ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කෙනාට කොහොම හිටියත් කතා හදනවා-අමිලා නදීශානි



රියැලිටිකරණයෙන් බිහි වෙලා ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ අමිලා නදීශානි දැන් වැඩිපුර ම දකින්නේ යූ ටියුබ් නාළිකාවෙන්. සිනමා පසුබිම් ගායනයට උචිත හඬක් ඇති අමිලා ගැනයි මේ කතාබහ


 අමිලා දැන් වැඩිපුර යූටිබ් නාළිකාවේ වැඩ කරන නිසා ප්‍රසංග වේදිකාව අමතක කරලද?


යූටිබ් නාළිකාවේ වැඩ කරගෙන යනවා. එහෙම කියලා මම ගායිකාවක් කියන එක අමතක කරන්නේ නැහැ. නාළිකාවේ වැඩත් නතර කරන්නේ නැහැ. මම අලුත් ගීත කිහිපයක් කළා. ඒවත් යූටිබ් ඔස්සේ අහන්න පුළුවන්. මොන දේ කළත් මම ප්‍රසංග වේදිකාව අමතක කරන්නේ නැහැ


 

පුතාව ඉක්මනින් කසාද බන්දලා දීලා නිදහස් වුණා නේද?


පුතාගෙන් නිදහස් වෙන්න එයාව කසාද බන්දලා දුන්නේ නැහැ. විවාහය ඉක්මන් කළේ පුතා විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්න නිසයි. ඒ දෙන්නා ළඟදිම විදෙස්ගත වෙනවා.



යන එන තැන්වලට එමින් තවම සැමියා ආරක්ෂාව දෙන්නේ අමිලාව සැක නිසා කියලා සමහරු කියනවා?


සමන්ත නිතරම මගේ පස්සෙන් ඉන්නේ මාව සැක කරලා නෙමෙයි. කවුරු කොහොම කිවුවත් ඒවා අපිට අදාළ නැහැ. මට තනියම දේවල් කර ගන්න බැරුව නෙමෙයි. නමුත් මම කොහේ ගියත් මාත් එක්ක කවුරු හරි ඉන්න ඕන. ඒකට සුදුසු කෙනා තමයි මගේ සැමියා. මම සංගීත ප්‍රසංගවලට නම් කොහොමත් තනියම යන්නේ නැහැ. ඒක සුදුසු දෙයක් නෙමෙයි. දුර පැතිවලට යද්දී සමහර අවස්ථාවල ඩ්‍රයිව් කරන්න ඕන. රෑට කොහොමත් තනියම ගමන්බිමන් යන්න බැහැ. ඒ නිසා මගේ ආරක්ෂාවට සමන්ත හැමදාම ළඟින් ඉන්නවා. ඒක ඇත්තටම මට පහසුවක්.


 


ඔය නිසාද ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක අමිලගේ සම්බන්ධයක් තියෙනවා කියලා ප්‍රචාරය වුණේ?


මට ඒ කාලේ සෑහෙන්න කතා හැදුවා. සනත් ජයසූරිය අල්ලලත් කතා හැදුවා. මම නම් ඒවා ගණන් ගන්නේ නැහැ. . මොකද ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කෙනාට කොහොම හිටියත් කතා හදනවා. ඒ ප්‍රසිද්ධිය අල්ලලා. ගොසිප් කියන එක ලංකාවේ විතරක් නෙමෙයි ආසියාතික රටවල බහුලයි. මගේ යූ ටියුබ් නාළිකාවේ මගේ ගීතයක් ප්‍රචාරය කළාට එය වැඩි දෙනෙක් නරඹන්නේ නැහැ. නමුත් පුද්ගලික දෙයක් දැම්මොත් වැඩි දෙනෙක් බලනවා. ඒකෙන්ම තේරෙනවා ගොසිප් බලන්න කැමැති අය වැඩියි කියලා. සමන්ත වුණත් ඕවා ලොකුවට හිතන්නේ නැහැ


 


රියැලිටිකරණයෙන් ආව නිසා අමිලා නදීශානිට ඒ කාලේ සැරට කතා හැදුණා. ඒ ගැන දැන් දුකක් නැද්ද ..?


කොයි විදිහට කතා හැදුවත් එදත් අදත් මම දුක් වුණේ නැහැ , ඒවා කතා විතරක් නිසා.


 

සමන්තගේ ආරක්ෂාව කරදරයක් වුණු අවස්ථා ඇති..?


සමන්ත කියන්නේ කෙයාරිං කියන එක උපරිමයෙන් දෙන කෙනෙක්. ඒ කාලේ මට ඇත්තටම ඒක වධයක් විදිහට පෙනුණා. බොරු කියන්න ඕන නැහැනේ. මොකද මම ඇඳුමක් ඇන්දත්, කොණ්ඩේ පීරන විදිහ වෙනස් වුණත් ඇවිදින්නේ, කතාබහ කරන්නේ හිනා වෙන්නේ වැරදියට නම් එයාට පේන විදිහට එයා ඒක මට කෙළින් කියනවා. කරන කියන හැමදෙයක් ගැනම කියන එක මට වධයක් වුණා. ලබන අවුරුද්දට අපි විවාහ වෙලා අවුරුදු 25ක් වෙනවා. අදටත් එයා මම ගැන හොයලා බලනවා. නමුත් දැන් මට ඒක හුරුයි. වදයක් විදිහට පේන්නේ නැහැ. අවබෝධය තියෙන නිසා. නමුත් ඉස්සර ඒක මට වදයක් විදිහට පෙනුණේ.


සමන්ත එක්ක ලොකු දුරක් ආවේ ආර්ථික අපහසුතා එක්ක, ඒ කාලේ හිතුණේ නැද්ද එයාට වඩා යහමින් මුදල් තියෙන කෙනෙක් බඳින්න ..?


මම පාසල් යන කාලේ දවසක් තාත්තා එක්ක මම කොළඹ ආවා. ඒ ආපු දවසක බස් එකේ යද්දී මගේ ළඟ හිටපු කෙනෙකුගේ කරේ තිබුණු මාලේ කඩා ගන්න හිතුණා. ඒකට හේතුව පොත් ගන්න තාත්තා ළඟ සල්ලි නොතිබ්බ නිසා. එදා ඒ සිතුවිල්ල බොහෝම අමාරුවෙන් මම යටපත් කර ගත්තේ. සමන්ත එක්ක විවාහ වෙද්දීත් සුපර්ස්ටාර් එන කාලෙත් අපිට සල්ලි තිබ්බේ නැහැ. එහෙම කියලා මගේ හිත වෙනස් වුණේ නැහැ.


මම ජනප්‍රිය කාලේ සල්ලි හම්බ කරපු කාලෙවත් මට වෙන විවාහයක් කර ගන්න ඕන කියලා හිතුවේ නැහැ. සමන්තගෙන් ඈත් වෙලා. වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න ඕන කියන හැඟීමවත් මගේ හිතට දැනිලා නැහැ. සුපර්ස්ටාර් තරගය අවසන් වෙනවත් එක්ක ආපු ප්‍රශ්න අපහසුතා එක්ක මම තීරණය කළා මගේ පවුල් පසුබිම. මම විවාහකයි. මට පුතෙක් ඉන්නවා කියන එක මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට ගෙනියන්න. මම විවාහ වෙලා කියලා හංගගෙන ජනප්‍රියත්වය තියාගෙන ඉන්න මට අවශ්‍ය වුණේත් නැහැ. මගේ සාර්ථකත්වය පස්සේ ඉන්නේ සමන්ත. ඉතිං කොහොමද එහෙම සිතුවිල්ලක් එන්නේ.


 

ඉස්සර තරම් දැන් ප්‍රතිචාර ලැබෙන්නේ නැද්ද අමිලා..?


ජනප්‍රියත්වය කියන එක කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. මම ගැන කතා කරන මගේ සින්දු බලාපොරොත්තු වෙන මාව හොයපු කාලයක් තිබ්බා. මගේ හොඳම කාලේ. ඒ වගේම ඒ ජනප්‍රියත්වය අඩු වැඩි වෙලා තියෙනවා. බොරුවට මට තවම ඉස්සර වගේ ප්‍රතිචාර ලැබෙනවා කියන්න ඕන නැහැ. ඒ ප්‍රතිචාර වෙනස් වෙනවා. කාටත් එහෙමයි. ඒක මටත් පොදුයි.


 

අලුත් නිර්මාණ කරන්න අදහසක් නැද්ද ..?


මගේ ලස්සන ගීත කිහිපයක් එනවා ළඟදීම. මම පද රචනය කළ තිළිණ රුහුණුගේ සංගීත නිර්මාණය කළ ගීතයක්, හර්ශන දිසානායක සංගීත නිර්මාණය කළ ගීතයක් හා ශිහාන් ගලහිටියාව ලියලා ප්‍රියන්ත නාවලගේ සංගීත නිර්මාණය කළ ප්‍රසංග වේදිකාවට උචිත ගීතයකුත් ළඟදීම අහන්න පුළුවන්. ලබන අවුරුද්දේ මගේ ඒකපුද්ගල සංගීත ප්‍රසංගයක් කරන්නත් මම දැන් සූදානම් වෙනවා


 


 හර්ෂණී වීරරත්න





Previous Post Next Post