මනසාරි නිසා මම ටිකක් කාර්යබහුලයි-සූර්යා දයාරුවන්




ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන බොරුවක් කළ මේ කඩවසම් තරුණයා රංගනය, ගායනය, වාදනය, නිවේදනය මෙන්ම තවත් බොහෝ පැතිකඩයන් හරහා ස්වකීය ප්‍රතිභාව මනා ලෙස විදහා පෑවෙකි. උපතින් ගෙනා හැකියාවන් ස්වකීය අධ්‍යාපනය හරහා මනා ලෙස ඔපමට්ටම් කර ගත් ඔහු මෙරට කලාවේ පය නොතැබූ අස්සක් මුල්ලක් නැති තරම්ය. ශ්‍රී ලාංකික කලාවේ අනාගතය මේ යැයි ආඩම්බරයෙන් පෙන්වා දිය හැකි මෙම තරුණයා නමින් සූර්යා දයාරුවන් වේ. 



ඉතිං සූර්යා මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම වැඩකටයුතු සිද්ධ වෙනවා, දිවිතුරා, විදු, ෆෝ චූන් රෙසිඩන්සි කියන නාට්‍ය තුනම මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව හිතුවක්කාරි ටෙලි නාට්‍යය මේ දවස්වල නැවතත් විකාශය වෙනවා. ඒත් එක්කම අලුත්ම ටෙලි නාට්‍යයක රූගතකිරීම් මේ සතියේ ඇරඹුණා සිටි මැගසින් කියලා. ඒ වගේම ජෝර්ජියා කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒත් එක්කම අපේ සංගීත කණ්ඩායම Grade 14 එකේ කටයුතුත් සිද්ධ වෙනවා. ඒ අතරතුර අලුත් චිත්‍රපටයකටත් සූදානම් වෙන ගමන් මගේ අලුත්ම ගීතයේ වැඩකටයුතු එක්කත් බොහෝම කාර්යබහුල වෙලා ඉන්නේ.


ඔබේ අලුත්ම නිර්මාණය ‘මනසාරි’ ගැනත් කතා කරමු?


මනසාරි කියන්නේ මගේ අලුත්ම ගීතය. ඒක පද රචනය කළේ ශෙහාන් ගලහිටියාව. තනු නිර්මාණය තුසිත් සිම්ප්සන්. මේකේ වීඩියෝ අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ තිසර ඉඹුලාන. මනසාරි කියන්නේ වෙනස්ම විදිහේ වැඩක්. සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් සූර්යා මේ වගේ දෙයක් කළාද කියලත්. මොකද ඒකේ වීඩියෝ පටයේ ඉඳලම ඒක වෙනස්ම විදිහේ වැඩක්. මට හිතුණා වෙනස්ම වැඩක්, ටෙක්නෝ කන්සෙප්ට් එකේ නිර්මාණයක් එළිදක්වන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් ගීතයකදි අපිට ගායනාව පැත්තෙන් විවිධාකාර පරාසයන් වෙත යන්න පුළුවන්නේ. ඉතිං මට ඕන වුණා හොඳ පරාසයක නිර්මාණයක් කරන්න. ඒකෙ ප්‍රතිඵලයක් තමයි මනසාරි කියන්නේ. බලමු ඉදිරි සතියේදි ඒක ප්‍රේක්ෂකයන්ට රස විඳින්න පුළුවන්.


අධ්‍යක්ෂණයට යොමු වෙන්න එහෙම අදහසක් නැද්ද?


අධ්‍යක්ෂණය කියන එක ගැන නම් තාම හිතලා නැහැ. මොකද ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. අධ්‍යක්‍ෂවරයා කියන කෙනාට ලොකු හැදදෑරීමක්, ලොකු වපසරියක් තිබිය යුතුයි. ඒ වගේම ලොකු දැනුම් සම්භාරයකුත් තිබිය යුතුයි. ඉතින් ඒ දේවල් එක්ක අධ්‍යක්ෂණය කියන්නේ වසර ගණනක් පුරාවට හැදැරීම් කරලා අත ගැසිය යුතු දෙයක්. සමහර විට ඇතැම් අය පොඩි ප්‍රමාණයක් දැනගෙන හෝ දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ හෝ සහාය අධ්‍යක්ෂවරුන්ගේ උදව්වෙන් අධ්‍යක්‍ෂණයට යොමු වනවා විය හැකියි. නමුත් මම හිතන්නේ ඒක ලොකු මහන්සියක් කැප කිරීමක් කරලා කළ යුතු දෙයක් කියලා. ඉතිං මම තාමත් අධ්‍යක්‍ෂවරයා කියන පුටුවේ වාඩි වෙන්න සුදුසුකම් තිබෙන කෙනෙක් නෙවෙයි.


Netflix වෙත කරපු නිර්මාණයට මොකද වුණේ?


Back to Elephant Island තමයි ඒ චිත්‍රපටයේ නම. මේ වෙද්දී ඒකේ හඬ කැවීමේ කටයුතු පොඩ්ඩක් නතර වෙලා තිබෙනවා. ඒක සම්පූර්ණ වුණාම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් කරලා අදාළ ෆ්ලැට්ෆෝම්වල රිලීස් කරනවා. ඇත්තටම රඟපෑම ගැන සිහිනයක්වත් නොතිබුණු කෙනෙක් විදිහට ඒ වගේ නිර්මාණයකටත් සහභාගි වෙන්න ලැබීම ඇත්තටම සතුටක්. සමහර වෙලාවට අපි නිර්මාණයන්වලට දායක වුණත් සමාජ හෝ ආර්ථික ප්‍රශ්න නිසා ඒ දේවල් ප්‍රමාද වෙන්න පුළුවන්. හොඳම උදාහරණය මගේ පළමු වැනි ටෙලිනාට්‍යය රූගත කෙරුණේ දෙදහස් එකොළහේ. නමුත් ඒක විකාශය වුණේ දෙදහස් දහඅටේ පමණ. ඔය වගේ ප්‍රශ්න තිබෙනවා නිර්මාණ කටයුතුවල.


කලාව වෘත්තිය බවට පත්කර ගැනීම ආර්ථිකයට බලපාන්නේ කොහොමද?


කලාව තමයි මගේ වෘත්තිය. අනිත් අය සාමාන්‍යයෙන් රැකියාවක යෙදෙනවා වගේ මම කරන්නේ කලාවේ නිරත වෙන එක. මගේ අධ්‍යාපනය වේවා, මගේ වැඩකටයුතු වේවා ඒ සියල්ල කලාවට සම්බන්ධයි. ඉතින් මම අලුතෙන් ඉපයීම් මාර්ගයක් ගැන හිතුවත් ඒකත් කලාවටම තමයි අවසානයේ සම්බන්ධ වෙන්නේ. ඉතිං කලාව හරහා මට මේ වෙද්දී මූල්‍යමය ගැටලුවකට හෝ එහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා නෑ. මම මේ වෘත්තිය හරහා මගේ මූල්‍යමය වපසරිය සකස් කරගෙන සිටින්නේ.


කලාව ඇතුළේ ඔබ හැම තැනම වාගේ පෙනී සිටිනවා. කොහොමද මේ සියල්ල කළමනාකරණය කරගන්නේ?


ඇත්තටම මම ඕනෑම නිර්මාණයකට දායක වෙන්න කලින් ඒ පිළිබඳව හොඳට සොයා බලනවා. මනුස්සයෙක් කියනවා නම් යම්කිසි දෙයකට කාල වේලාව මදි කියලා. ඒක බොරුවක්. අපිට දෙයක් කරන්න වුවමනාව තිබෙනවා නම් ඒ සඳහා කාලය හොයාගන්න එක අසීරු නැහැ. අපේ වෘත්තිය කරන ගමන් ඒකට කාලය යොදවන ගමන් අපි අපේ සම්බන්ධතා වෙනුවෙනුත් කාලය වෙන් කරන්න අවශ්‍යයි. මොකද අපි මොන තරම් ජයග්‍රහණ ලබා ගත්තත් වැඩක් නෑ අපේ ආදරණීයන් අතහැරලා. අපේ වෘත්තිය වගේම පෞද්ගලික ජීවිතයත් කළමනාකරණය කර ගත යුතුමයි. ඒක කලාකරුවෙක්ට පමණක් නෙවෙයි සෑම මනුෂ්‍යයෙක්ටම තිබෙන්න ඕන ගුණානංගයක්. පුද්ගලිකව මම ගත්තොත් මම කෙසේ හෝ ඒ සියල්ල වෙනුවෙන් කාලය සොයා ගන්නවා.


ප්‍රේක්ෂකයන්ගේ චෝදනාවක් තමයි ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක නිර්මාණ නැහැ කියන එක. ඒ ගැන ඔබේ අදහස?


ලංකාව ඇතුළේ ගුණාත්මක නිර්මාණ නැහැ කියන්න නොහැකියි. ගුණාත්මක නිර්මාණ තිබෙනවා. ගැටලුව වෙන්නේ කොතරම් ගුණාත්මක නිර්මාණ තිබුණත් අවධානය යන්නේ, චෝදනාවට ලක්වෙන්නේ අනිත් නිර්මාණ වීම. කොහොම වුණත් කෙනෙක්ට අවශ්‍ය නම් දවසකට හොඳ ගුණත්මක නාට්‍ය දහයක් බලන්න. ඒ සඳහා වුණත් ලංකාව ඇතුළේ අවස්ථාව තිබෙනවා. එතැනදි අපි දැනගන්න ඕන රසිකයෙක් විදිහට අපිට අවශ්‍ය නිවැරැදි නිර්මාණය තෝරා ගන්න.


කලාවට එකතු වුණු අලුත් පරපුරත් එක්ක වැඩ කරන්න ලේසියි කියලා කියනවා. ඒ ගැන ඔබේ අදහස?


ඇත්තටම අපේ පරම්පරාවේ අයට ඔවුන්ගේ සිහින තිබෙනවා. ඉතිං ඔවුන් ඒ සිහින වෙනුවෙන් මහන්සි වෙද්දී තව කෙනෙක්ට බාධා කරන්න, කකුලෙන් අදින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් හරිම දැනුවත්. නීතිය ගැන වේවා, සමාජය ගැන වේවා ඔවුන් ලොකු අවබෝධයකින් කටයුතු කරන්නේ. එහෙම නැති අයත් සිටිනවා. නමුත් බහුතරය එහෙමයි. ඒ වගේම මම දකින දෙයක් තමයි මේ තරුණ පරම්පරාවේ මිනිස්සු සහකම්පනය තිබෙන අය. ඔවුන් සතෙක්ට පවා වෙන කරදරවලදි හරිම කම්පනයට පත් වෙනවා. තමන්ට වෙන අසාධාරණවලදී පෙනී ඉන්නවා වගේම. අනිත් අයටත් අභිමානයක් තිබෙන බව දැනගෙන ජීවත් වෙන්නේ. අනිත් එක තමයි තරුණ පිරිසට අධ්‍යාපනය ලබන්න ගොඩාක් ක්‍රම තිබෙනවා. ඔවුන් ඒ මාර්ග හරහා තමන්ව පෝෂණය කරගෙන ඔවුන්ගේ ගමන යනවා මිසක් වෙන දේවල්වලට අවධානය දෙනවා අඩුයි.


ඔබේ සංගීත කණ්ඩායම ගැනත් කතා කරමු?


අපේ සංගීත කණ්ඩායම Grade 14. ඒක ආරම්භ කරලා මාස කිහිපයක් වුණත් මේ වෙද්දිත් හොඳ ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. මට හමුවුණු අලුත්ම පවුල තමයි මගේ බෑන්ඩ් එක. අපි හත්දෙනෙක් ඉන්නවා. ඒ වගේම හැමෝම සංගීතය පිළිබඳව හොඳ අධ්‍යාපනයකුත් ලබලා තිබෙනවා. අපි අපේ සංගීත කණ්ඩායමත් සමඟින් ප්‍රසංග වගේම විවිධ උත්සව අවස්ථා සඳහාත් සම්බන්ධ වෙනවා.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


මගේ අලුත් නිර්මාණ කිහිපයක්ම එන්න තිබෙනවා වගේම තව නිර්මාණ කිහිපයකටම දායක වෙන්නත් අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වගේම මගේ පී.එච්.ඩී. එකේ කටයුතුත් ඉදිරියේදී ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.





Previous Post Next Post