දක්ෂතා තියෙන තරුණයන්ට නිසි තැන නැහැ කියලා කාලෝ සර් කීවා - කුමුදු නිශාන්ත පෙරේරා




සුදත් මහදිවුල්වැවගේ ‘සුදු කළු සහ අළු’ චිත්‍රපටයේ අභියෝගාත්මක රංගනයක නිරතවූ කුමුදු නිශාන්ත පෙරේරා නම් වූ තරුණ, දක්ෂ රංගන ශිල්පියා අධ්‍යක්ෂවරයා අද වනවිට සිනමාව, ටෙලිනාට්‍ය , වේදිකාව යන ත්‍රිත්ව මාධ්‍යයෙහිම රංගනයට අමතරව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද යොමුව සිටියි.. මේ දිනවල විකාශනය වන ‘සංගීතේ’ සහ ‘ජානු’ ටෙලිනාට්‍යවලින් ද ඔහු ඔබ හමුවට එයි. ‘ඕලු’ ටෙලිනාට්‍යයේ ‘අසේල සර්’ ලෙස කුමුදු බොහෝසෙයින් ජනප්‍රිය විය. වත්මන් ටෙලි, සිනමා, වේදිකා රංගනය මෙන්ම අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳවත් ඔහුගේ ලේඛන කලාව පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් කුමුදු මෙසේ එක්විය.


ඔබ කලාවට පැමිණි අයුරු විස්තර කළොත්...?


ඒ අතීතයට යනවා නම් මගේ පාසල් අවධියේ කුඩාම කාලයට යන්න පුළුවන්. පාසලේ 03 වසරේ සිට රංගනයේ මතකයන් මට මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. දහම්පාසලේදීත් නාට්‍යවල රංගනයට එකතු වුණා. ඒවගේම කුඩා කාලයේ තව මතකයක් තියෙනවා. නුවර පෙරහැර බලන්න ගෙදර අය එක්කරගෙන ගියේ නෑ කියලා දුකින් හිටිය ආයම්මා කෙනෙක් දවසක් මුණගැසුණා. මම එයාට නුවර පෙරහරේ විශේෂාංග එකින්එක රඟපාලා පෙන්නුවා..ඒ වෙලාවේ තාත්තාගේ සරමක් මට අන්දවලා තිබ්බේ. හදිසියේම සරම කඩාගෙනත් වැටුණා. ඒකත් හොඳ මතකයක්. ඒ වගේම උසස්පෙළ කරන කාලයේ යෞවන සම්මාන උලෙළේ හොඳම නළුවා, හොඳම නිෂ්පාදනය , හොඳම තිර රචනය ආදියට සම්මාන ලැබුවා. විවිධ පාඨමාලා තරඟවලිනුත් යෞවන සම්මාන ලබනවා. ඒවගේම 06වසරේ ඉද්දී උපුල් ශාන්ත සන්නස්ගල ‘විශ්වවිද්‍යාල සිසුවෙක් 3 පන්තියේ’ කියලා නාට්‍යයක් කළා. ඒකේ අමරසිරි කලංසූරිය හා දමයන්ති ෆොන්සේකා දෙදෙනාගේ පුතා විදිහට තෝරාගෙන හිටියේ දර්ශන පනංගලව. එයාට කොහොමහරි එදා එන්න බැරිවුණා. එතැනදී මට අවස්ථාව ලැබුණා ඒ චරිතය කරන්න. ටෙලිනාට්‍යයක මුලින්ම චරිතයක් කළේ රොඩ්නි විදානපතිරණ මහතාගේ ‘උඩවැඩියා මල්’ ටෙලිනාට්‍යයේ. ඒකේ නිල්මිණී තෙන්නකෝන් මගේ පෙම්වතිය. අයියාට හිටියේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඒක කරද්දී මම උසස්පෙළ පන්තිවල හිටියේ. ඒ කාලයේ අවුරුදු 19ක් 20ක් වගේ ඇති. ඊටපසුව චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘එළිවෙන තුරු’ කියා ටෙලිනාට්‍යයක් කළා.


සිනමාවේ ඔබට මුල්වරට රඟපාන්න ලැබුණේ විශිෂ්ට රංගන ශිල්පිනියක් වන ගීතා කුමාරසිංහ එක්ක...ඒ මතකය සිහිකළොත්...?


ඔව්, ඒ හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘අභියෝගය’ චිත්‍රපටයේ. ඒක 1994 තිරගත වූයේ. ගීතා කුමාරසිංහගේ මල්ලි විදිහට ඒකේ රඟපෑවේ. පළමුවරට සිනමා කැමරාවකට මුහුණදුන්නේ අභියෝගයෙන්. එහි තිබුණේ මගේ අක්කා ගීතා කුමාරසිංහ සින්දු ලියපු කොළයක් මම බෝතල් පත්තරකාරයකුට විකුණනවා. ඒකට එයා මට බනිනවා. ඒක තමයි එහි රඟපාන්න තිබුණේ


සිනමාව තුළ ඔබ රඟපෑ චරිත අතරින් වඩාත් කැමැති චරිතයක් මතක් කළොත්..? එයට කැමැති වෙන්න හේතුව කිව්වොත්....?


ඒ සුදත් මහදිවුල්වැවගේ ‘සුදු කළු සහ අළු’ චිත්‍රපටයේ මම කළ හරක් බලන කොල්ලාගේ චරිතය. මෙහි ඒ කොල්ලා හමුදා සොල්දාදුවෙක් වෙනවා. එහි මම ග්‍රාම නිලධාරියාව අවසානයේ කපලා මරනවා. ග්‍රාම නිලධාරියා විදිහට රඟපෑවේ ජයලත් මනෝරත්න මහතා. අනික එතන විශේෂත්වය වුණේ ඒ ග්‍රාම නිලධාරියාව කපා කොටා මරන්නේ බුදුපිළිමයක් ඉදිරිපිට. අනික ඒ චරිතයට විශේෂයෙන් කැමැතිවෙන්න හේතුව ඒ හරක් බලන කොල්ලාගේ චරිතය වටේ හිටියේ දැවැන්ත ශිල්පීන් පිරිසක්. ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, වසන්ත කොටුවැල්ල, අයිරාංගණී සේරසිංහ, දිල්හානි ඒකනායක වගේ පිරිසක් එක්ක වැඩකරන්න ලැබුණේ. ඒක ඉතා සුවිශේෂියි. ඒ වගේම අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව වගේ කෙනෙක් යටතේ රඟපෑමම විශේෂයි. එය හරිම වටිනවා. මාස 3කට වැඩි කාලයක් කොණ්ඩේ, රැවුල වවලා විශාල කැපකිරීමක් මම ඒ චරිතය වෙනුවෙන් කළා. ඒ චරිතය සම්මාන උළෙලකදී හොඳම නැඟී එන නළුවාට නිර්දේශ වෙනවා


සුදු කළු සහ අළු’ මාධ්‍ය දර්ශනය ඔබේ ජීවිතයට සුවිශේෂී වුණා නේද...?


ඔව්. රීගල් සිනමාහලේ මාධ්‍ය දර්ශනය තිබ්බේ..එදා චිත්‍රපටය අවසන්වූවට පසුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මගේ අතින් අල්ලාගෙන ‘මම ඔබ කවුද කියලා දන්නේ නෑ පුතා, ඒත් ඔයාලගේ අනාගතය ගැන මට හරි දුකයි’ කියලා කිව්වා. එදා එතුමා ඒ කිවූ දේ මට එදා ඒතරම් තේරුණේ නැතත් පස්සේ තමයි එහි අදහස වැටහුණේ. ඔහු එදා කිව්වේ අපි වගේ අයට මේරටේ සිනමා කර්මාන්තය තුළ තිබෙන අනාගතය ගැන කනගාටුවෙන බවයි. දක්ෂතාව තියෙන තරුණ පිරිසට නිසි තැන මේ වගේ රටක නැහැ කියන දේ තමා ඔහු එදා ව්‍යංගාර්ථයෙන් වගේ කිව්වේ..ඒ සිදුවීම නම් මට කිසිදා අමතක වෙන්නේ නැහැ. ඔහුගේ කතාව හරියට හරි. අදත් මට රීගල් සිනමාශාලාවට යද්දී ඒ සිදුවීම මතක්වෙනවා.


ටෙලිනාට්‍ය කලාව තුළ ඔබේ සුවිශේෂී සංධිස්ථාන ගැන කතා කළොත්...?


මුල්ම කාලයේ මම රඟපෑ කවිත්‍රා පනංගල පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘කළුවර අඳුන’ ටෙලිනාට්‍යයට කැමැතියි. එහි දුලීකා මාරපනගේ පෙම්වතා විදිහට මා රඟපෑවේ. දුලීකා අක්කාගේත් දෙවැනි ටෙලිනාට්‍යය ඒක. එහි මගේ චරිතය ‘කිරිබණ්ඩා’. දුලීකා මාරපන, හෂිනිකා කරලියැද්ද, ජයනි සේනානායක වගේ අයත් ඒකාලයේ ක්ෂේත්‍රයට ආව අලුතම වගේ. ඒ වගේම ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය මහතා කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා නිෂ්පාදනය කළ ටෙලිනාට්‍යයක මාධ්‍යවේදියකු විදිහට රඟපාපු චරිතයත් විශේෂයි. නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයකත් චරිතයක් කළා. ඒකටත් කැමැතියි .


‘ඕලු’ ටෙලිනාට්‍යයෙන් ඔබ අසීමිතව ජනප්‍රිය වුණා...?


‘ඕලු’ ටෙලිනාට්‍යයේ අසේල සර්ට අදත් ප්‍රේක්ෂකයා ආදරෙයි. එහි අධ්‍යක්ෂ ෂර්ලි පී. දෙලංකාවල සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩකරන කාලයේ ඉඳන් මම හඳුනනවා. ‘කුමුදු මෙහෙම ටෙලියක් කරනවා. අපි කරමුද..?’ කියලා මගෙන් ෂර්ලි ඇහුවා. ඒ වගේම ඕලු නිෂ්පාදක රිමෙන්සි ප්‍රනාන්දු මහතාත් සිහිපත් කරන්න ඕන. ඔහු ටෙලිනාට්‍ය රැසකම ප්‍රධාන චරිතයට මට කතා කළා. කාර්යබහුලත්වය එක්ක යන්න බැරිවුණා. ඒවගේම ඔහු මාව අධ්‍යක්ෂවරුන්ට හඳුන්වා දුන්නා. ‘ඕලු’ ලංකාවේ අතිශය ජනප්‍රිය වුණා වගේ එහි චරිතත් ජනප්‍රිය වුණා. ඒ අතර අසේල සර්ගේ චරිතයත් ඉහළින්ම ජනප්‍රිය වුණා.


සුදත් මහදිවුල්වැව සමඟ ඔබේ ගනුදෙනුව සිදුවුණේ කෙසේද..?


‘සුදු කළු සහ අළු’ කරන්න කලින් මට සුදත් අයියාව මුණගැහිලා තිබුණා. ඔහු මුලින්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂණය කළා. එලිෆන්ට් හවුස් දැන්වීමකදී මට ඔහුව මුණගැසුණා. සුදත් අයියා එක්ක කොමර්ෂල් කරද්දී ඔහු මට කිව්වා ඔයා ලොකු වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ හැඳුනුම්කමත් එක්ක මට ‘සුදු කළු සහ අළු’ එකට කතාකළා. අනෙක් අයට වගේ මටත් තිර පරීක්ෂණයක් තිබ්බා. ඒ චරිතයට සුදත් අයියා බිමල් ජයකොඩිවත් බලලා තිබ්බා. ඒ චරිතයට ඒ කාලයේ මගේ තිබ්බ කෙට්ටු ශරීරයත් හොඳට ගැළපුණා. මොකද ඒ චිත්‍රපටයේත් කර්කශ පරිසරයක්නේ පෙන්වන්නේ. ඒ චරිතයට මාව ගන්න හදද්දී ගොඩාක් අය සුදත් අයියාට කියලා තියෙනවා මාව ගන්න එපා කියලා. ඒත් සුදත් අයියා මා ගැන විශ්වාසය තිබ්බා. එහෙම අවධානයකුත් දරාගෙන මට හරක් බලන කොල්ලාගේ ඒ චරිතය දුන්නා. එතනදී සුදත් අයියා මට කිව්වා ‘උඹට මම අභියෝගයක් දෙන්නේ’ කියලා. කවුරු මොනවා කීවත් සුදත් අයියාට මා ගැන විශ්වාසයක් තිබ්බා. ඔහු එක්ක කොමර්ෂල් කරපු කාලයේ ඉඳන් මා සමඟ තිබූ හිතවත්කම සහ ඔහු මගේ දක්ෂතා තේරුම් ගැනීමත් නිසා ඒ චරිතය දුන්නා. ඒ වගේ අවධානමක් අරගෙන මට චරිතය දෙද්දී 70%ක් විතර මගෙන් බලාපොරොත්තු වුණා කිව්වා. අවසානයේ උඹ 100%ක්ම දුන්නා කියලා කිව්වා.


සිනමාව හදාරන විට ඔබ ගුරුකොටගත් අධ්‍යක්ෂවරුන් හෝ සිනමා නිර්මාණ මතක් කළොත්.... ?


සිනමාව තුළ සුදත් මහදිවුල්වැවගෙන් මම බොහෝදේ ඉගෙනගත්තා. ප්‍රසන්න විතානගේ මහතා මගේ සිනමා ගුරුවරයා කිව්වොත් නිවැරදියි. ඔහු යටතේ මම සිනමාකරණ ඩිප්ලෝමාවක් කළා. ඒ ඩිප්ලෝමාව කළේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඒකට තෝරගත්තේ සිසුන් 14යි. එහෙම එක් අයකුගේ සිනමා නිර්මාණවලටම මම කොටුවී අධ්‍යයනය කළේ නැහැ. ජපානයේ අකිර කුරසාවාගේ වගේම ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ වගේම ලංකාවේ ලෙස්ටර්ගේ චිත්‍රපටත් අධ්‍යයනය කළා..ඒවගේම අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි වගේ අයගේ චිත්‍රපටත් බලලා විවිධාකාර විචාර, සම්මන්ත්‍රණ අපි කළා. ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය ධර්මසේන පතිරාජ වගේ අය ගැනත් අධ්‍යයනය කරනවා. මේ සඳහන් කළ අය අතරින් ප්‍රසන්න විතානගේ සර් මට ඉහළින්ම දැනෙනවා. ඔහුගේ කැමරා කෝණ පවා මට හරිම සමීපයි.


ඔබේ මුල්ම කෙටි චිත්‍රපටයත් සම්මානනීය වුණා නේද...?


පාසල් කාලයෙන් පස්සේ මම ‘දියවක’ කියලා කෙටි චිත්‍රපටයක් කරනවා. චිත්‍රපට 99ක් එක්ක තරඟ කරලා ‘දියවක’ සම්මානයට පාත්‍රවෙනවා.. මේ කෙටි චිත්‍රපට උලෙළ ‘මනුෂ්‍යත්වයේ මුහුණුවර’ යන තේමා පාඨය යටතේ පවත්වන්නේ. ඕ.ර්.ධ්.ඛ්.ඩ්. එකේ උලෙළ පවත්වන්නේ. සිනමාවේ දැවැන්තයන් රැසක්ම සම්මාන ප්‍රදානයට ආවා. එහිදී සම්මානයට චිත්‍රපට 03ක් තෝරාගන්නවා. ඒ චිත්‍රපට 1,2,3 ආදී ලෙස අනුපිළිවෙළකට නම් කරන්නේ නැහැ. ඒ චිත්‍රපට තුනටම සම මට්ටමේ සම්මාන ලැබෙනවා. එතනදී මගේ ‘දියවක’ත් සම්මානයට පත්වුණා.


රංගනය පිළිබඳ මෙරට වැඩමුළු, අභ්‍යාස ගැන ඔබේ අදහස...?


වැඩමුළු, අභ්‍යාසවලදී ප්‍රමිතිගත දේ තිබ්බත් ඒකෙන් දෙයක් ගන්න කෙනා අරගන්නවා. වැඩක් නොකරන කෙනාට ඒක අහුවෙන්නේ නැහැ. මමත් වැඩමුළු රැසකටම ගියා. ඒ වැඩමුළුවලට ගියාම හරි ආසයි. පාසල් ළමයි එක්ක මුතුහර ළමා සමාජයේ වැඩමුළුවකටත් ගියා. ඒ වැඩමුළුව කළේ රවින්ද්‍ර රන්දෙණියලාටත් උගන්වපු ධම්ම ජාගොඩ කියලා පසුවයි දැනගන්නේ. ඒ කාලයේ මට රංගන පාඨමාලා වැඩමුළු උණ තිබ්බා. මහේන්ද්‍ර අයියාගේ වැඩමුළුවටත් අනෝජා අක්කාගේ අභින වැඩමුළුවටත් වගේම එච්. ඒ. පෙරේරා මහතාගේ, සෝමලතා සුබසිංහ මහත්මියගේ ඒ කාලයේ තිබුණු සෑම වැඩමුළුවකටමත් මම දායක වුණා. ඒ හැමකෙනාගෙන්ම යමක් ඉගෙන ගන්නවා. ඒ කාලයේ පොඩි රස්තියාදුවක් ගැහුවා. ඔවුන්ගෙන් බොහෝ දේ හරි පරිස්සමට ගත්තා. අද මම යම් තැනක ඉන්නවානම් ඒ ප්‍රවීණයෝ නිසයි.


සිනමාව තුළ අද දකින සුබවාදී සහ අසුබවාදී දෑ මොනවාද...?


සිනමාව ගැන මම අවධානයෙන් ඉන්නේ. සිනමාව අවුස්සගන්න කාලයේ ඉඳලා. හොඳ අධ්‍යක්ෂවරු අපට ඉන්නවා. හොඳ නිර්මාණත් කෙරෙනවා.. ඒක පැහැදිලියි. අවුල තියෙන්නේ දේශපාලනික අවුලක්. මේ සමාජයේ ආර්ථික, දේශපාලනික ආතති ඉවත්කළා නම් ලෝක සිනමාවේ ප්‍රංශ නවරැල්ල වගේ වෙනසක් අවුරුදු 02ක් ඇතුළත මේ රටේත් වේවි. අපේ රටේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. දේශපාලන අවුලක් තියෙන්නේ. දක්ෂ චිත්‍රපටකරුවෝ, සංගීතඥයෝ වගේ අය මේ විෂයයෙන් ඉවත්වෙලා ඉන්නේ..ඉන්දියාවේ සිනමා කර්මාන්තයක් තිබෙනවා. අපේ රටේ කර්මාන්තයක් නැහැ. අද වෙද්දී සිනමාශාලා 35-40කට අඩුවෙලා. දඹුල්ල, පොළොන්නරුව වගේ ප්‍රදේශවල මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න කිලෝමීටර් 10-20 යන්න එන්න ඕන.


වේදිකාවේ ඔබේ භූමිකාව...?


වේදිකාව තුළ මම සක්‍රියයි. සරත් කොතලාවලගේ ‘නරි බුරති2’ත් මිහිර සිරිතිලකගේ ‘කෝකුක්කෝ’ වේදිකා නාට්‍යත් එක්ක වැඩකරගෙන යනවා. ‘ඒකා සාක්කුවේ’ මගේම නිෂ්පාදනයක්. සරත් කොතලාවල අධ්‍යක්ෂණය කළේ. ඒක කොවිඩ් එක්ක නතර කරන්න වුණා. ආයෙත් පටන්ගන්න හිතාගෙන ඉන්නේ...


රංගනයට එන් වත්මන් තරුණ පිරිස ගැන මොකද හිතන්නේ...?


මම මේ දිනවල රඟපාන ‘සංගීතේ’, ‘ජානු’ ටෙලිනාට්‍යවල අලුත් අය එක්ක වැඩකරන්න තියෙන්නේ. ඔවුන් එක්ක ගැටලුවක් නැතිව වැඩකරන්න පුළුවන්. අලුත් අයගේ වැරැද්දක් නම් මම දකින්නේ නෑ. ඔවුන්ට රංගනයේ ‘අ’ යනු ‘ආ’ යනු කියාදෙන්න කෙනෙක් නැහැ. කවුරුවත් ඒවාට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. අපි ලබාගත්තු අත්දැකීම් ඔවුන්ට නැහැ. අපි ඒ කාලයේ ප්‍රවීණයන් දිහා බලලා ඔවුන් රඟපාන හැටි බලන් ඉඳලා ඉගෙනගත්තා. අලුත් අයට ඒවාට කාලයත් නැහැ. අපේ පරපුර හා අලුත් පරපුර අතර පරතරයක් තියෙනවා . අපට වගකීමක් තියෙනවා ඒ දේවල් කියලා දෙන්න.


ඔබ පොතක් ලිව්වා නේද..?


ඔව්, ‘දැහැටි’ කියලා නවකතාවක් ලිව්වා. ටෙලිනාට්‍ය, චිත්‍රපට කරලා තියෙනවා. දැන් මෙහි දෙවෙනි කොටස ලියමින් ඉන්නේ. සමාජ අසාධාරණයට ලක්වූ ‘චූටියා’ කියන චරිතය කේන්ද්‍ර කරගෙන ලියවුණු නවකතාවක් මේක. දේශපාලනය විසින් මිනිසුන්ගේ ජීවිත හැඩහුරුව වෙනස් කරන ආකාරය මෙහි කියවෙනවා. දැහැටි කූරක් වගේ මිනිස් ජීවිත විසිකරන අයුරු මෙහි පෙන්වනවා. මෙහි ‘චූටියා’ කියන්නේ අහිංසක දරුවෙක්. ඔහුගේ ජීවිතය, බලාපොරොත්තු වෙනම තැනක නතර වෙනවා. එතැන් සිට ‘දැහැටි 2’ ආරම්භ වෙනවා.


ඔබ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්...?


ඔව්, සෑම පොහොය දිනකම ස්වාධීන රූපවාහිනියට කෙටි චිත්‍රපටයක් මම අධ්‍යක්ෂණය කරනවා. ‘මතක’ (මතක මත විඳවන මතක) කෙටි චිත්‍රපටය කළා. අගෝස්තු මාසයේ ‘අහිංසකාවි’ විකාශය වුණා. තව පිටපත් දෙක තුනක් සූදානම් කරගෙන ඉන්නවා. නිෂ්පාදන අර්ථපතියෝ සොයමින් ඉන්නේ. මෙහි පිටපත් ලියන්නේත් මමමයි.


මේ දිනවල විකාශනය කෙරෙන ‘සංගීතේ’ ‘මිලින්ද’ ගැන කතා කළොත් ...?


සංගීතේ ටෙලිනාට්‍යයේ මිලින්ද කියන්නේ බිරිඳගෙන් දරුවාගෙන් වෙන්වෙලා දේශපාලනඥයකු ළඟ රැකියාව කරන චරිතයක්. මෙයට මම හාස්‍ය රසයකුත් ලබාදී තියෙනවා. දේශපාලනය කියන මඩගොහොරුවේ ඉන්න එක චරිතයක් තමයි මිලින්ද කියන්නේ. සමාජයටම ඔවුන් පිළිලයක්. මිලින්දට මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙන බව පේනවා.


ඔබ රඟපෑමට ආසාවෙන් සිටින චරිතයක් හෝ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවාද.....?


ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා යටතේ වැඩ කරන්න ආසයි. ජයන්ත අයියටත් ඒක කියලා තියෙනවා. ඒ අවස්ථාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. චරිතයක් කියා විශේෂත්වයක්


විශේෂත්වයක් නැහැ. ඕනෑම චරිතයක් උපරිම දායකත්වය දීලා කරනවා. පෞද්ගලිකව ආසයි ඇස් පේන්නේ නැති චරිතයකට.


වත්මන් ටෙලිනාට්‍ය කලාව දකින්නේ කෙසේද....?


මෙතන වෙලා තියෙන්නෙත් මම කලින් කිව්වා වගේ දේශපාලන පුවතේම ඉතිරි කොටස. දේශපාලන අතපෙවිලි නිසා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයත් විනාශ වෙලා.. අනික අද වෙද්දී රධභ බභඡඥ, ඩ්චදඤ ර්‍ථඩධදඥ. සංස්කෘතිය හැදිලා....ටෙලිනාට්‍ය බලන්නේ මේවාගෙන්. රූපවාහිනිය ප්‍රධාන මාධ්‍ය නොවන තැනට පත්වෙලා. ඉස්සර රූපවාහිනිය ප්‍රේක්ෂකයාට වැදගත් මාධ්‍යයක් වුණා. අදවෙද්දී නවීන තාක්ෂණය එක්ක කනගාටුවක් තියෙන්නේ.


රටක ප්‍රධාන ප්‍රවාහය තුළ ශක්තිමත් කුලුණු නැති වුණොත් සියල්ල කඩාවැටෙනවා. දුරදිග බලා වැඩකරන දේශපාලන සංස්කෘතියක් අපි හදන්න ඕනේ. මේ ඛේදවාචකයට පිළිතුරක් තියෙන්න එපායි.


ඔබ නිවේදනයටත් යොමුවුණා නේද......?


ස්වර්ණවාහිනී ආයතනයෙන් අපිට නිවේදනය පිළිබඳ පුහුණුවක් ලබාදුන්නා. එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ කාලයේ ඒක තිබුණේ. වසන්ති නානායක්කාර , සුසාර දිනාල් වගේ අයත් ආවා.


එතනදී නිවේදකයෙක් නම් රඟපාන්න බැහැ කියලා ගිවිසුමක් ගහන්න වුණා. එතනදී ආයතනයකට සිරවෙලා ඉන්න බැරි නිසා එයින් ඉවත් වුණා. ඒ මගේ තීරණය හරියටම හරි.


ඔබේ ඉදිරි කලා නිර්මාණ මතක් කළොත්...?


දේවින්ද කෝන්ගහගේගේ අධ්‍යක්ෂණයක් වූ ‘නාට්ටාමි ආමි’ චිත්‍රපටය එන්න තියෙනවා. වාසිත සමරනායකගේ ‘වස්දඬු රාවය’ වගේම සුරංගද අල්විස්ගේ ‘කිඩ්නැප්’ සංජීව පුෂ්පකුමාරගේ ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි...ටෙලිනාට්‍ය පැත්තෙන් බැලුවොත් අලුත්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක ප්‍රධාන චරිතය කළා .. ඒක වෙනස්ම චරිතයක්. මේ දිනවල විකාශය වන ‘සංගීතේ’, ‘ජානු’ දිගටම රූගතකිරීම් කෙරෙනවා. හිරු නාලිකාවේ ටෙලි ෆිල්ම් එකක වැඩකුත් කරගෙන යනවා.


පවුලේ විස්තර කිව්වොත්....?


මමයි බිරිඳයි ඉන්නේ.. ඇය දුලාරි ප්‍රනාන්දු. ඇය කලින් රැකියාවක් කළා. දැන් එයින් ඉවත්වෙලා. අපට දරුවන් නැහැ.

 



Previous Post Next Post