කදිර දිව්‍යරාජ මල්සරා කතා කරයි - ධනංජය සිරිවර්ධන




ධනංජය.. මේ දිනවල විකාශය වන 'සිදාදියේ සමනලියෝ' ටෙලිනාට්‍යයේ මුල් අධ්‍යක්ෂකවරයා ඔබයි. ඒත් අතරමඟදී ඔබ අධ්‍යක්ෂණයෙන් ඉවත් වෙනවා. ඇයි ඒ?


ඒක නිෂ්පාදකවරයගේ තීරණයක්. මට එතැන වැඩ කිරීමේ අපහසුතාවක් ආවා. නිෂ්පාදක කණ්ඩායම මට සහයෝගය දැක්වූයේ නැහැ. ඒක එක්තරා සැලසුමක්දෝ කියලත් පසුව මට හිතුණා. මම බොරුවට රණ්ඩු වෙවී වැඩ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම බලාපොරොත්තු වන ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය පවත්වාගෙන යන්න මට සහයෝගය නොලැබෙද්දි නිෂ්පාදක සහ ඒ කණ්ඩායම ගත්ත තීරණයට මම එකඟ වුණා.


මේ ඔබගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි. මුල් දින කිහිපය තුළදී ටෙලිනාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයන්ගෙන් ඔබේ අධ්‍යක්ෂණයට හොඳ ප්‍රතිචාර ලැබුණා. එයින් ඉවත්වීමත් සමඟ වෙනත් අධ්‍යක්ෂණයකට යොමුවීමක් තියෙනවද?


මම අධ්‍යක්ෂණයෙන් සමුගෙන නැහැ. නමුත් මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණයෙන් පමණක් සමුගත්තා. මට අධ්‍යක්ෂකවරයෙක් වෙන හීනයක් තිබුණේ නැහැ. මට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් නිසා මම ඒක කළා. ඒ නිෂ්පාදන කණ්ඩායම තමයි මේකට මට ආරාධනා කළේ. මාව විශ්වාස කරන ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. මම රඟපෑවත්, නිවේදනය කළත්, මම පොතක් ලිව්වත්, අධ්‍යක්ෂණය කළත් මාව විශ්වාස කරලා මේ නාට්‍ය බලපු පිරිසක් හිටියා. ඒ ප්‍රේක්ෂකයන්ව මම අධෛර්යමත් කරලා නැහැ. ඔවුන් බලාපොරොත්තු වුණාටත් වඩා දෙයක් ඔවුන්ට දෙන්න පුළුවන් වුණා. ඒ ගැන මට සතුටුයි. නිර්මාණයකදිවත් ඒ ප්‍රේක්ෂකයන්ව රවට්ටන්න මට අයිතියක් නැහැ. මේ ප්‍රේක්ෂකයන් තමයි මාව මේ තරම් දුරක් ගෙනාවේ. ඔවුන්ට හොඳ නැති නිර්මාණයක් දීලා මට සතුටු වෙන්න බැහැ. ඒ නිසා මට පුළුවන් හොඳ දෙයක් ඉදිරියේදි ප්‍රේක්ෂකයන්ට දෙනවා. මෙගා ටෙලිනාට්‍යයක් කරනවද නැද්ද කියන එක ගැන නම් මම වැඩිපුර හිතනවා. බොහෝවිට මෙගා ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන එකක් නැතිවේවි.


නිවේදකයා, ගායකයා, නළුවා, අධ්‍යක්ෂකවරයා.. මෙවැනි විවිධ චරිත ධනංජය සිරිවර්ධන කියන පුද්ගලයා තුළ අපි දකිනවා. අපි නොදකින චරිතත් ඔබ තුළ ඇති නේද?


ඔව්... එහෙම ඒවා තියෙනවා. ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි. සමහර වෙලාවට මම යමක් කළාට පස්සේ තමයි මා තුළ 'ඔහු' ඉන්නවා කියලා දැනගන්නෙ. නටනකම් මට නටන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම මුලින්ම තිර පිටපතක් ලියනකම් මට පිටපතක් ලියන්න පුළුවන් කියලා කවුරුත් විශ්වාස කළේ නැහැ. අධ්‍යක්ෂණයත් සමහරු විශ්වාස කරන්නෙ නැතිව ඇති. ඒක මට අභියෝගයක්. මා තුළ ඒ නිර්මාණකරුවා ඉන්නවද කියලා මම හොයනවා. හැබැයි නර්තන ශිල්පියෙක්වත්, ගායකයෙක්වත්, නළුවෙක්වත්, අධ්‍යක්ෂකවරයෙක්වත් මම හොයන්නෙ නැහැ. මම මගෙන් 'මාව' හැම මොහොතකම හොයනවා. මාව හොයාගෙන යන ගමනෙදි මම මේ හැමෝවම මුණගැහෙනවා. ඒ මුණගැහෙන කවුරුන් හෝ වේවා ඒ වැඩේ හරියට කළොත් ප්‍රේක්ෂකයන් ආදරය කරාවි. කලාවෙන් මම සමුගන්නා දවස වෙනකොට ප්‍රේක්ෂකයාට කලාව පැත්තෙන් මම යමක් කළා කියලා මතක තියේවි.


ඔබ තුළ සිටින මේ චරිත අතරින් වඩාත්ම ප්‍රිය කාටද?


වැඩියෙන්ම ආදරේ මම මටමයි. හැබැයි මම කාවවත් කපාගෙන, විනාශ කරමින් මාව ගොඩනගා ගන්නෙ නැහැ. අනිත් මිනිසුන්ගේ ආදරය සමඟින් මම මාව ගොඩනගනවා.


ධනංජය ඉපදුණේ කලා පවුලක. ඔබ දකින්නෙ කලා වටපිටාවක්. ඒත් එක්ක පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?


පුංචි කාලේ මම විදෙස්ගත වෙන්න හීන දැක්කා. රංගනයට මගේ බලාපොරොත්තුවක් තිබුණෙම නැහැ. එතකොට මගේ ලොකු අයියා වෙන රටක හිටියේ. එයා ළඟට යන බලාපොරොත්තුව මට තිබුණා. ඒ අතරේ තාත්තා අධ්‍යක්ෂණය කළ 'නේත්‍රාංජලී' ටෙලිනාට්‍යයේ ඉතා කුඩා චරිතයක් මම රඟපෑවා. විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඒක බැලුවා. මම ඒක බලද්දි මගේ රඟපෑම ගැන මට ගැටලුවක් තිබුණා. ඒක හරියට කළේ නැහැ කියලා මටම හිතුණා. එවැනි අසාර්ථක රංගනයක් මගේ ප්‍රේක්ෂකයන්ට දෙන්න මට අයිතියක් නැහැ කියලා එදා ඉඳන් මම විශ්වාස කළා. ඒ නිසා රංගනය පිළිබඳ මම පුහුණුවීම් කළා. එක හොඳ නිර්මාණයක් කරලා රටින් යන්න ඕන වුණා. ඔය අතරේ අශෝක හඳගම කියන දැවැන්ත අධ්‍යක්ෂකවරයා 'මේ පාරෙන් එන්න' ටෙලිනාට්‍යයට මට අවස්ථාව ලබා දුන්නා. ඒ වසරේ 'හොඳම නළුවා' සම්මානය ලැබුණා. ඒකත් සමඟ රට යන හීනය පැත්තකින් තියලා මම රංගන ශිල්පියෙක් වුණා.


කොළඹ ආනන්ද විදුහල තුළ කලාවට යොමුවීමක් තිබුණේ නැද්ද?


නැහැ. ඒක මගේ අතින් වුණු ලොකු අතපසුවීමක්. කොළඹ ආනන්ද විදුහල කියන්නෙ කලාකරුවන් රුසක් බිහි කරපු පාසලක්. ඒ පාසල තුළ කලා විෂයක් තෝරා නොගැනීම ගැන අදටත් මම පසුතැවිලි වෙනවා. ආයෙමත් මට උසස් පෙළ කරන්න තිබුණනම් මම කලා විෂය තෝරාගන්නවා. පාසල් යන කාලෙදි මම හරිම ලැජ්ජාශීලී කෙනෙක්. කලා කටයුතු කිසිවකට සම්බන්ධ වුණේ නැහැ. ක්‍රීඩා කළා. සංගම්වල හිටියා. නමුත් කලා කටයුතුවලට දායක වුණේ නැහැ.


චූටි දෝණි එක්ක අද ගත කරන ජීවිතේ කොහොමද?


ඒක හරිම අපූරුයි. මම දවසේ බොහෝ වෙලාවක් එළියේ ඉන්න නිසා එයා දවසින් දවස ලොකු වෙනවා කියලා මට හිතෙනවා. එයා ඇවිත් මාව බදාගනිද්දි මම තව ටිකක් ගෙදර හිටියනම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි. මවගේ භූමිකාව ශෂිණි හරි අපූරුවට කරනවා. එයා දුවගේ වැඩ හොඳින් බලලා කරන නිසා මගේ කලා කටයුතු මට නිදහසේ කරගෙන යන්න ඉඩ ලැබිලා තියෙනවා. මේක හරිම කාර්යබහුල, අවිවේකී, නින්ද රහිත ජීවිතයක්. මගේ දරුවා ඇතුළු ඒ පරපුර වෙනුවෙන් තමයි අපි හැමෝම මේ මහන්සි වෙන්නෙ. ඒ නිසා ඇය වෙනුවෙන් කොහොම හරි වෙලාවක් වෙන්කර ගන්නවා.


අගෝස්තු 3 වැනිදා සිට තිරගත වෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'කදිර දිව්‍යරාජ' චිත්‍රපටයේ 'මල්සරා' ඔබයි?


ඔව්.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්න. නිෂ්පාදනය ආචාර්ය රවී ලියනගේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සමඟ වැඩ කිරීම අතිශය විනෝදකාමී අත්දැකීමක්. ඊට පෙර ඔහුගේ 'අලි කතාව' චිත්‍රපටය තායිලන්තයේ රෑගත කරද්දි මමයි එතුමයි එක කාමරේ හිටියේ. මාව ඔහුගේ කාමරයට එකතු කර ගැනීමම මට සතුටක්. ඔහු දැවැන්ත පුස්තකාලයක්. ඔහු හරිම සරල ගති පැවතුම් තියෙන සුන්දර මනුස්සයෙක්. එතුමගේ ගීත සාහිත්‍යයට මම දැඩිව ප්‍රේම කරපු කෙනෙක්. මෙම චිත්‍රපටයේ මම මල්සරා. කවුරුන් හෝ කියනවනම් මල්සරා කියන්නෙ ප්‍රේමණීය චරිතයක් කියලා සහ මල්සරා අනංගයා බවට පත්වෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් ඒ හැමෝටම හිනා යාවි. 


 දිශානි ජයමාලි කරුණාරත්න






 


Previous Post Next Post