොහොමද කියලා මම කරන කියන දේවල් සමාජ මාධ්‍යට මුදා හරිනවා. මේවට තමයි ගොඩක් වෙලාවට ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මටත් සතුටු වෙන්න පුළුවන්.


මල් පවා ගැස්සිලා ළංවී බලාවී කියලා කාටද කිව්වේ කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර ලැබුණු එකට මොකද හිතන්නේ ..?


මම රිද්ම වීරවර්ධන අයියගේ සින්දුවලට ගොඩක් ආසයි. මම විවාහ වෙන්න කලින් ඉඳලම එයාගේ සින්දු ගොඩක් රස වින්දා. මේ ගීතයත් ඒ විදිහට ආස කරන ගීතයක්. මේ ගීතයේ පදවලට මම ආසයි. ඒ නිසා ෆේස්බුක් එකට මගේ ෆොටෝ ටිකක් එක්ක ඒ ගීතයේ පද ටිකක් දැම්මා. කවුරුවත් වෙනුවෙන් නෙමෙයි කිව්වේ, ඒ වචන හරි රසයි. ඒ නිසයි දැම්මේ. ඒකට විවිධ විදිහට ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබ්බා. සමහර වෙලාවට මගේ හස්බන්ඩ් මම අහන ගීත ගැන පුදුම වෙනවා. උයන පිහින ගමන් මම පරණ සින්දු රස විඳිනවා. මම ඉපදුණේ අනූ ගණන්වල. ඒත් දශක ගණනක පරණ ගීත මුමුණනවා. රොෂාන්ට හරි පුදුමයි මට ඒ ගීතවල වචන මතක තියෙන එක ගැන.


සමහරු හිතුවේ රිද්මා ගීතයක් කරලා කියලා ..?


ඔව් සමහර අය හිතලා තිබුණා මම ගීතයක් කරලා කියලා. මම කරපු ගීතයක පද ටික දාලා කියලා හිතලා තමයි මුලින්ම ගොඩක් අය එක එක විදිහට ප්‍රතිචාර දක්වලා තිබ්බේ. කෝල් කරලත් ඇහුවා. මම ඒකත් එක්ක දැම්මේ ඔසරියක් ඇඳගෙන ඉන්න ෆොටෝස් ටිකක් ඒකයි ගොඩක් අය එහෙම හිතලා තිබ්බේ.


ඇත්තටම ගීතයක් කරන්න අදහසක් නැද්ද, රොෂාන්ටත් හොඳ හඩක් තියෙන නිසා ඔහුත් එක්ක එකතු වෙලා ..?


මම ලොකු ආසාවකින් ඉන්නවා සින්දුවක් කරන්න. විවාහ වෙන්න කලින් ඉඳලම තමයි ඒ කැමැත්ත තිබ්බේ. විවාහ වුණාට පස්සේ රොෂාන් අයියා කිව්වා රිද්මා ඔයා සින්දුවක් කරන්න කියලා. ඒත් බබා ලැබිලා එයත් එක්ක කාර්යබහුල වෙද්දි මගේ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒත් කොහොම හරි ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දැන් රංගනයට සම්බන්ධ වෙන්නේ නැද්ද ..?


රංගනයට ආරාධනා ලැබෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයා ගේ නිර්මාණයකට අපේ පවුලම සම්බන්ධ වුණා. ලස්සන නිර්මාණයක් . ඒකට ගොඩක් අය ප්‍රතිචාර දැක්වුවා. ඔහුම නැවතත් ආරාධනා කළා. නමුත් පුතා නිසා මම සම්බන්ධ වුණේ නැහැ. ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කළා. මම රඟපාන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒකට විවිධ හේතු තියෙනවා. උදේ පාන්දර ෂූටිං ගිහිං මහ රෑට ගෙදර එන්න බැහැ. මම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. රොෂාන් රංගනය එක්ක කාර්‍යබහුල වෙද්දී මටත් කාර්‍යබහුල වෙන්න බැහැ. එහෙම වුණොත් බබා බලා ගන්න කෙනෙක් ගන්න ඕන. එහෙම නැත්තම් ඩේකෙයාර් දාන්න ඕන. ඒ නිසා මම හිතුවා රොෂාන්ට ඉඩ දීලා පුළුවන් වෙලාවක විතරක් රඟපාන්න යනවා කියලා.


එහෙම නැත්තම් රොෂාන් වාරණ දාලද..?


එයාගේ අකමැත්තක් නැහැ. මට ආරාධනා ලැබෙද්දි කැමති නම් කරන්න කියලා එයා කියනවා. මම තමයි එයාට ඉඩ දීලා පැත්තකට වුණේ.





Previous Post Next Post